සංවර්ධනය හා දරිද්‍රතාවය ගැන සංවාදයට දීර්ඝකාලීන පසුබිමක් ඇත. රටවල් දියුණුවන අතර දුප්පත්කම අඩු නොවේ. සැලසුම් හදන නිලධාරීහු, විද්වත්හු ඉහළ සිට පහළට ගමන් කරන සංවර්ධනයක් ගැන සිහින දකිති. සමාජයේ ඉහළ ස්ථරය දියුණු වන අතර එයට සමාන්තරව පහළට සංවර්ධනය ළඟාවන බව අර්ථ දක්වති. ගැටුම්, අරගල හා නොයෙක් ආකාරයේ ස්වභාවික විපත්වලට ගොදුරුවන ජනතාව සංවර්ධනයෙන් මග හැලෙති. නිතිපතා දුප්පතුන් හමුවේ. ව්‍යසනයක් අවසන් වූ වහා දුප්පත්කම ගැන කතා කෙරේ.
කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ලෝකවාසීන් අතරින් මිලියන අනූහතක් අන්ත දරිද්‍රතාවයෙහි සිටින අතර දිනකට ඇමරිකානු ඩොලර් 1.90 කට අඩුවෙන් උපයන පිරිසක් බව ජාත්‍යන්තර වාර්තා දක්වයි. ලෝකයේ දුප්පත් ජනගහනය කොවිඩ්වලට කලින් සියයට 7.8 ක ප‍්‍රතිශතයක සිටි අතර දැන් එය සියයට 9.1 දක්වා වැඩිවී ඇති බව ප‍්‍රකාශ වන කරුණකි. ලෝකයේ දුප්පත්කම තුරන් කරන්නට සංකීර්ණ වැඩසටහන් සම්පාදනය කරන ලද විද්වතුන් දැන් එම සැලසුම් නැවත මුල සිට අරඹන්නට සූදානම් වෙති. ශ‍්‍රී ලංකාවටද මෙම ගැහැට අත් විඳින්නට සිදුවී ඇත. 2022 වසර සඳහා ඉදිරිපත් කළ අතුරු අය වැය එයට කදිම සාක්ෂියකි. සමෘද්ධි දීමනා වැඩිකරන්නට සිදුවී තිබේ. සහන අපේක්ෂාවෙන් සිටින පිරිසකට තාවකාලික සහනාධාර දෙන්නට යෝජනා කර ඇත. ලක්ෂ සංඛ්‍යාත අසරණ, ආබාධිත පිරිස් වෙත දීමනා නංවා ඇත. කර්මාන්ත, ව්‍යාපාර සඳහා නැවත ආධාර කරන සැලසුම් යෝජනා කර තිබේ. මේවායෙන් අඟවන පසුබිම් කතාන්දරය විෂමතා පෙළගැසී ඇති තරම මැනැවින් විදහා දක්වයි.
• ලෝක බැංකුවෙන් ඉඟියක්
දුප්පත් ජනතාව නගා සිටුවීමට ආධාර කරන ලෝක බැංකුව ශ‍්‍රී ලංකාවට අලුත් වටයකින් සහන පිරිනමා ඇත. එහි වෙබ් අඩවිය ප‍්‍රකාශ කරන පරිදි සමාජ ආරක්ෂාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 145 කි. මැයි-ජූලි මාසවල සිට මිලියන තුනක් පමණ වන දුප්පත් ජන කොටසක් තෝරා ඔවුන්ට මුදල් ආධාර බෙදන්නට යෙදවේ. වැඩිහිටියන්, ආබාධිතයන්, වකුගඩු රෝගීන් සහ සමෘද්ධි ආධාර ලබන පිරිස සඳහා රු. 5000-7500 අතර මුදලක් හිමිවනු ඇත. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, තැපැල් කාර්යාල, සමෘද්ධි බැංකු හා නම් කරන ලද වෙනත් බැංකු ඔස්සේ මේවා ප‍්‍රතිලාභීන් අතට පත්වේ. ඇතැම් වාර්තා දක්වන පරිදි ලෝක බැංකුව මෙම දීමනා කෙලින්ම ජනතාව අතට පත් කරන්නට සූදානම්ය. ආණ්ඩුව හා පසුව අත්හදා බලන ලද රාජ්‍ය නොවන සංවිධාන කටයුතුවලින් අත්දැකීම් ලැබූ ප‍්‍රදානක ආයතන වෙනත් පැති ගැන සොයා බැලීම නුහුරු දෙයක් විය නොහැක.
ආර්ථික අර්බුදයකින් පසු පීඩාවට පත් ජන කොටස් වෙත සහන වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 192 ක් පිරිනමන්නට ලෝක බැංකුව ඉදිරිපත්ව තිබේ. මෙම මුදල් රජයට ලැබුණ පසු ඒවා වැයකෙරෙන ආකාරය ගැන ප‍්‍රශ්න පැන නැගේ. නිරාකරණය පහසු නැත. ප‍්‍රතිලාභීන් හඳුනාගෙන අතර මැද අනවශ්‍ය වියදම් වළකා නාස්තියකින් තොරව සැපයෙන ආකාරය ගැන අවධානය යොමු කළ යුතුය. මෙම ආධාර අනුව මිලියන 1.5ක් ගෑස් සිලින්ඩර ප‍්‍රමාණයක් නාගරික හා අර්ධ නාගරික නිවාස හා සුළු ව්‍යාපාරවලට බෙදන්නට ඇතුළු කටයුතුවලටද ලෝක බැංකුව පිරිනමා ඇත. ජූලි සිට ඔක්තෝබර් දක්වා රටට අවශ්‍ය ගෘහස්ථ ගෑස් මෙට්‍රික් ටොන් හැත්තෑ දහසක් මිල දී ගැනීමටද ලෝක බැංකුව ආධාර සපයා ඇත. මෙම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 26.7 කි.
ලෝක බැංකුව තවත් ඇමරිකානු ඩොලර් මිලියන 20.4 ක් වෙන්කරන්නේ අත්‍යවශ්‍ය බෙහෙත්, වෛද්‍ය උපකරණ, පෝෂණ අවශ්‍යතා වෙනුවෙන්. ඒවා සෘජුවම සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබෙන්නට සලස්වා ඇත. ශ‍්‍රී ලංකාවේ ජාතික රෝහල් නොමිලේ බෙහෙත් සපයන පිළිවෙළ අවධානයට ගෙන ඇති ලෝක බැංකුව කොවිඩ් වංසගත තත්ත්වය ඉදිරියේ ජනජීවිත ආරක්ෂා කරගැනීම හා වෙනත් රෝග පීඩාදියෙන් රෝගීන්ට අවශ්‍යවන හදිසි ප‍්‍රතිකාර සඳහා මෙම ආධාර ප‍්‍රයෝජනයට ගතහැකි බව ඔවුන්ගේ වෙබ් අඩවියෙහි දක්වයි.
• රාජ්‍ය අසාර්ථක වන පසුබිමක රාජ්‍ය නොවන සංවිධාන
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රම කෙරෙහි ලෝකය පුරා ප‍්‍රශ්න ඇත. ජනතාව දුගී කරන ලෙස සම්පත් බෙදීයන අන්දම විෂම බව හුවා දැක්වේ. මෙම විෂමතා නැත් කරන්නට රාජ්‍යය කාර්යක්ෂම කළ යුතු අතර එයට පියවර ගැනෙමින් තිබේ. දූෂණ විරෝධී ව්‍යාපාර, තොරතුරු දැනගැනීමේ අයිතිය, විනිවිද පෙනෙන ටෙන්ඩර් පටිපාටි යනාදී වශයෙන් ක‍්‍රියාමාර්ග ගැනෙන නමුත් ආණ්ඩු වැය කරන මුදල්වලින් කොටසක් අකාර්යක්ෂමතාව, දූෂණ හා වංචාවලට හසුවන වග ගණන් බලා ඇත. පිරිනැමෙන ප‍්‍රදාන කෙළින්ම ප‍්‍රජාව අතට ලැබී එම පිරිස් මිල දී ගැනීමේ හැකියාව ඇති කණ්ඩායමක් බවට පත් කිරීමට මුල්‍ය ප‍්‍රදානක ආයතන විශේෂ පරිශ‍්‍රම යොදවයි.
රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවීම එහි ප‍්‍රතිඵලයකි. දුප්පත්කම දුරුකිරීම, පරිසරය, තොරතුරු තාක්ෂණික සම්බන්ධතා ඇති කිරීම යනාදී විෂයයෙහි රාජ්‍ය නොවන සංවිධාන ඇති කරන ලද අතර ඒවා පසුගිය දශකයේ මහත් පිබිදීමක් ඇති කළේය. 1990 දශකයේ ජනසවිය භාරකාර අරමුදල පිහිටුවීමට ආධාර සපයන ලද ලෝක බැංකුව එය කේන්ද්‍ර කොටගෙන රාජ්‍ය නොවන සංවිධාන ජාලාවක් නිර්මාණය කළේය. එය ලෝකයේ සිදුවෙමින් පැවැති ක‍්‍රියාවලියයි. රාජ්‍ය අංශයේ දුබලතා සීමා කිරීමට කැපවීමකින් ක‍්‍රියා කරන රාජ්‍ය නොවන සංවිධාන හේතුවනු ඇතැයි තක්සේරු කෙරිණ. පසුකාලීනව එම ගණන් බැලීම තුළ ප‍්‍රශ්න ඇති බව අවබෝධ වී තිබේ. ඉලක්කගත පිරිස වෙත ළඟාවීමේදී දරන පිරිවැය නාස්තිකාර ක‍්‍රමයකට හැසිරවීම ගැටලුවක් විය.
රාජ්‍ය නොවන සංවිධානවල ක‍්‍රියාකාරීත්වය, මුදල් විගණනය යනාදී කරුණු ප‍්‍රදානක ආයතනවලට පැහැදිලි නොවුණු අතර දුප්පත් ජනතාවට ප‍්‍රතිලාභ නොලැබෙන බවට සමාජ මතයක් ගොඩනැගිණි. ප‍්‍රධාන ආයතන හා ප‍්‍රතිලාභි ජන කොටස කෙළින්ම යා කෙරෙන අලුත් සංවිධාන කෙරෙහි අවතීර්ණවීම එහි අලුත් පියවරකි. තාක්ෂණය උපයෝගී කරගෙන, වානිජ බැංකු අතරමැදියන් සේ සලකා කරන සෘජු ආධාර ක‍්‍රම දැනට පවතින දේශපාලන විෂමතාවලට විසඳුමක් වශයෙන්ද ගැනේ.
• ඉන්දියාවේ ආදර්ශය
ආධාර අවශ්‍ය කරන නිසි පිරිස තෝරා ඔවුන් වෙත කෙලින්ම බැංකු ගිණුමට මුදල් සැපයෙන ආධාර් කාඩ් ක‍්‍රමය ඉන්දියාවේ ක්‍රියාත්මකය. එහි වාසි ගණනාවක් තිබේ. සහන ලැබෙන කොටසට පමණක් ආධාර ලැබේ. විදුලිය, ඉන්ධන, ගෑස්, ජලය වැනි අංශවලදී ලංකාවේ කෙරෙන ආකාරය අනුව සහන සැපයෙන අතර ඒවා සමස්ථ සමාජයටම දුප්පත් පොහොසත් බේදයක් තොරව ලැබේ. ආධාර් කාඩ් ක‍්‍රමය අනුව නියමිත ගාස්තු ගෙවන කාඩ් හිමියාගේ ගිණුමට සහනාධාර මුදල බැර කෙරේ. ගෑස් මිල ගෙවන විට සහනාධාර සපයන ආණ්ඩුව ආධාර හිමියාට අඩුකරන මිල ගිණුමට ගෙවන ක‍්‍රමය සාර්ථක බව ඉන්දියාව අවධාරණය කරයි. ලෝක බැංකුව ඇතුළු ප‍්‍රධාන ආයතන මෙම පැති අධ්‍යයනය කර ඇත. දීර්ඝ කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකාවේ ආධාර ක‍්‍රම ගැන සලකා බලන විශේෂඥයන් ඒවා නියමිත පරිදි නොලැබෙන අතර පොදුවේ දෙන සහනාධාර අතිශය පොහොසත් සමාජයටත් ලැබීම අක‍්‍රමවත් බව පෙන්වා දෙයි.
ඉන්දිය ආණ්ඩුව ඔවුන්ගේ ආධාර ක‍්‍රම සමාලෝචනය කරන්නට තීරණය කළේ 1999 වසරේ අන්තිම කාලයේදී වන අතර එයට ආධාර් යනුවෙන් නම් තැබීය. අංක දොළහකින් යුතු සුවිශේෂී අංකයක් නිකුත් ඉන්දීය ආණ්ඩුව ආධාර ලැබිය යුතු පුරවැසියන් හඳුනාගන්නා ආකාරය ගැන අධ්‍යයන කර ඇත. මෙය ලෝකයේ විශාලතම ජෛව දත්ත එකතුව බවට පත්වන බවට අනාවැකි පළවෙමින් තිබේ. ලෝක බැංකුවේ ප‍්‍රධානියකු පසුගිය කාලයේ කියා සිටියේ ඉතාම සංකීර්ණ සහ ඉතාම වැදගත් දත්ත පද්ධතියක් සහිත ලෝකයේ විශාලතම පුරවැසි සංගණනය බවට ආධාර් ක‍්‍රමය පත්වන බවය. මෙම ආධාර් අංකය නිර්මාණය කළ පිරිස් මෙම වැඩ පිළිවෙළ අද්විතීය එකක් සේ දක්වති.
ශ‍්‍රී ලංකාවේ ජනතාව අතරින් ආධාර ලැබිය යුතු පිරිස හඳුනාගැනීමට ඉඩදෙන කාඩ් ක‍්‍රමයක් සඳහා ඉන්දීය රජය ඇමරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් ලබා දී ඇත. එමගින් ප‍්‍රතිලාභීන්, බැංකු සහ සහන ක‍්‍රම ජාලගත කෙරේ. ශ‍්‍රී ලංකාව මෙවැනි ක‍්‍රමවලින් අලුත් අත්හදා බැලීම්වලට යා යුතුය. ලෝක බැංකුව දක්වන පරිදි දේශපාලන මැදිහත්වීම පැත්තක තබා අවශ්‍යතාවයට ප‍්‍රමුඛත්වය දිය යුතුව තිබේ. ඡන්ද රුස්වීමට එන, පෙළපාළියට සහභාගී වන ජනතාව තෝරා පාක්ෂිකයන්ට ආධාර කරන ක‍්‍රම වෙනුවට හැබෑ දුප්පත් පිරිස හඳුනාගතහොත් එය විශාල ආර්ථික වාසියකි.
සාරා කන්දෙගොඩ