2022 සැප්තැම්බර් 18 වන ඉරිදා

සීදූවේ හිමිනම ඝාතන සැලසුම ඩුබායි තරුණියකගේ

 2022 සැප්තැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 08:00 343

සීදුව රද්දොළුව වෑත්තෑව ශ්‍රී නන්දාරාම විහාරස්ථානය හුදෙකලාව පිහිටි පන්සලකි. ගමේ දායක සභාවේ ඇතැමුන්ගේ නොහොඳ නෝක්කාඩු මැද වුවද විහාරයේ වැඩවසමින් සිටියේ විහාරාධිපති හිමියන් හා තවත් සාමණේර හිමිනමකි. ගම්මුන් පිරිසක් විහාරාධිපති හිමියන් සමඟ අමනාපයෙන් පසුවූ නිසා ඔවුන් පන්සල වෙත නිතර ආ ගියේ නැත. වෙන යමක් තබා විහාරාධිපති හිමියන් යන එන මඟක් හෝ උන්වහන්සේ පන්සල් බිමේ වැඩවාසය කරන බවක් දින ගණනකින් ගම්මුන් දැක තිබුණේ ද නැත.

ශ්‍රී නන්දාරාම විහාරයේ විහාරාධිපති නැදගමුවේ මහානාම හිමියන් කටාන අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක ලෙස රාජකාරි කටයුතු සිදු කරමින් සිටි බව පැවසේ. අවුරුදු 55ක තරම් වයසේ පසුවූ උන්වහන්සේ සමඟ වැඩවිසූ සාමණේර හිමියන් 18 හැවිරිදිය. ඒ හිමිනම වසර අටක පටන් ශ්‍රී නන්දාරාමයේ වැඩවාසය ක‍ළහ. විහාරාධිපති හිමියන් හා සාමණේර හිමියන් අතර කාලයක පටන් හිත් අමනාපකම් හා ගැටුම් පවතින බවත් ඒ කාරණා හේතුවෙන් ඇතැම් දායක දායිකාවන් විහාරස්ථානයෙන් දුරස් වී සිටි බවත් කියැවේ.

කෙසේ වෙතත් ආසන්නම දින දෙක තුනකට ඉහතදී ශ්‍රී නන්දාරාමයේ සාමණේර හිමියන් පන්සලේ වැඩසිටින බව ගම්මුන් දැක තිබුණි. එවැනි දිනක සන්ධ්‍යාවේ විහාරයට පැමිණි පිටස්තර පුද්ගලයන් කිහිප දෙනකු සාමණේර හිමියන් සමඟ කතාබහ කරන ආකාරයත් විහාරාධිපති හිමියන්ට අයත් බව කියන ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථය හා වැගන් ආර් වර්ගයේ මෝටර් රථය පිරික්සමින් සිටින අයුරුත් ගම්මුන් දැක තිබිණි. එදා පස්වරුවේ විහාරාධිපති මහානාම හාමුදුරුවන්ගේ හඬට සමාන ශබ්දයකින් කෑගසන හඬක් එක්වරම පන්සල දෙසින් ඇසුණද එහි වෙනදාට වඩා විශේෂයක් නොවීය. ඊට අමතරව විහාර පරිශ්‍රයේ වෙනත් යමක් පිළිබඳ අසල්වැසියන්ට අවධානයක් නොතිබිණ.

ඉන්පසු දිනක නන්දාරාමය ආසන්නයේ පැතිරෙන දුගඳක් අසල්වාසීන්ට දැනී තිබිණි. ක්‍රමයෙන් වැඩිවන ගඳ කුමක්දැයි සොයන්නට අසල්වැසි පිරිස් විහාර බිමට ගොස් ඇතැයි කියති. ඒ වන විටත් පන්සල් බිම පැවතියේ පාළු ස්වභාවයකිනි. අඩුම තරමේ දිනක් දෙකක් හෝ මිදුල අතුගා නොතිබිණ. චෛත්‍ය, විහාර ගෙය හෝ බෝධිය අසල මලක් පහනක් පූජා කළ බවට සලකුණක් හෝ නොවීය. සියල්ල අතර හාමුදුරුවන් වැඩවසන ආවාස ගෙය අගුළු දමා තිබුණි. විහාරාධිපති හිමියන් හෝ සාමණේර හිමියන් පෙනෙන මානයක සිටියේ නැත.

මේ අතර වැඩි වැඩියෙන් දුගඳ හමන්නට වූයේ ආවාස ගෙය දෙසිනි. පැවති ස්වරූපය අනුව ගම්වාසීන්ට ඇතිව තිබුණේ සැකයකි. වෙන යමක් තබා වෙනදා මෙන් විහාර බිමේ නවතා තිබූ ඩිෆෙන්ඩර් රථය හෝ වැගන් ආර් මෝටර් රථය ද පෙනෙන්නට නොවූයෙන් තත්ත්වය පිළිබඳව සීදුව පොලීසිය දැනුම්වත් කරන්නට පිරිස කටයුතු කළහ.

සීදුව වෑත්තෑව ශ්‍රී නන්දාරාම විහාරයේ ආවාස ගෙය තුළින් දුගඳක් හමන බවට සීදුව පොලීසියට ලද තොරතුර අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානයට ගොස් තිබුණි. අනතුරු නිලධාරී පිරිස දායක පිරිසේ ද සහාය ඇතිව ආවාස ගෙය පසුපස දොර අගුළු බිඳ දමා ඇතුළු වූහ. එසේ පරීක්ෂා කිරීමේදී දුගඳ තවත් වර්ධනය වී තිබූ අතර ආවාස ගෙයි කාමරයක ඇඳ මත තිබියදී හමුව ඇත්තේ විහාරාධිපති හිමියන්ගේ මළසිරුරය. ඒ වන විට හාමුදුරුවන්ගේ අතපය ගැටගසා මුහුණ සිවුරුකඩකින් බැඳ දමා මුඛයට පාංකඩ ඔබා තිබිණි.

''ඊයෙ පෙරේදා වෙනකම් පොඩි හාදුරුවො කෙනකුත් හිටියා. ඊට ටික කාලෙකට කලින් තවත් පොඩි හාමුදුරුවො කෙනෙක් මෙහේ හිටියා. එයා කොහේ ගියාද දන්නෙ නෑ. පොඩි හාමුදුරුවො හිටියා නම් මොකක් හරි අහන්න දැනගන්නවත් තිබුණා.'' පොලීසිය සමඟින් ගම්මුන් කීවේ එවැන්නකි.

විහාර බිමේ හැම දිනකම ගාල්කොට තැබූ කුමක් හෝ වාහනයක් වරදින්නේ නැත. නමුත් මේ මොහොතේ එකදු වාහනයක් හෝ නොවීය. ඒ තරමට පන්සලේ වාහන තිබීමට හේතුව විහාරාධිපති හාමුදුරුවෝ රථවාහන අලෙවි කරන ව්‍යාපාරයක් සිදු කරගෙන යාම බව ගම්මු පවසති. ස්වාමින් වහන්සේ නමක ලෙස එම කටයුත්තේ නියැලීම පිළිබඳව දායක සභාව අසතුටින් පසුවී ඇත. මේ අතර තවත් ගම්මුන් පිරිසක් පොලීසිය හමුවේ කියා ඇත්තේ එම හාමුදුරුවන් සාමණේර හිමිවරුන්ට නොයෙක් හිරිහැර සිදු කරන අතර අයුතු යෝජනා ද සිදු කරන බවට තොරතුරු වාර්තා වී තිබෙන බවය. එවැනි හේතු කාරණා නිසා ගම්මුන් පන්සලෙන් දුරස් වී සිට ඇතැයි පැවසේ.

මේ අතර ආවාස ගෙය පරීක්ෂා කළ පිරිසට තේරුම් ගොස් තිබුණේ විහාරයේ විසූ සාමණේර හාමුදුරුවන් සිය බඩු බාහිරාදිය ද රුගෙන පලා ගොස් ඇති බවකි. පැවති තත්ත්වය අනුව කාටත් සාධාරණ සැකයක් ඇතිවී තිබුණේ පන්සලේ විසූ සාමණේර හිමියන් පිළිබඳවය. ඒ විහාරාධිපති හිමියන් ඝාතනය කොට පලා යන්නට ඇති බව කියන අදහසිනි. ඒ වන විටත් තත්ත්වය සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබාගෙන තිබූ පොලීසිය ක්‍රියාත්මක වී සැකකාර සාමණේර හිමිනම හඳුනාගත හැකි ඡායාරෑප කිහිපයක් රුස් කරගෙන ආරක්ෂක අංශ වෙත මෙන්ම ගුවන් තොටුපොළ හා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරීන් වෙත ලබා දීමට පියවර ගෙන තිබුණි. එමගින් සීදුව පොලීසිය ඉල්ලා තිබුණේ සැකකාර ස්වරෑපය ඇති හිමිනම විදෙස්ගත වන්නට සූදානම් වන්නේ නම් වහාම පොලීසිය දැනුම්වත් කොට අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙසය.

ශ්‍රී නන්දාරාම විහාරයේ විහාරාධිපති මහානාම හාමුදුරුවන්ගේ අබිරහස් ඝාතනය පිළිබඳ හෝඩුවාවක් සොයා ගැනීම සඳහා සුදුසුම මාර්ගය පන්සලේ පොඩි හාමුදුරුවන් සොයා ගැනීම බව සිතූ පොලීසියට සැකකාර හිමිනම අත්අඩංගුවට ගත් බව කියන පණිවුඩය ලබා දී තිබුණේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසිනි. ඒ කටුනායක ගුවන් තොටුපොළ හරහා සැකකාර හිමිනම ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාම සඳහා පැමිණි අවස්ථාවේදීය. එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණේ ඉකුත් 15 වැනිදා අලුයමය.

මළසිරුර දුගඳ හමමින් තිබූ අතර විහාරාධිපති ඝාතනය කරන්නට ඇත්තේ සිරුර සොයාගන්නට දින තුනකටවත් පෙරාතුව බවට පොලීසිය සැක කර තිබුණි. අත්අඩංගුවට පත් සැකකාර හිමිනමගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ කරුණු අනුව විහාරාධිපති හිමියන් සතුව විශාල ධනයක් ඇති බවට තොරතුරු හෙළි විය. රථවාහන මිලට ගෙන අලෙවි කිරීම ව්‍යාපාරයක් වශයෙන් සිදු කර තිබිණි. ඒ අතරතුර අසාමාන්‍ය ලිංගික හැසිරීම්වලට යොමුව සිටි බවද කියති. මේ කරුණු නිසා ගමේ දායක පිරිස් පසුවූයේ හිත් හොඳකින් නොවේ.

අත්අඩංගුවට ගැණුන සාමනේර හාමුදුරුවන් කටුනායක හීනටියන ප්‍රදේශයේ තරුණියක ඇසුරු කර ඇති අතර ඇය මාස කිහිපයකට පෙර විදෙස්ගත වී ඇත්තේ රුකියාවක් සඳහාය. ඒ ඩුබායි රටේ මුස්ලිම් හාම්පුතකු යටතේ සේවය කිරීම සඳහාය. වැඩි දිනක් ගතවන්නට මත්තෙන් තරුණිය ඔහු හා සබඳතාවක් ගොඩනගාගෙන තිබූ අතර හාමුදුරුවන් පිළිබඳ තොරතුරු, මිල මුදල්, ව්‍යාපාර පිළිබඳව ද කරුණු කියා ඇතැයි කියති. එතරම් ධනවතකු සමඟ ළඟ ඇසුරක් පැවති බව ඇසූ මුස්ලිම් ජාතිකයා තරුණිය හා එක්ව හාමුදුරුවන් ඝාතනය කර මුදල් හා දේපළ ලබාගැනීමට සැලසුම් කර ඇතැයි කියති. මේ සම්බන්ධයෙන් ඔහුගේ හිතවතකු වන වත්තල ප්‍රදේශයේ මුස්ලිම් මිතුරකුට ද දන්වා තිබිණි.

පසුගිය දිනක පෙර කී තරුණියගේ මව හා පියා සාමනේර හිමියන් බැහැදැකීමට පැමිණ ඇතැයි කියති. පවතින හිතවත්කම නිසා දින කිහිපයක් පන්සලේ නවාතැන් ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබිණි. දිනක් දෙකක් ගතවන අතරතුර තරුණියගේ මව පියා හමුවට දෙදෙනෙක් එහි පැමිණ සිටියහ. ඔවුන් විසින් විහාරාධිපති හිමියන් ගැට ගසා ඉහළ මාලයේ රඳවා තිබියදී එදා පස්වරුවේ මොහොතක විහාරාධිපති හිමියන් ඉහළ මාලයේ පඩිපෙළ බසිමින් සිටින අතරතුර පෙර කී තරුණියගේ මව පියා එතැන පාමුල රැඳී සිට හාමුදුරුවන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කොට ඇතැයි පැවසේ. පහර කෑමෙන් තරමක් අඩපණ වූ හිමියන් කුදලා උන්වහන්සේගේ සයනය මත දමා තිබුණේ පිටතින් පැමිණ සිටි දෙදෙනා විසින් බවද කියති. එසැණින් දෑත් දෙපා ගැටගසා මුඛය ද පාංකඩ ඔබා තිබුණේ කෑගැසීම වළක්වනු පිණිසය. අනතුරුව පිටතින් ආ දෙදෙනා කිසිත් නොදන්නා ලෙස එතැනින් පිටව ගොස් තිබිණ.

මේ අතර පහර කෑමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ස්වාමින් වහන්සේට තර්ජනය කර ඩිෆෙන්ඩර් රථය හා වැගන් ආර් රථය මෙන්ම තවත් දේපළ රුසක් පවරා ගැනීමටත් අලෙවි කිරීමටත් ඇවැසි බලය ලිඛිතව ලබාගැනීමට තරුණියගේ මව සහ පියා කටයුතු කොට තිබිණි. ඒ සියල්ල සිදුකර තිබුණේ ඩුබායි සේවයට ගොස් සිටි හාමුදුරුවන් ඇසුරු කළ තරුණිය හා ඇගේ නව පෙම්වතාගේ සැලසුම අනුවය. මේ සඳහා විවිධ වූ සහාය පන්සලේ සාමණේර පොඩි හාමුදුරුවන්ගෙන් ද ලබාගන්නට ඇති බව පොලීසිය සැක කරයි.

මේ අතර ක්‍රියාත්මක කළ පොලිස් විමර්ශනවලදී ඩිෆෙන්ඩර් රථය රුපියල් ලක්ෂ 135කට සහ වැගන් ආර් රථය ලක්ෂ 51කට ගම්පහ ප්‍රදේශයේ දෙදෙනකුට අලෙවි කර ඇති බව තහවුරු විය. වැඩිදුරටත් වාර්තා වූයේ ඩිෆෙන්ඩර් රථය මිලට ගත් පුද්ගලයා එය රුපියල් ලක්ෂ 15ක් ලාභ තබාගෙන ලක්ෂ 150කට අලෙවි කර ඇති බවය. විදෙස් ගතවීමට උත්සාහ කළ සාමණේර හිමිනම මහණ වූ බව සනාථ කිරීමට ස්ථිර සාධක කිසිවක් පොලීසියට හමුවී නොමැත. මේ තොරතුරු සැකකාර හිමිනමගේ ප්‍රකාශ මත වාර්තා කෙරුණද සෙසු සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක පසුබිමක මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරිණි. ඒ අනුව තවදුරටත් ඝාතනය පිළිබඳව තොරතුරු රැසක් හෙළිකෙරෙනු ඇත.

මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ උපදෙස් මත පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් සීදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන පවත්වති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04