2022 සැප්තැම්බර් 18 වන ඉරිදා

දෙතුන් ගුණයකින් ඉහළ නැග්ග පොත් මිල.

 2022 සැප්තැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 08:00 90

කොළඹ පොත් දැක්ම ආරම්භ වී පවතින මේ කාලයේ බොහෝ දෙනෙක් පොත් ගැනීමට උනන්දුවක් දක්වති. ඒත් එදා වේලට අවශ්‍ය දේශීය හාල්, තුනපහ, එළවළු පවා අහස උසට ඉහළ ගොස් පවතින කාලයක පිටරටින් ගෙනෙන අමුද්‍රව්‍ය මත සියයට 100ක් යැපෙන පොත්වල මිල කෙසේද යන්න අප කා තුළත් උනන්දුවක් දනවන කරුණකි. මුද්‍රණ කර්මාන්තයට දේශීය වශයෙන් භාවිත කරන්නේ ශ්‍රමය පමණි. කඩදාසි තීන්න, මුද්‍රණ ප්ලේට්, පොත් අලවන ගම් ඇතුළු සියලුම දේ පිටරටින් ඩොලර් ගෙවා ලබාගත යුතුය. විදේශ විනිමය හිඟය නිසා ආනයනය සීමාකර ඇති ද්‍රව්‍ය අතරට කඩදාසි ඇතුළු මුද්‍රණ අමුද්‍රව්‍යද ඇතුළත්ය.

 

මෙවන් පසුබිමක් යටතේ රටේ තිබෙන මුද්‍රණ අමුද්‍රව්‍යවල මිල තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. තොග වශයෙන් තීන්න, කඩදාසි ගෙන්වන මුදලාලිලා ඒවා කළුකඩ මිලට විකුණති. මේ නිසා තමන් ප්‍රිය කරන නිර්මාණ සාහිත්‍යය මෙන්ම, තම අධ්‍යාපනයට අවශ්‍ය පොත් ගන්නා පාඨකයන්ටත් වන්නේ කුමක්දැයි විමසා බැලීමට අපි උනන්දු වුණෙමු.

පොත් ප්‍රදර්ශනයේදී වැඩිම පාඨක පිරිසක් මිලදී ගන්නේ ස්වර්ණ පුස්තක නිර්දේශිත නවකතා පොත් ය. මෙවර එම පොත්වල නව මුද්‍රණ නිකුත්ව ඇත්තේ දෙගුණයක මිල වැඩිවීමක් සමගිනි. ස්වර්ණ පුස්තක සම්මානය දිනූ චන්ද්‍රරත්න බණ්ඩාරගේ ප්‍රේමානිශංසය මිල රු.1590කි. ස්වර්ණ පුස්තක අවසන් වටයට පැමිණි ශමෙල් ජයකොඩිගේ මගේ චිකාගෝ හදවත රු.1250ක්ද සේපාලි මායාදුන්නේගේ හීන්දොස් මාලේ රු. 1650ක් ද එරික් ඉලයප්පආරච්චිගේ නකුලමුනි රු.2250ක්ද ලෙස නව ම්‍රද්‍රණ මිල කර තිබේ.

දිනෙන් දින ඉහළ යන කඩදාසි මිල සහ අමුද්‍රව්‍ය හිඟතාව හේතුවෙන් මෙරට මුද්‍රණ කර්මාන්තකරුවෝද දැඩි අර්බුදයකට මුහුණ පා සිටිති. රටේ දේශපාලනඥයන්ගේ දූෂිත කළමනාකරණය නිසා හටගත් ඩොලර් අර්බුදය පොතපතට සෘජුවම බලපා ඇත්තේ පාඨකයන් පමණක් නොව ලේඛකයන්ද මුද්‍රණකරුවන්ද අතරමං කරවමිනි. මේ කාලයේ පොත් මිල තීරණය කිරීම ගැන ඇසීමට අප මුලින්ම කතාකළේ ලංකාවේ විශාලම ප්‍රකාශන ආයතනය වන සරසවි ප්‍රකාශකයන්ටයි. සරසවි ප්‍රකාශන කළමනාකරු ශ්‍රීපාලි පෙරේරා තම අදහස් මෙසේ පැවසුවේය: 

"අපි පසුගිය කාලයේ දුෂ්කර තත්ත්වයන් යටතේ කඩදාසි ආනයනය කළා. අපටම මුද්‍රණාලයක්ද පවතිනවා. මේ නිසා අපට වෙනත් පොත් ප්‍රකාශකයන්ට වඩා තරමක් අඩු මිලක් පොතකට නියම කළ හැකියි. කෙසේ වුවත් 2021 රු.500කට මිල නියම කළ පොතක් සාමාන්‍ය ප්‍රකාශකයකුට නම් මිල කරන්න වෙන්නේ රු.1500කට. අප එවැනි පොතක් රු. 1200, 1300ක් වැනි මුදලකට මිල නියම කරනවා. මෙතැනදී අඩුවන්නේ සුළු මුදලක් වුණත් මේ කාලෙ පාඨකයන්ට එයත් වැදගත් වෙනවා. සරසවි පොත් පෙර පටන්ම මිල නියම කළේ වෙනත් ප්‍රකාශකයන්ට වඩා අඩුවෙන්. සාමාන්‍ය නවකතාවක් රු.500, 600ක් වගේ වුණා. අපට අවශ්‍ය වුණා පොත් ගොඩ ගසාගෙන නොසිට ඉක්මනින් අලෙවි කර ගන්න. එවිට පොත පාඨකයා අතට යනවා වගේම ලේඛකයාට කර්තෘ භාගය ලබාගැනීමටත් ඉඩ ලැබෙනවා. වෙනදා පොත් විශාල ප්‍රමාණයක් මුද්‍රණය කළත් පවතින අපහසුතාත් මැඩගෙන මෙවර පොත් ප්‍රදර්ශනය සඳහා පොත් 25ක් පමණ මුද්‍රණය කළා. හැමදාම අපි සමඟ සිටින ලේඛකයන්ගේ අලුත් පොත් නිකුත් කළා. හැබැයි වෙනදාට වඩා වැඩි අලෙවියක් ඇති පොත්වලට ප්‍රමුඛත්වය දුන්නා. වෙනදා වගේ පොත් විශාල සංඛ්‍යාවක් පළ කිරීමට අධික මුද්‍රණ වියදම ඉඩ දෙන්නේ නෑ. අපේ පොත් අලෙවිසල් ජාලයක් රට පුරා තිබෙන නිසා පොත්වල මිල වැඩිවුණා කියලා අලෙවියේ විශාල අඩුවක් වෙලා නෑ. පාඨකයන් අපේ පොත්හල්වලින් පොත් මිලදී ගන්න එනවා. නමුත් ගන්නා පොත් සංඛ්‍යාව අඩුවෙලා."

විශාල ප්‍රාග්ධනයක් සහිත පොත් ප්‍රකාශන සමාගම්වලට පොත් මිල ඉහළ යාමේ  අර්බුදය ජයගැනීමේ මං සොයාගත හැකි වුවත් වෙනත් මුද්‍රණාලවල පොත් මුද්‍රණය කරන කුඩා ප්‍රකාශන ආයතනවල පැවැත්ම පවතින්නේ අවදානමේය. කුඩා ප්‍රකාශන ආයතනයක් වන රීඩර්ස් ප්ලැනට් පබ්ලිෂර් අධිපතිනි නදීරා කුරුප්පු දිසානායක ඒ ගැන අප සමඟ මෙසේ කීවාය: 

"අපි පොත් ප්‍රකාශනයට පිවිසෙන 2021දී පොත් මුද්‍රණය කරන කඩදාසි රීම් එකක් තිබුණේ රු.3000-4000 වගේ මිලකට. හිටි ගමන් කඩදාසි මිල රු.20000ක් දක්වා ඉහළ ගියා. මේ නිසා 2022 ජනවාරිවල සිට අපි පොත් මුද්‍රණය කිරීම නැවැත්තුවා. අගෝස්තු මාසෙ වනවිට රීම් එකක මිල රු.15,000 වගේ මට්ටමකට ආවා. සැප්තැම්බරය ළංවෙලා කවුරුත් පොත් මුද්‍රණය පටන් ගත්තම ආයෙත් කඩදාසි මිල රු.16000ක් වෙලා. මේ වාගේ මිල ගණන් කුඩා ප්‍රකාශකයන්ට දරාගන්න බෑ. අපි වරකට පොත් පිටපත් 1000ක් හෝ 500ක් වගේ තමයි මුද්‍රණය කරන්නේ. විශාල තොග වශයෙන් පොත් ගහන්නේ නෑ. ගිය අවුරුද්දේ රු.100,000ක් වැයවුණු පොතක් ගහන්න දැන් රුපියල් ලක්ෂ තුනක් යනවා. මේ නිසා ගිය අවුරුද්දේ පොත් පළකර ලැබූ ලාබයෙන් මේ පාර පොත් ගහන්න වියදම සොයාගන්න බෑ."

පසුගිය කාලයේ අයහපත් වාතාවරණය නිසා බොහෝ කුඩා මුද්‍රණායතන වසාදැමීමට සිදුව තිබේ. මේ අතර සමහර විශාල මුද්‍රණාල පවා අලෙවි කර ඇති අතර ඒවා මිලදී ගෙන ඇත්තේ විදේශිකයන් විසිනි. මේ නිසා දේශීය මුද්‍රණ කර්මාන්තයද අර්බුදයට පත්ව තිබේ.

විදර්ශන ප්‍රකාශන ආයතනයෙන් පසුගිය දිනවල නිකුත් වූ ලියනගේ අමරකීර්තිගේ විශ්වවිද්‍යාලය යනු කුමක්ද රු.1500කටත්, මනෝහාරි ජයලත්ගේ ගිරිජා නවකතාව රු.1300කටත්, සංජය නිර්මාල්ගේ ඒ පොත නොහොත් සර්පයා මැරීම රු.2000කටත් මාක් ට්වේන්ගේ හකල්බරි පින් රු.1800කටත් මිලකර තිබේ. දශක කිහිපයක සිට ප්‍රකාශන කර්මාන්තයේ නිරත විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉණිමංකඩ පවතින අර්බුදය විස්තර කළේ මෙසේය. 

"අපට 2021 දෙසැම්බර්වල පොතකට නියම කරපු මිල වගේ දෙගුණයක් මිල කරන්න වෙලා. කඩදාසි සහ තීන්න මිල තුන් ගුණයකින් ඉහළ ගිහින්. ප්‍රකාශකයන් තමන්ගේ ලාභය සීමාකරගෙන තමයි දෙගුණයක් මිලට පොත් අලෙවි කරන්නේ. කඩදාසි රීම් එක රු.16600 දක්වා ඉහළ ගියා. නමුත් ලබන අවුරුද්ද වන විට එය රු.10000ක් වගේ මිලකට ස්ථාවර වේවි කියලා හිතනවා. එහෙම වුණොත් දැනටත් වඩා යම් අඩුවකට පොත් මිල කරන්න හැකිවේවි. 

අධික මුද්‍රණ වියදම නිසා අපි ළඟ අත් පිටපත් 100ක් පමණ රුඳී තිබෙනවා. මුද්‍රණය කරගත නොහැකිව. මේ අවුරුද්දේ දැනට මුද්‍රණය කර ඇත්තේ පොත් 10ක් පමණයි. මම නම් හිතන්නේ පොත් ප්‍රදර්ශනයෙන් පස්සේ කුඩා ප්‍රකාශන ආයතන අර්බුදයකට ලක් වෙනවා. ඔවුන් ළඟ දැනට තිබෙන තොග අවසන් වූ පසුව අලුතින් පොත් ගහන්න ප්‍රාග්ධනය හිඟවීම නිසා ගැටලු පැන නගීවි. පවතින පොත් අලෙවි කර ලැබෙන ආදායම අලුත් පොත් මුද්‍රණය කරගන්න ප්‍රමාණවත් නෑ. වෙනදා අපි වුණත් මුද්‍රණ කටයුතු කරන්නේ පසුව මුදල් ගෙවීමේ ක්‍රමයට. එවිට පොත් ප්‍රදර්ශනයෙන් පසුව අලෙවියෙන් ලැබෙන ආදායමෙන් මුද්‍රණ වියදම ගෙවා දමනවා. කුඩා ප්‍රකාශකයන් පවා පොත් ගැහුවේ මේ විදිහටයි. නමුත් දැන් අත්පිට මුදලටයි ගනුදෙනු සිදුවන්නේ. මේක සුළු ප්‍රාග්ධනයක් සහිත ප්‍රකාශකයන්ට ඔරොත්තු දෙන්නෙ නෑ. දැනට පවතින ප්‍රකාශන ආයතන 250 ප්‍රමාණය මේ නිසා ඉදිරියේදී අඩුවන්න ඉඩ තිබෙනවා."

පොත් කියවීම ජීවිතයට අත්‍යවශ්‍යය. අධ්‍යාපනයටත් පොත් නැතිව බැරිය. පසුගිය කාලයේ වාර්තා වුණේ කඩදාසි නැති නිසා වාර විභාගවල ප්‍රශ්න පත්‍ර පවා මුද්‍රණය කරගන්න බැරිවුණු සිදුවීම් ගැනය. මෙවන් තත්ත්වයක් යටතේ කඩදාසි ඇතුළු මුද්‍රණ අමුද්‍රව්‍ය ආනයනයට රජය යම් පියවරක් ගත යුතු බව අපගේ හැඟීමයි.

I කුසුම්සිරි විජයවර්ධන

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04