2022 සැප්තැම්බර් 18 වන ඉරිදා

මිල ඇහැව්වම තරු විසිවෙන පාන් පිටි

 2022 සැප්තැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 08:00 161


අද ජනතාව අන්දුන් කුන්දුන් වී සිටින්නේ පාන් මිල දිනපතාම පාහේ ඉහළ යාම හේතුවෙනි. මේ වනවිට පාන් ගෙඩියක මිල රුපියල් 200 දක්වාද කෙටිකෑමවල මිල රුපියල් 100 ආසන්නයටද පැමිණ තිබේ. පසුගියදා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මාධ්‍යයට ප්‍රකාශ කළේ තිරිඟු පිටි මිලට සහනයක් ලබා නොදුන්නහොත් සතියක් පමණ වනවිට පාන් ගෙඩියක මිල රුපියල් 300ක් වනු ඇති බවය. එසේම ඔහු දේශය පුවත්පතට වරෙක ප්‍රකාශ කළේ මසක් තුළ මෙම තත්ත්වය දිගටම තිබුණහොත් පාන් නිෂ්පාදනය මුළුමනින්ම නැවතී යන අතර ජනතාවට පෝලිමේ ගොස් හෝ පාන් ගෙඩියක් මිලදී ගැනීමට අවස්ථාව නොලැබෙන බවය.

මෙරට තිරිඟු පිටි ආනයනයේ ඒකාධිකාරීත්වය හිමිව ඇත්තේ ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන බහුජාතික සමාගම්වලටය. එහෙත් පාන් මිල අඩු කිරීමට යැයි රජය තිරිඟු පිටි ආනයන බලපත්‍රය ඕනෑම ආනයනකරුවකුට දීමට කටයුතු කළේය. එයින් සිදුවූයේ කුමක්ද? මේ නිසා තිරිඟු පිටි මිල ඉහළ යාමය. රටේ උද්ගත වූ ඩොලර් අර්බුදය හමුවේ තිරිඟු පිටි ආනයනය කළ ප්‍රධාන සමාගම් දෙකට ඒවා ආනයනය කිරීමට නොහැකි විය. එසේම ජාත්‍යන්තර වෙළෙඳ පොළේ තිරිඟු පිටි නිෂ්පාදනය අඩුවූ අතර මේ නිසා මිල ඉහළ ගියේය. ඉන්දියාව ආදී රටවල් පිටි ආනයනය තහනම් කළේය. මේ නිසා තිරිඟු පිටි ආනයනය අඩුවිය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මෙරට ඇතැම් ආනයනකරුවෝ ස්වල්ප වශයෙන් තිරිඟු පිටි ගෙන්වා එකට දෙක තුනක් ලාබ තබාගෙන විකිණීම ආරම්භ කළෝය.මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රුපියල් 8000ක පමණ මිලකට අලෙවි වූ කිලෝ 50ක පිටි මිටියක මිල රුපියල් 20,000 – 25,000 දක්වා ඉහළ නැගුණි. සෙරන්ඩිබ් සහ ප්‍රීමා සමාගම් ස්වල්ප වශයෙන් ගෙන්වූ තිරිඟු පිටි මිලද වෙළෙඳපොළට සාපේක්ෂව ඉහළ නැගුණි. මෙය පනින රිලවුන්ට ඉනිමං බැඳීමක් විය.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පාන් ගෙඩියක මිල රුපියල් 300ක් දක්වාද කෙටිකෑම සහ බනිස්වල මිල රුපියල් 100ට ආසන්නවද මිල ඉහළ යන බව ප්‍රකාශ විය. කේක් ආදී නිෂ්පාදනවල මිලද හතර ගුණයකින් පමණ වැඩිවී ඇති බව දැකගත හැකි විය.

බේකරි හිමියන් පවසන්නේ මේ වනවිට පිටි මිල ඉහළ යාම සහ නිෂ්පාදනවල ඉල්ලුම අඩුවීම නිසා පාන් නිෂ්පාදන නවතා ඇති බවය. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන කිවූයේ මෙම තත්ත්වය නිසා දැනටමත් බේකරි 2000ක් පමණ වැසී ගොස් ඇති අතර ඉතිරි ඒවාද ක්‍රමයෙන් වැසී ගොස් මසක් ඇතුළත රටේ පාන් නිෂ්පාදනය සම්පූර්ණයෙන් නැවතෙනු ඇති බවය. බේකරි ආශ්‍රයෙන් ඍජුව සහ වක්‍රව රැකියා සැලසූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ රැකියා අහිමි වී ඇති බව ඔහු පැවසීය. මේ පිළිබඳ තම සංගමය ආණ්ඩුවේ වගකිවයුත්තන්ට කිහිප වතාවක් ලියා ඇති නමුත් ප්‍රතිචාරයක් නොලැබුණු බව සභාපතිවරයා කියයි.

මිල ඉහළයාම පිළිබඳ අදහස් දක්වන සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසන්නේ බොහෝ ආපන ශාලාවල අලෙවි වන්නේ පාන් ඇතුළු තිරිඟු පිටිවලින් තැනූ ආහාර බවය. පිටි නැතිවීම නිසා ආපනශාලාවල ආදායම අඩුවී ඒවාද වැසී යන තත්ත්වයට පත්ව ඇතැයි හෙතෙම පවසයි. රජය මේ පිළිබඳ මැදිහත් වී ආපනශාලා ව්‍යාපාරය හා බේකරි කර්මාන්තය ආරක්ෂා කළයුතු බව ඔහු අවධාරණය කළේය.

මේ අතර පාරිභෝගික සංගම් පවසන්නේ ජනතාවට රුපියල් 300ට පාන් මිලට ගන්න යැයි නොපවසා සාධාරණ ලෙස තිරිඟු පිටි මිල අඩුකර ගැනීමට බේකරි හිමියන් කටයුතු කළ යුතු බවයි. එසේ කළ නොහැකි නම් එම සංගම්ද වැසී යා යුතු බව ඔහු කියයි. "පිටි මිල ඉහළ යන විදියට පාන් මිල ඉහළ දමන්න නම් සංගම් අවශ්‍ය නැහැ" ඔවුහු අවධාරණය කරති.

මේ පිළිබඳ පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විමසූ විට වැටලීම් කරන කණ්ඩායමේ ප්‍රධාන නිලධාරියකු පැවසූයේ පාන් සහ බේකරි කෑමවල මිල පාලනයක් නොපවතින නිසා ඒවායේ මිල පිළිබඳ අධිකාරියට කටයුතු කළ නොහැකි බවයි. 

බේකරි හිමියෙක් පවසන්නේ පිටි නොමැතිවීම නිසා මේ දිනවල පාන් සහ බේකරි නිෂ්පාදන තනන්නේ "නමට පමණක්" බවය. බේකරි නොවසා පවත්වාගෙන යාම වෙනුවෙන් සුළු නිෂ්පාදන ප්‍රමාණයක් කරන අතර ඒවා වුවද වෙනදා තරම් අලෙවි නොවන බව ඔහු කීවේය. පාන් සහ බේකරි නිෂ්පාදන අලෙවි සලක හිමිකරුවකු පැවසුවේ වෙනදා දිනකට පාන් ගෙඩි 500ක් පමණ විකුණන නමුත් මේ දිනවල සියයක්වත් අලෙවි කරගත නොහැකි බවයි. බේකරිවල නිෂ්පාදනය කරනුයේ අඩු ප්‍රමාණයක් නිසා තමන්ට ලැබෙන්නේද අඩුවෙන් බව පැවසීය. මෙයට පෙර "චූන් පාන්" කරුවන් යොදවා පාන් අලෙවි කළ නමුත් අලෙවිය වෙනදාට වඩා බොහෝ අඩුවීමද, ඉන්ධන ගැටලුවද නිසා "චූන් පාන්" ව්‍යාපාරය සිදු නොවන බවද හෙතෙම පැවසීය. විදුලි, ජල හා ඉන්ධන ගැටලු නිසා ව්‍යාපාරය ඉදිරියට පවත්වාගෙන යාම දුෂ්කර බැවින් පවතින තත්ත්වය සමථයකට පත් නොවුණහොත් වෙළෙඳසල වසා දැමීමට සිදුවන බව ඔහු කීවේය.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ පැවසුවේ බේකරි හිමියන්ගේ සංගමය බොරදියේ මාළු බාමින් ඔවුන්ගේ වාසියට කටයුතු කරන බවය. බේකරි හිමියන්ට ඕනෑම මිලක් තීරණය කිරීමට දීම නිසා ජනතාව ගසා කෑමට අවස්ථාව සලසා දී ඇති බව ඔහු කීවේය. පාන් ගෙඩියක මිල රුපියල් 300කට වැඩි විය හැකි බව ප්‍රකාශ කිරීමෙන් බේකරි හිමියන්ගේ සංගමය ජනතාව සූරා කෑමට තම සාමාජිකයන්ට අවස්ථා දී ඇති බවද හෙතෙම කීවේය.

තමාට එල්ල වන චෝදනා හමුවේ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ප්‍රකාශයක් නිකුත් කරමින් පසුගිය සතියේ කියා සිටියේ පාන් ගෙඩියක් රුපියල් 300කට අලෙවි කරන ලෙස තමා තම සාමාජිකයන්ට නොපැවසූ බවය. පාන් ගෙඩියක් රුපියල් 300කට අලෙවි කිරීමට තම සංගමය තීරණයක් ගෙන නොමැති බවද ඔහු කීවේය. එසේ වුවද තිරිඟු පිටි කිලෝ 50 මිටියක් රුපියල් 25,000කට මිලදී ගැනීමට සිදුව ඇති බේකරි හිමියන්ට එම මුදලට පාන් ගෙඩියක් අලෙවි කිරීමට සිදුවන බවද ඔහු පැවසීය. මෙයට අමතරව මෙවැනි ඉහළ මිලකට තිරිඟු පිටි මිලට ගෙන කෙටි ආහාර නිපදවන ව්‍යාපාරිකයන්ට තම වියදම පිරිමසා ගැනීම සඳහා බනිස්, මාළු පාන් ඇතුළු කෙටි ආහාර අලෙවි කිරීමට සිදුවන්නේ දැනට විකුණන මිලට වඩා රුපියල් 50 පමණ වැඩියෙන් බවද හෙතෙම පැවසීය. එසේ නොවුණහොත් ව්‍යාපාර වසා දැමීමට සිදුවිය හැකි බවද කීවේය.

කෙසේ වුවද පසුගියදා බේකරි හිමියන්ගේ සංගමය සහ වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු අතර අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී පවතින තත්ත්වය බොහෝදුරට සමථයකට පත් කිරීමට හැකිවූ බවට ආරංචි පළ විය. මෙම සාකච්ඡාව අවසන්ව පිටතට පැමිණි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසුවේ සාකච්ඡා බොහෝදුරට සාර්ථක වූ අතර තව සතියකින් දෙකකින් බේකරි කර්මාන්තය යථා තත්ත්වයට පත්වනු ඇති බවය. "ඇමැතිතුමා අපේ ගැටලුවලට ඉක්මණින් විසඳුමක් ලබාදෙන බවට පොරොන්දු වුණා. ඒ අනුව තිරිඟු ප්‍රශ්නය ඉදිරියේදී විසඳිලා මුලින් තිබුණ තත්ත්වයට පත්වෙයි" ඔහු කීවේය.

පැවැති සාකච්ඡාවේ ප්‍රතිඵල පිළිබඳ වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මෙසේ පවසා තිබිණි.

"රටට අවශ්‍ය තිරිඟු පිටි ආනයන සමාගම් දෙක ඩොලර් අර්බුදය නිසා තිරිඟු පිටි ගෙන්වීමේ ගැටලුවකට මුහුණ දී තිබුණා. එයට විසඳුමක් ලෙස ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ එම ආයතනවලට පහසුකම් ලබාදෙන්න හැකිවුණා. රුසියානු යුක්රේන යුද ගැටුම නිසා තිරිඟු ආනයනය ගැටලුවක් වුණා. ඉන්දියාව පිටි අපනයනයද නතර කළා. ඒ නිසා ගැටලුව උග්‍ර වුණා. මේ වනවිට තුර් කියෙන් හා ඩුබායිවලින් තිරිඟු ගෙන්වීමට ආනයනකරුවන් කටයුතු කරනවා. එම තොග මේ මාසේ 15 වනවිට ලැබෙනවා. ඒ නිසා මෙම ප්‍රශ්නයට සැප්තැම්බර් මාසයේ 15 වන දින වනවිට විසඳුම් ලැබේවි."


I යසවර්ධන රුද්රිගු