2022 සැප්තැම්බර් 18 වන ඉරිදා

පවර් ගේ ’’පවර්’’ එක

 2022 සැප්තැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 08:00 56

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පසුගියදා දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සහ අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සංවර්ධන හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමිනි.

රටේ සැබෑ තත්ත්වය වටහා ගැනීම සඳහා ගොවි බිම් කරා ගිය ඇය ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසු ඔවුනට අවශ්‍ය පොහොර, කෘෂි රසායන හා කෘෂි උපකරණ ආදිය සපයා ගැනීම සඳහා ඉදිරි කන්නය ආරම්භ වීමට පෙර ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක ආධාරයක් ලබාදීමට එකඟ වූවාය. 

පසුව ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ අතර ශ්‍රී ලංකාව වත්මනේ මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා උපකාර කිරීමට එකඟ වූවාය. ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ අත්වැල් බැඳගෙන දේශපාලන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යන ලෙස රජයෙන් ඉල්ලා සිටි ඇය පසුව උද්ධමනය සහ ඉන්ධන සහ ආහාර හිඟයෙන් පීඩාවිඳින නාගරික ප්‍රජාවද හමු වූවාය. මෙම දරුණු ආර්ථික අර්බුදය තුළ ශ්‍රී ලංකාවේ ජනතාවට සහාය වීම සඳහා අතිරේක ඩොලර් මිලියන 20ක මානුෂීය ආධාර ලබාදෙන බවද ඇය ප්‍රකාශ කළාය. එය ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන මන්දපෝෂණය සහ සාගින්නෙන් මිදීම සඳහා බවද ඇය සඳහන් කළාය. සමන්තා පවර් 2015 වසරේද ශ්‍රී ලංකාවට පැමිණි අතර මෙවර පැමිණියේ දෙවැනි වරටය.  

සමන්තා ජේන් පවර් අයර්ලන්ත - ඇමරිකානු සම්භවයක් සහිත කාන්තාවකි. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ  ප්‍රධානියාය. යේල් සරසවියේ උපාධිධාරිනියක වන පවර් උපාධිය ලැබීමෙන් පසු, ජාත්‍යන්තර සාමය සඳහා වන කානගී එන්ඩොව්මන්ට් ආයතනයේ එවක සභාපතිවරයා වූ මෝර්ටන් ආබ්‍රමොවිට්ස්ගේ සහකාර  පර් යේෂිකාවක ලෙස කටයුතු කළාය. මාධ්‍යවේදිනියක ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඇය 1993 සිට 1996 දක්වා යුගෝස්ලාවියානු යුද්ධ ආවරණය කරමින්  යූ එස් නිව්ස් - වර්ල්ඩ් රිපෝට්, ද බොස්ටන් ග්ලෝබ්, දි ඉකොනොමිස්ට් සහ ද නිව් රිපබ්ලික් යන මාධ්‍ය ආයතනවල යුද වාර්තාකාරිණියක ලෙස සේවය කළාය. යළි  එක්සත් ජනපදයට පැමිණි ඇය 1998 දී හාවඩ් කෙනඩි විද්‍යාලයේ මානව හිමිකම් ප්‍රතිපත්ති සඳහා වන මධ්‍යස්ථානයේ ආරම්භක විධායක අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ අතර, පසුව හාවඩ් නීති විද්‍යාලයට ඇතුළත්ව 1999 දී නීති උපාධිය දිනාගත්තාය. 2004 දී, ටයිම් සඟරාව විසින් එම වසරේ ලෝකයේ වඩාත්ම බලගතු පුද්ගලයන් 100 දෙනාගෙන් කෙනෙකු ලෙස පවර් නම් කළ අතර 2016 දී ෆෝබ්ස් සඟරාව ඇය ලොව 41 වැනි බලවත්ම කාන්තාව ලෙස ලැයිස්තුගත කළේය. 2007 අගභාගයේදී ඇය ටයිම් සඟරාව සඳහා සතිපතා තීරු ලිපියක්ද රචනා කළාය.

සමන්තා පවර් ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකාවකි. අැය ඇනා ලින්ඩ් ආයතනයේ ගෝලීය නායකත්ව සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රථම මහාචාර්යවරිය ලෙස 2009 දක්වා කටයුතු කළාය. සෙනෙට් සභික බැරුක්  ඔබාමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව ලෙස කටයුතු කරමින් සිටියදී එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී සෙනෙට් සභික හිලරි ක්ලින්ටන් රකුසකු ලෙස හැඳින්වීම නිසා ක්ලින්ටන්ගෙන් සමාව අයැදීමට සිදුවූ අතර ඒ හේතුවෙන් ඔබාමාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයෙන් ඉල්ලා අස්වීමට ඇයට සිදු විය.
බැරුක් ඔබාමා බලයට පත්වීමෙන් පසු 2008 යළි රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිත කණ්ඩායමට එක් වූ ඇය 2009 ජනවාරි සිට 2013 පෙබරවාරි දක්වා ජාතික ආරක්ෂක කවුන්සිලයේ බහුපාර්ශ්වික කටයුතු සහ මානව හිමිකම් පිළිබඳ ජනාධිපතිගේ විශේෂ සහකාර සහ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ලෙස සේවය කළාය. පසුව ජනාධිපති ඔබාමා ඇයව අලුතින් පිහිටුවන ලද අපරාධ වැළැක්වීමේ මණ්ඩලයක සභාපතිත්වයට පත් කළේය. 2013 සිට 2017 දක්වා එක්සත් ජාතීන්ගේ 28 වැනි එක්සත් ජනපද තානාපතිනිය ලෙස කටයුතු කළ ඇය එසමයේ එක්සත් ජාතීන්ගේ ප්‍රතිසංස්කරණ, කාන්තා අයිතිවාසිකම් සහ සමලිංගික හා සංක්‍රාන්ති ලිංගිකයන්ගේ  අයිතිවාසිකම්, ආගමික නිදහස සහ ආගමික සුළුතරයන්, සරණාගතයින්, මිනිස් ජාවාරම්, මානව හිමිකම් සහ මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව, සුඩානය, මියන්මාරය, ලිබියාව යන රටවල ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරුණු කෙරෙහි තම අවධානය යොමුකළාය. ලිබියාවේ හමුදාමය මැදිහත් වීමට ජනාධිපති ඔබාමා පරිපාලනය පොළඹවනු ලැබූ ප්‍රධාන චරිතයක් ලෙසද ඇය ප්‍රකටය. ලිබියානු සිවිල් යුද්ධයේදී මානුෂීය හේතූන් මත ලිබියාවට හමුදාමය මැදිහත්වීමක් සඳහා පවර් පෙනී සිටියාය. එවක රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ එක්සත් ජාතීන්ගේ තානාපති සූසන් රයිස් සමඟින්, ලිබියානු සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සභාග හමුදාවකට බලය පවරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට ඔබාමාට බලපෑම් කළේ පවර්ය. 

2000 වසරේ, ග්‍රුහැම් ඇලිසන් සමඟ සංස්කරණය කළ ඇගේ පළමු සංස්කරණය වූ Realizing Human Rights: Moving from Inspiration to Impact කෘතිය ප්‍රකාශයට පත් කළාය. ඇගේ පළමු ස්වතන්ත්‍ර කෘතිය වූයේ  A Problem from Hell: America and the Age of Genocide, නම් කෘතියයි. එම කෘති &ආරක්ෂා කිරීමේ වගකීම* යන මූලධර්මය නිර්මාණය කිරීමට උපකාරී විය. ජන සංහාරය සම්බන්ධයෙන්  එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ රචිත එම කෘතිය ප්‍රබන්ධ නොවන කෘති සඳහා වන පුලිට්සර් ත්‍යාගය සහ 2003 දී ජේ. ඇන්තනි ලූකස් ග්‍රන්ථ ත්‍යාගය හිමිකර ගැනීමට සමත් විය. Chasing the Flame: Sergio Viera de Mello, The Fight to Save the World, The Unquiet American: Richard Holbrook in the World සහ The Education of an Idealist: A Memoir ඇය විසින් රචිත අනෙකුත් කෘති වේ. . 2015දී ඇය විශිෂ්ටත්වය සඳහා වන බර්නාඩ් සම්මානයත් 2016දී හෙන්රි කිසින්ජර් සම්මානයත් හිමිකර ගත්තාය. 2017 නොවැම්බර් මාසයේදී ඩබ්ලින් විශ්වවිද්‍යාලය ඇයට යුලිසස් පදක්කම ප්‍රදානය කරන ලදී. 2019දී ඇමරිකානු දේශපාලන හා සමාජ විද්‍යා ඇකඩමිය විසින් Daniel Patrick Moynihan ත්‍යාගය සඳහා ඇය නම් කරනු ලැබීය. 2019දී ඉන්දියානා විශ්වවිද්‍යාලය ඇයට ගෞරව ආචාර්ය උපාධිය පිරිනැමීය.

2021 ජනවාරියේදී, වත්මන් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් සමන්තා පවර් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ප්‍රධානියා ලෙස පත් කෙරිණි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් අර්බුදයට පත් රටවලට විශාල ලෙස ලෙස විදේශ ආධාර ලබාදීමට ඇය කටයුතු කළාය. 

පවර් විවාහ වූයේ නීතිය පිළිබඳ මහාචාර්වරයකු වන කැස් සන්ස්ටයින් සමඟය. ඔවුනට දරුවන් දෙදෙනෙක් සිටිති.
 
 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04