2022 සැප්තැම්බර් 18 වන ඉරිදා

රටේ සිමෙන්ති තිබියදී පිටින් සිමෙන්ති !

 2022 සැප්තැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 08:00 53

පසුගිය කාලයේ වැඩියෙන්ම කතාවුණු මාතෘකාවක් වුණේ සිමෙන්ති මිල පිළිබඳවය. සිමෙන්ති මිල අධික ලෙස ඉහළ යාම හැමදෙනාගේම කතාබහට ලක්වුණේ තවදුරටත් ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට ඇතිවන බාධා හේතුවෙනි. එය මුල් කාලයේ සිදුවුණත් දැන් ඒ ගැන කතාවක් නැත. ඒ සිමෙන්ති මිල පහළ යාම නිසා නොව මෙරට මහා පරිමාණ ඉදිකිරීම් 80%කින් නවතා දැමීම හේතුවෙනි. ඒ නිසා සාමාන්‍ය පාරිභෝගික ජනතාව මේ සම්බන්ධයෙන් කතාබහ කළේ නැත.

නැවතත් සිමෙන්ති කතාව සමාජයේ කරළියට පැමිණ තිබේ. ඒ විශාල වශයෙන් සිමෙන්ති මෙරටට ආනයනය කිරීම හේතුවෙනි. මේ පිළිබඳ අදහස් දැක්වූ ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා සඳහන් කළේ මෙරටට සිමෙන්ති ආනයනය හරහා විශාල මාෆියාවක් රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බවය. ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ තවදුරටත් මෙය සිදුවුවහොත් එය දේශීය සිමෙන්ති කර්මාන්තයේ කඩා වැටීමට හේතුවනු ඇති බවය.

ඔහු පවසන ආකාරයට මහා පරිමාණ ඉදිකිරීම් සිදු කරන සමයේදී මෙරට සිමෙන්ති ඉල්ලුම මාසිකව මෙට්‍රික් ටොන් ලක්ෂ හැත්තෑවකි (මිලියන 7කි.). එහෙත් වර්තමානය වනවිට එය මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසක් (2,50,000 ක්) දක්වා අඩු වී ඇත. එසේ  වුවද මෙරට දේශීය කර්මාන්තශාලා හතරක් මගින් දැනට මාසිකව මෙට්‍රික් ටොන් ලක්ෂ 9ක් නිෂ්පාදනය කරන බවත් ඒ අනුව ඉල්ලුම හා සසඳන විට අතිරික්ත සිමෙන්ති ඇති බවත් ඔහු සඳහන් කරයි. එහෙත් පුදුමය නම් එසේ අතිරික්තව පවතින මොහොතක පවා ආයතන 05ක් විසින් මෙරටට සිමෙන්ති ආනයනය කිරීමට අවසර දීමය. ඔවුන් විසින් මාසිකව මෙට්‍රික් ටොන් 15000ත් 20000ත් අතර ප්‍රමාණයක් මෙරටට සිමෙන්ති ආනයනය කරන බව සුසන්ත මහතා සඳහන් කළේය. එසේ ආනයනය කරන සිමෙන්ති කොට්ටයක් රුපියල් 2700ක් වන අතර දේශීයව නිෂ්පාදිත සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 3200ක් බවද සඳහන් වේ. ආනයනය කිරීම හරහා පාරිභෝගිකයාට යම් සහනයක් ලැබෙන බව බැලූ බැල්මට පෙන්නුම් කරයි. එසේ නම් ආනයනය කිරීම හරහා මාෆියාවක් ඇතිවන්නේ කෙසේද?

“ආනයනය කිරීමට වඩා වැඩි සිමෙන්ති කොට්ට ප්‍රමාණයක් දේශීයව නිෂ්පාදනය කරනවා. දැන් හිතන්න මේ රටේ පාලකයන්ට බැරිද මේ දේශීය නිෂ්පාදනත් 2700ට දෙන්න කතා කර ගන්න. පුළුවන්. ඒත් කරන්නේ නෑ. ඇයි නොකරන්නේ? මේ ආනයනය කිරීම හරහා ඒවාට උදව් කළ අයටත් වාසි ලැබෙන නිසා. මෙහෙම අඩු ගාණට දුන්නට කාලයක් ගිහිල්ලා ඒ අය සුපුරුදු වැඩි මිලට එකතු වෙනවමයි. එතකොට වෙන්නේ ඒ වෙද්දී මේ දේශීය කර්මාන්තශාලා කඩා වැටිලා මිනිසුන්ගේ රුකියාවල් පවා අහිමිවෙන එක. අනික මේවා ගේන්න කවුද අවසර දුන්නේ. අවසර දුන්න නිලධාරීන් පවා වගකියන්න ඕන. අද රටේ ඩොලර් නෑ. මාසිකව සිමෙන්ති ආනයනයට සල්ලි තියෙනවා. ඔය වියදම් කරන සල්ලි දෙන්නකෝ අපේ රටට තෙල් ගේන්නයි බෙහෙත් ගේන්නයි. ඩොලර් නෑ කිය කියා නහයෙන් අඬලා, අත්‍යවශ්‍ය දේවල් ගෙන්නන එක නවත්තලා මේ රටේ අතිරික්තයක් සිමෙන්ති තියෙද්දි සිමෙන්ති ගෙන්නන්න ඩොලර් වියදම් කරනවා. මොන අපරාධයක්ද? මිල දේශීය අය එක්ක කතා කරලා හදාගන්න පුළුවන්. ඒත් ඒක කරන්නේ නෑ. ඔහේ සිමෙන්ති ගෙන්නන්න දීලා තියෙනවා. ආනයනය කළා කියලා සිමෙන්ති මිල අඩුවුණේ නෑ. දේශීය සිමෙන්ති කොට්ටයේ ගාණ එහෙමමයි. මොකක්ද මේ කරන්නේ?"

සුසන්ත ලියනාරච්චි මහතාගේ අදහස් දැක්වීම බැලූ කල එහි ද සත්‍යතාවයක් පවතී. මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකහමාරක් සිමෙන්ති අවශ්‍ය රටකට දේශීයව සිමෙන්ති මෙට්‍රික් ටොන් ලක්ෂ 9ක් නිෂ්පාදනය කරන්නේ නම් ආනයනය කරන්නේ කුමක් වෙනුවෙන්ද? තෙල්, ගෑස්, බෙහෙත් ගන්න ඩොලර් නැති මොහොතක, 80% කින් ඉදිකිරීම් කටයුතු නවත්වා ඇති මොහොතක සිමෙන්ති ගෙන්නවන්නට ඩොලර් ලබා දෙන්නේ කවුද? මේවා දැන දැනත් පාලකයන් ඇස් කන් පියාගෙන සිටින්නේ කෙසේද? සැබැවින්ම මේ පිටුපස ගනුදෙනුවක් සිදුවේද?  

“මේ සිමෙන්ති ගෙනාවට ප්‍රමිතියක් දන්නේ නෑ. අපේ රටේ දේශීය නිෂ්පාදනයට වඩා අඩු නිසා ආනයන සිමෙන්ති ගන්නවා. ඒවා කොයි තරම් සවි ශක්තිමත් ද කියලා දන්නේ නෑ. ඒත් අපේ අය ගන්නවා. ඒ නිසා මම කියන්නේ කොහොම හරි මේ ආනයනය නවත්තන්න ඕන. එහෙම නැතිවුණොත් මෙරට විශාල සංඛ්‍යාවකට සිමෙන්ති නැතිවෙනවා." යැයි සුසන්ත මහතා කීය.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් සිමෙන්ති ආනයනය කිරීමට අවසර දුන්නේ කවුරුන්ද යන්න සොයා බැලිය යුතුය. ඩොලර් නැති මොහොතක තවදුරටත් සිමෙන්ති ආනයනය කර ගොඩගසන්නේ සිමෙන්ති කා ජීවත් වන්නටදැයි ප්‍රශ්නයකි. මේ රටේ මාෆියා, දූෂණ වංචා තවදුරටත් සිදුවේ නම් රටේ ආර්ථිකයට දෙවියන්ගේ පිහිට යැයි අවසාන වශයෙන් කිව යුතුයි.

 ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04