2022 සැප්තැම්බර් 18 වන ඉරිදා

තරුණ තරුණියන්ට දොර ඇරුණු ජපන් රස්සා

 2022 සැප්තැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 08:00 213

මේ දිනවල බොහෝ අයගේ හීනය වී ඇත්තේ විදේශ ගතවීමය. පාස්පෝට් කන්තෝරු‌ෙව් දිගටම පෝලිමේ සිට බොහෝ දෙනා උත්සාහ ගන්නේ හැකි ඉක්මනින් රටෙන් යාමටය. එහෙත් යන එක ලේසි නැත. ඉතාමත් දියුණු රටකින් වීසා ලබා ගැනීමත්, වීසා ලැබුණත් හොඳ රස්සාවක් හොයාගන්නත්, හොඳ රස්සාවක් ලැබුණත් වගවන අයකු සොයා ගැනීමටත් ලෙහෙසි පහසු නැත. බොහෝ අය සංචාරක වීසා ලබාගෙන පැනගත්තත් ඊට පසුව රස්සාවක් හොයාගන්නට බැරිය. ඒ නිසා බොහෝ දෙනා උත්සාහ ගන්නේ වගවන ආයතනයක් වන විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා හොඳ රටකට පැනගන්නටය.

මේ දිනවල එසේ රට යන අය අතර ලොකුම හීනයක් වී ඇත්තේ ජපානය වෙත යාමය. ජපන් යන්න බොහෝ අය හීන දකිති. ලෝකයේ දියුණු රටවල් ගොන්න මැද වැජඹෙන ජපානය වෙත යාම ලෙහෙසි පහසු නැත. රැකියා දසදහස් ගණනින් තිබුණත් ජපානයට යන්න හිතන තරම් ලේසි නැත. ඊට හේතුව වන්නේ භාෂාවය.

ජපානය තුළ රැකියා කරන්න මොනතරම් සුදුසුකම් ලැබුණත් අනිවාර්යයෙන්ම එම පුද්ගලයා ජපන් භාෂාව ගැන ප්‍රවීණයකු විය යුතුය. ඒ සඳහා ඔහු ජපන් භාෂාව දැනගැනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. ශ්‍රී ලංකාව තුළ ජපන් භාෂා ප්‍රවීණතාව මනින විභාග දෙකක් ඇත. ඒ N4 සහ N5 යන විභාගයන්ය. සාමාන්‍යයෙන් ජපන් රටට යන්න සිටින ඕනෑම අයකු මේ විභාගයන් සඳහා ඉදිරිපත් වී සමත් වූවන් විය යුතුය. දැනට රජය විසින් ජපානය සඳහා පිටත් කර හැරීමට තෝරාගන්නා අය මේ විභාග සමත් වී තිබිය යුතුමය. එපමණක් නොව ඒ සඳහා යොමුවන පිරිස් අදාළ විෂය සම්බන්ධයෙන් කුසලතා පුහුණුවක් ලබාගෙන එයින්ද සමත්වීම වඩා වැදගත් දෙයකි. මාස තුනක් පමණ සිදුවන මෙම පුහුණුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා සිදුකරන්නේ ඒ සඳහා වගකීමක් ලබාදෙමිනි.

ජපානය තුළ රැකියා අවස්ථාවන් සඳහා කාණ්ඩ 12ක් පමණ ඇත. එහෙත් ලංකාවට ලැබී ඇත්තේ එම කාණ්ඩවලින් තුනක් පමණි. ඒ සාත්තු සේවය, ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ හෝටල් ක්ෂේත්‍රය සඳහාය. හෝටල් ක්ෂේත්‍රය මෑතකදී විවෘත වුණු අතර අද වනවිට ඒ සඳහා තරුණ තරුණියන් පුහුණු කරමින් පවතී.

විශේෂයෙන් ජපාන රැකියා සඳහා 18ත් 26ත් අතර තරුණ තරුණියන්ට සුවිශේෂී ස්ථානයක් එම රට තුළ ඇතිව තිබේ. එකී රටවල් දියුණුව කෙරෙහි යාමට තරැණ ජවය කෙරෙහි දැඩි විශ්වාසය තබාගෙන ඇති මොහොතක ඔවුන් රටින් පිට ඉන්න පිරිස පවා ගෙන්වන්නේ එම වයස් කාණ්ඩයේ තරුණ තරුණියන් වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් එසේ තෝරා පත්කරගන්නා අයගේ සිරුරේ පච්ච කොටා තිබිය නොහැක. ශරීරයේ වෙනස්කම් ඇතිනම් ඊට අවසරය දෙන්නේද නැත. එපමණක් නොව ඔවුන් තෝරාපත් කරගන්නා විවිධ වෘත්තීන් වෙත උස සහ බරද සුවිශේෂීව සලකා බලනු ලබයි. ඇතැම් රැකියා සඳහා තෝරා පත්කර ගැනීමේදී සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂාවට ලක්කරන අතරම ඒ සඳහා දිවීම, ඩිෆ් ගැසීම වැනි දෑද සිදුකළ යුතුය. මේ සියල්ලෙන් පරිපූර්ණ අයකුට ජපානය වෙත යාම ලෙහෙසි පහසුය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රැකියා ආයතන, රජයේ අවස්ථා, තොරතුරු පැහැදිලිවම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් අඩවියට ගොස් ඕනෑම අයකුට නිරීක්ෂණය කළ හැක. www.slbfe.lk දරණ වෙබ් අඩවියට පිවිසුණු මොහොතේ සිට දැක ගැනීමට හැකිවෙයි.
රජයෙන් නොමිලේ මෙම රැකියා ලබා දුන්නත් ඇතැම් රැකියා ඒජන්සි මේ සඳහා විශාල මුදලක් ලබාගනී. එහෙත් එසේ ලබාගන්නා මුදලට සාධාරණය වන්නේද යන්න පිළිබඳ ගැටලුවක් ඇත. විදෙස් රැකියා වංචාකාරයන් බහුල මොහොතක ඒ සඳහා රැවටෙන පුද්ගලයන්ද එමටය. අවසානයේ මුදලුත් රැකියාවත් නැතිව අසරණ වන්නෝ සිටිති. මේ නිසාම රජයේ නොමිලේ රැකියා ලබාදීම පමණක් නොව පෞද්ගලික අංශයේ ආයතන විසින් ජපානයේ රැකියා ලබාදෙන්නේ නම් ඒ පිරිසගේ ලැයිස්තුවද වෙබ් අඩවියේ දමා තිබීම විශේෂත්වයකි. ඒ නිසා ජපන් යන්නට බොරුකාරයන්ට රැවටෙන්නට අවශ්‍ය නැත.

මේ සම්බන්ධයෙන් කම්කරු සහ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගෙන් අපි විමසීමක් කළෙමු. එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙලෙසය.

''ජපන් රැකියා සඳහා මේ වනවිට විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ ඉල්ලුමට සරිලන පිරිස යවන්න භාෂා ප්‍රවීණත්වය මදි. ඒ නිසා මම කියන්නේ ජපානයට යන්න කැමැත්තෙන් ඉන්නවා නම් තමන්ගේ භාෂා ප්‍රවීණත්වය සපුරලා තියෙන්න ඕන.''

කෙසේ වෙතත් මේ වසරේ ආරම්භයේ සිට අද වනතෙක් ජපානය සඳහා පිටත්වී ඇති පිරිස 3000 කට අධිකය. ඔවුන් පමණක් නොව මෙය කියවන ඔබටද ඒ හීනය සැබෑ කරගත හැක. එහෙත් ඇති එකම ප්‍රශ්නය වන්නේ භාෂාවය. ඒ නිසා ජපන් යන්න කැමැති නම් ඔබ ප්‍රථමයෙන්ම කළ යුත්තේ භාෂාව හැදෑරීමය.

 ගයාන් ගාල්ලගේ