මහ රැජිනගේ අවසන් ගමනේ සාම්ප්‍රදාය සහ රස රහස් !
හිරු නොබසින අධිරාජ්‍යයේ අවසන් අධිරාජිනිය වූ දෙවැනි එලිසබෙත් රැජින 2022 සැප්තැම්බර් 09දා අභාවයට පත් වූ බවට නරක ආරංචිය ලද විගස එක්සත් රාජධානිය නිල වශයෙන් එහි ජාතික ශෝක කාලයකට අවතීර්ණ විය. මේ ශෝක කාලය සැප්තැම්බර් 19 සඳුදා ඇගේ අවමංගල්‍ය උත්සවය දක්වා පැවතිණි. එදින ද රටේ ශෝක දිනයකි. ඒ අවසන් දවස තුළ පමණක් දේව මෙහෙයයන් 3ක් සහ පැය 12කට ආසන්න චාරිත්‍රානුකූල උත්සව පැවැත්වීමට නියමිතය. මේ කාලය තුළ ඉතිහාසගත වන රාජකීය අවමංගල උළෙලක අසිරිමත් සාම්ප්‍රදායික වත්පිළිවෙත් ඇතුළු රස රහස් රැසක්ම මෑත ඉතිහාසයේ මුල්වරට දැකගන්නට සෙසු ලෝකයට හැකිවනු ඇත.
රාජකීය ශෝක පුවත
සාමාන්‍යයෙන් මේ රාජකීය ශෝක පුවත සෙසු ලෝකය වෙත එන්නේ දිගු මගකිනි. එය පුරාණ සම්ප්‍රදායකි. වෛද්‍යවරැන් විසින් කෙටි නමුත් ව්‍යාංගයෙන් යුතු "අවසන් පණිවුඩය" තහවුරු කරයි. මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කටයුතු කරන්නට සිදුවන පළමු නිලධාරියා වනුයේ 2014 දී දෙවැනි නයිට් පදවියක් පිරිනමන ලද හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයකු වන රැජිනගේ පෞද්ගලික ලේකම් ශ්‍රීමත් ක්‍රිස්ටෝපර් ගයිඩ්ට් ය. ගයිඩ්ට් ඉන්පසු මුලින්ම අගමැතිවරිය අමතනු ඇත.
ශෝකී විද්‍යුත් තැපෑල
ඒ සමඟ අමාත්‍යවරුන්ට සහ ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයන්ට මේ ශෝකී ආරංචිය කැබිනට් ලේකම්වරයාගෙන් විද්‍යුත් තැපෑලක් සේ ලැබෙනු ඇත. රාජාණ්ඩුව වෙනුවෙන් රජයේ කටයුතු සම්බන්ධීකරණය කරන පුද්ගලික කවුන්සිලයේ කාර්යාලයට ද දැනුම් දෙනු ඇත
මෙම විද්‍යුත් තැපෑල ලැබීමෙන් විනාඩි 10ක් ඇතුළත රාජකීය වාසස්ථාන, වයිට්හෝල් සහ අනෙකුත් රජයේ ගොඩනැගිලි පුරා ජාතික කොඩි අඩකුඹු කරනු ලැබේ.
අගනුවර හෙළි නොකළ ස්ථානයක පිහිටා ඇති විදේශ කාර්යාලයේ ගෝලීය ප්‍රතිචාර මධ්‍යස්ථානයෙන් රැජින රාජ්‍ය නායකයා ලෙස සැලකුම් ලද එක්සත් රාජධානියෙන් පිටත ආණ්ඩු 15ක් වෙත සහ ඇය සංකේතාත්මක නායක චරිතයක් ලෙස සේවය කළ පොදුරාජ්‍ය මණ්ඩලයේ අනෙකුත් ජාතීන් 36ක් වෙත එම ප්‍රවෘත්ති ඒ සැණින් යවනු ඇත. ඒ රටවල ප්‍රධානීන් ආණ්ඩුකාරවරු, තානාපතිවරු සහ අගමැතිවරු මුලින්ම මේ ආරංචිය ලබන්නෝය.
බිඳ වැටුණු මාධ්‍ය සම්ප්‍රදාය
සැබැවින්ම මාලිගය සම්බන්ධ මෙබඳු නරක ආරංචියක් එය සිදුවූ සැණින්ම වාගේ BBC ඇතුළු මාධ්‍ය වෙත ද ළඟා වේ. නමුත් ඔවුන් මේ වනතුරු සුරැකි සදාචාර ප්‍රතිපත්තියක් වූයේ සාම්ප්‍රදායික රාජ්‍ය තාන්ත්‍රික වටරවුමෙන් ආරංචිය නියමිත තැන් කරා පළමුව යන තුරු එය ජනතාව වෙත ප්‍රචාරය නොකිරීමය. මේ නිසා 1952 පෙබරවාරි 6 වැනි දින VI වැනි ජෝර් ජ් රජු අභාවයට පත්ව සිටිනු, ඔහුගේ භාරකරු විසින් සැන්ඩ්‍රින්හැම්හිදී උදේ 7.30 ට සොයාගන්නා ලද මොහොතේම BBC එය දැන සිටියද ඔවුන් සාම්ප්‍රදාය රකිමින් පැය හතරකට ආසන්න කාලයක් එනම්, පෙරවරු 11.15 දක්වා පුවත විකාශනය කළේ නැත. ඒ ලෙසම ඩයනා කුමරිය 1997 අගෝස්තු 31 වැනි දින පැරිසියේ පිටී-සල්පෙට්‍රියර් රෝහලේදී දේශීය වේලාවෙන් අලුයම 4 ට මියගිය විට, හිටපු විදේශ ලේකම් රොබින් කුක් සමඟ පිලිපීනයේ සංචාරයක නිරත වූ මාධ්‍යවේදීන් එය විනාඩි 15 ක් ඇතුළත දැනගත් නමුත් එය සෙසු ලෝකය කරා ආවේ පමාවීය.
නමුත් දැන් BBC සතුව තිබූ ඒ සාම්ප්‍රදායික ඒකාධිකාරය බැහැරව ඇත. මෙදා රැජිනගේ අභාවය පිළිබඳ ආරංචිය සැනින් ලෝක පුවත්පත් සංගමයට සහ ලෝකයේ අනෙකුත් මාධ්‍ය වෙත එකවර හදිසි ප්‍රවෘත්තියක් ලෙස ළඟා විය.
කළු දැන්විම සහ අඳුරු තිර
අවසන් ආරංචිය තහවුරු වූ පසු එම මොහොතේම බකිංහැම් මාලිගයේ දොරකින් පිටතට ආ ශෝකය පළ කරන කළු ඇඳුමින් සැරසුණු සේවකයෙක් කළු දාර සහිත පසුබිමක සටහන් වූ ශෝක පණිවුඩය රැගත් දැන්වීමක් සවි කරන්නට කටයුතු කරයි. ඔහු මෙය කරන අතරතුර මාලිගාවේ වෙබ් අඩවිය අඳුරැ පසුබිමක එකම වචන පෙළ පෙන්වමින් අඳුරු, තනි පිටුවක් බවට පරිවර්තනය වනු ඇත. රජයේ වෙබ් අඩවිය - GOV.UK - ඉහළින් කළු තීරුවක් පෙන්වනු ඇත. සියලුම රජයේ දෙපාර්තමේන්තු සතු සමාජ මාධ්‍ය පිටු කළු තීරයක් සහිත වන අතර ඔවුන්ගේ පැතිකඩ පින්තූර ඔවුන්ගේ දෙපාර්තමේන්තු ලාංඡනය ලෙසට වෙනස් කරනු ඇත. ට්විටර් පණිවුඩ ගලා යාම නවතා දමනු ලැබේ.
ඒ අතර රාජකීයයන් ප්‍රමුඛ රජ මාලිගාවලට සම්බන්ධ සිවිල් සේවකයන් ශෝකය පළ කරන්නට නිල වශයෙන් සිය වම් අතේ පැළඳිය යුතු සාම්ප්‍රදායික අඟල් තුනහමාරක් පළල කළු අත්පටි සොයමින් කබඩ් විවෘත කරනු ඇත. ඔවුන් ශෝක කාලය පුරා ඒවා පැළඳ සිටිම සම්ප්‍රදායකි.
ආචාර වෙඩි මුර - ශෝකී රාව
ආරක්ෂක අමාත්‍යාංශය විසින් සියලුම ආචාර මධ්‍යස්ථානවල තුවක්කු ආචාර වෙඩිමුර පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. මිනිත්තුවක නිශ්ශබ්දතාවයක් ජාතික වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ.
BBC හි සීතල යුද සමයේ ජාතියේ යටිතල ව්‍යුහයට එල්ල වන ප්‍රහාරයකට ඔරොත්තු දීම සඳහා කලින් දැනුම් දීමට නිර්මාණය කර ඇති අනතුරැ ඇඟවීමක් වන RATS නමැති “රේඩියෝ අනතුරු ඇඟවීමේ සම්ප්‍රේෂණ පද්ධතිය” සක්‍රිය වනු ඇත. රටපුරා විද්‍යුත් මාධ්‍ය ශෝකී රාවයන් අරඹනු ඇත. මේ සඳහා සුදුසු සංගීත ඛණ්ඩ කාලයකට පෙර සිටම සූදානම්ව තිබූ ඒවාය.
මාධ්‍ය පෙරහුරු
සැබැවින්ම රටේ මාධ්‍ය මේ ශෝකී අවස්ථාවට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව පෙරහුරු පවත්වමින් ලිපි සහ වැඩසටහන් සැලසුම් කර ඇත්තේ බොහෝ කලෙක සිටය. නිදසුනක් ලෙස ගාඩියන් හි නියෝජ්‍ය කර් තෘගේ මේසයට යාබද ඔහුගේ බිත්තියට ඇලවූ කලින් සූදානම් කළ කථා ලැයිස්තුවක් තිබී ඇත. ටයිම්ස් පුවත්පත දින 11ක මාධ්‍ය ආවරණයක් කලින්ම සූදානම් කර තිබූ බව පැවසේ. "රොබින්සන් මහත්මිය" යන නම රැජිනට ආදේශ කරමින් වසර ගණනාවක් රැජිනගේ මරණය පෙරහුරු කළ Sky News සහ ITN හි එම නාලිකාවල පමණක් කතා කිරීමට දැනටමත් ගිවිසුම් අත්සන් කර ඇති රාජකීය විශේෂඥයන්ට ඇමතුම් ලැබෙන්නට විය.
"ස්වයංසිද්ධ" දේව මෙහෙය
රැජින ගැන නරක ආරංචියත් සමඟම ලන්ඩන් නුවර මධ්‍යයේ පිහිටි ශාන්ත පාවුළු ආසන දෙව් මැඳුරේ අනුස්මරණ දේව මෙහෙයක් ද පැවැත්වේ. අග්‍රාමාත්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සුළු පිරිසක් ඊට සහභාගි වීමට නියමිතය. සේවාව "ස්වයංසිද්ධ" ලෙස සිදුවූ ආකාරයට පෙනී සිටීමට සැලසුම් කර ඇත.
දුක්බර රහස් සංකේත වාක්‍ය
ඔවුහු මේ දුක්බර ආරංචිය සඳහා කලින් නියම කරගත් සංකේත නාමයක් භාවිත කරති. වසර 65කට පෙර අවසන් වරට මියගිය බ්‍රිතාන්‍ය රජු, VI වැනි ජෝර්ජ්ගේ අභාවය දුරකතන ස්විච්බෝඩ් ක්‍රියාකරුවන් කලින්ම සොයා දැනගැනීම වැළැක්වීම සඳහා “හයිඩ් පාර්ක් කෝනර්” යන කේත වචනයෙන් දැනුම් දෙන ලදී.
දෙවැනි එලිසබෙත් රැජින සඳහා මේ කේතය වූයේ "ලන්ඩන් පාලම" ය. සිවිල් සේවකයකු අගමැතිනියට "ලන්ඩන් පාලම කඩා වැටී ඇත" නමැති සංකේත වාක්‍ය ආරක්ෂිතව දැනුම් දෙනු ඇත. රටේ ඊළඟ සැලසුම් ඇරැඹෙන්නේ ඉන් පසුවය.
ලන්ඩන් පාලම මෙහෙයුම
ඇත්තටම ‘ලන්ඩන් පාලම කඩා වැටී ඇත’- “London Bridge is down” යන්නෙන් අදහස් කරනුයේ රැජනගේ අභාවයෙන් පසු ක්‍රියාත්මක වන රාජකීය රහස් සැලැස්මය. එය "Operation London Bridge* - “ලන්ඩන් පාලම මෙහෙයුම" ලෙස හැඳින්වේ.
රැජිනගේ අභාවයෙන් පසු ඊළඟ දින දහය තුළ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව එහි චාරිත්‍රානුකූල ප්‍රකාශ සඳහන්ව ඇත. (ලන්ඩන් පාලම සැලසුම් ලේඛනවල, මේ දින "D-day”, “D+1 සිට D+10” ලෙස හඳුන්වා දී තිබේ. රැජින අභාවප්‍රාප්ත දිනය "D-Day” ලෙස හඳුන්වනු ලැබේ. අවමංගල්‍යයට ප්‍රථම ගතවන සෑම දිනක්ම “D+1,” “D+2” යනාදී ලෙස සඳහන් කරනු ලැබේ.)
මෙවන් හදිසියකදී චාල්ස් කුමරු සිංහාසනයට පිවිසීමේ සැලැස්ම පවා ඔපරේෂන් SPRING TIDE ලෙස මෙලෙසම කලින් දක්වා ඇත.
UNICORN මෙහෙයුම
ඇය ස්කොට්ලන්තයේ Balmoral හිදී මිය ගියහොත් UNICORN මෙහෙයුම ක්‍රියාත්මක වෙයි, එනම් හැකි නම් ඇයගේ දේහය රාජකීය දුම්රියෙන් ලන්ඩනයට රැගෙන යනු ඇත. එසේ නොවේ නම් OVERSTUDY මෙහෙයුම ක්‍රියාත්මක වනු ඇත, එනම් දේහය රාජකීය ගුවන් යානයකින් ලන්ඩනයට රැගෙන යාමය. ඒ අනුව රැජිනගේ දේහය ඈන් කුමරිය සමඟ රාජකීය ගුවන් හමුදා යානාවක ලන්ඩනයට ගෙන එනු ලබයි. දේහය පිළිගැනීමේ උත්සවයට අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරු සහභාගී වෙති.
LION මෙහෙයුම
බකිංහැම් මාලිගයේ සිට වෙස්ට්මිනිස්ටර් මාලිගය දක්වා දේහය සහිත පෙරහර ගෙන යන LION මෙහෙයුම සඳහා පෙරහුරුවක් හතරවැනි දින පැවැත්වේ. පස්වැනිදා බකිංහැම් මාලිගයේ සිට වෙස්ට්මිනිස්ටර් මාලිගය දක්වා පෙරහර ලන්ඩනය හරහා චාරිත්‍රානුකූල මාර්ගයක් ඔස්සේ ගමන් ගනී. නව රජු ප්‍රමුඛ සමීප රාජකීයයෝ පාගමනින් දේහය පසුපස යති.
FEATHER මෙහෙයුම
රැජිනගේ දේහය දින තුනක් වෙස්ට්මිනිස්ටර් මාලිගයේ ශාලාවේ මහජන ගෞරවය පිණිස රඳවන අතර, ඒ වනවිට FEATHER යන සංකේත නාමයෙන් හඳුන්වන මෙහෙයුම ක්‍රියාත්මකය.
ඇයගේ මිනී පෙට්ටිය වෙස්ට්මිනිස්ටර් ශාලාවේ මැද කැටෆල්ක් ලෙස හඳුන්වන උස් පෙට්ටියක් මත තබා ඇති අතර එය දිනකට පැය 23ක් මහජනතාවට විවෘත වේ. හයවැනි දින රාජ්‍ය අවමංගල්‍ය පෙරහර සඳහා පෙරහුරුවක් පැවැත්වේ.
අවසන් නින්දට ඉංග්‍රීසි ඕක් පෙට්ටියක්
රැජිනගේ මිනී පෙට්ටිය මෙයට වසර 32කට පමණ පෙර කලින්ම දුර්ලභ ලී වර්ගයක් වන ඉංග්‍රීසි ඕක් පමණක් යොදා සාදා ඇති බව රාජකීය පවුලේ වත්මන් අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු වන ලෙවර්ටන් සහ පුත්‍රයෝ කියති. වර්තමානයේ බොහෝ ලී පෙට්ටි ඇමෙරිකානු ඕක් වලින් සාදා ඇති බව විශ්වාස කෙරේ. රැජිනගේ මිනී පෙට්ටිය පසුගිය වසරේ ඇගේ සැමියා වෙනුවෙන් නිර්මාණය කරන ලද මිනී පෙට්ටියට සමානය. පෙට්ටියේ පියන ද රැජිනගේ අධිරාජ්‍යයන්හි රාජ්‍ය ඔටුන්න, රාජකීය ගෝලය සහ ඇගේ බලය නියෝජනය කරන යෂ්ටිය වැනි වටිනා සවිකිරීම් ආරක්ෂිතව තබාගැනීමට විශේෂයෙන් නිර්මාණය කර ඇත.
රාජකීය පවුලේ පැරැණි සම්ප්‍රදායක් අනුව මිනී පෙට්ටිය ඊයම් වලින් ආවරණය කර ඇත. එලෙස පුද්ගලයකුගේ මෘත දේහය තැන්පත් කිරීමෙන් පසු එය දිගු කාලයක් සංරක්ෂණය වී පවතිනු ඇතැයි විශ්වාස කෙරේ. ඊයම් මිනී පෙට්ටිය වාතය රහිත කරන අතරම එය බරින් වැඩි කරයි. වාර්තා වන අන්දමට රැජිනගේ මිනී පෙට්ටිය එසවීමට ඔසොවන්නන් අට දෙනකු අවශ්‍ය වනු ඇත.
රජ පවුලේ දුක් ඇඳුම
රාජකීය සාමාජිකයන් සහ මාලිගා සේවකයන් ආරංචිය ලද දා සිටම සැරැසෙන්නේ කළු ඇඳුමෙනි. ඒ සියලු දෙනාම ශෝක කාලය තුළ සිය වම් අතේ කළු පටියක් ද පළඳිති. නව රජු සහ ළඟම රාජකීය පිරිවර අවමංගල කටයුතුවලට එන්නේ හමුදා නිල ඇඳුම්වලින් සැරැසීය.
දැනට සේවය නොකරන රාජකීයයකු ලෙස යෝර්ක්හි ආදිපාදවරයා වන ඇන්ඩෘ කුමරු පමණක් රැජිනට විශේෂ ගෞරවය දක්වන අවස්ථාවේ හැර නිල ඇඳුමක් අඳින්නේ නැත. ඇන්ඩෘ සඳහා මෙන් නොව හැරී කුමරැට, ඔහු බ්‍රිතාන්‍ය හමුදාවේ වසර 10ක් සේවය කළ අයකු වුවද මේ කිසිදු උත්සවයක් සඳහා හමුදා නිල ඇඳුම ඇඳීමට අවසර ලබා දී නොමැත. ඒ ඔහු මාලිගයේ රාජකාරි කලකට පෙර අතහැර දැමූ හෙයිනි.
ඈන් කුමරියගේ අමුතු ඇඳුම
ඈන් කුමරිය මෙතෙක් රාජකීය පවුලේ පිරිමි සාමාජිකයන් විසින් පමණක් පිළිපදින ලද සම්ප්‍රදායක් අනුව යමින් හමුදා ඇඳුමකින් සහභාගී වූ පළමු රාජකීය කාන්තාව බවට පත්වෙමින් මෙහිදී ඉතිහාසගත වූවාය.
දෙවැනි එලිසබෙත් රැජිනගේ දරැවන් හතරදෙනාම එඩින්බරෝ හි ශාන්ත ගයිල්ස් ආසන දෙව් මැඳුර තුළ ගෞරව දැක්වීම සඳහා ඇගේ මිනී පෙට්ටිය වටා රැස් වූහ.
එහිදී ඈන් කුමරිය මෙම උත්සවය සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිය නාවික හමුදා නිල ඇඳුමෙන් සැරසී සිටියාය.
ස්කොට්ලන්ත කිරීටයෙන් සරසා ශාන්ත ඇන්ඩෘගේ සිංහ බලකොටුවේ ධජයෙන් ඔතා තිබූ ඕක් මිනී පෙට්ටියේ හතර පැත්තේ ස්ථානගතව විනාඩි 10ක් ඔවුහු සීරුවෙන් සිටියහ.
සම්ප්‍රදාය බිඳ දැමූ උත්සවය
දෙවැනි එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය සැප්තැම්බර් 19 වැනි සඳුදා (හෙට) 11:00 ට වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී පැවැත්වෙන විටම සියවස් ගණනාවක් ඉපැරැණි රාජකීය සම්ප්‍රදායක් බිඳී යනු ඇත. 1760 දී දෙවැනි ජෝර් ජ්ගේ මරණයෙන් පසු පළමු වරට වින්ඩ්සර්හි ශාන්ත ජෝර් ජ් දේවස්ථානයේ රාජ්‍ය අවමංගල්‍ය සිදු නොවන නිසාය. සාමාන්‍යයෙන් මේ අවසන් දේව මෙහෙයේ කටයුතු සිදුවන්නේ ශාන්ත ජෝර් ජ් හිදීය.
වෙස්ට්මිනිස්ටර් තේරීම
වෙස්ට්මිනිස්ටර් ඇබේ යනු 1953 දී රැජිනගේම රාජාභිෂේකය ඇතුළුව බ්‍රිතාන්‍යයේ රජවරුන් සහ රැජිනියන් කිරුළු පැළඳ ඇති ඓතිහාසික දේවස්ථානයයි. ඇය 1947 දී පිලිප් කුමරැ සමඟ විවාහ වූ ස්ථානය ද එයයි. 2002 දී මව් රැජිනගේ අවමංගල්‍ය පැවැත්වුවද, 18 වැනි සියවසේ සිට රාජ්‍ය පාලකයකුගේ අවමංගල්‍ය සේවයක් එහි නොතිබුණි. මෙහි 2200කට පමණ රැස්විය හැකි නිසා තෙවැනි චාල්ස් රජු ඇතුළු කමිටුව මේ ස්ථානය තෝරාගන තිබේ. මෙවර රාජ්‍ය නායකයන් 500ක් පමණ සහභාගී වීමට නියමිතය.
කාලතුවක්කු කරත්තය මතින්
රාජ්‍ය අවමංගල්‍ය උත්සවය වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී පැවැත්වේ. රාජකීය නාවික හමුදාවේ රාජ්‍ය කාලතුවක්කු කරත්තය මතින් වෙස්ට්මිනිස්ටර් ශාලාවේ සිට වෙස්ට්මිනිස්ටර් ඇබේ දක්වා රැජිනගේ දේහය රැගෙන යයි. මෙයට පෙර මේ කරත්තය ලෝකය අවසන් වරට දැක ඇත්තේ 1979 දී නාවිකයන් 142 දෙනකු විසින් පිලිප් කුමරැගේ මාමා වන මවුන්ට්බැටන් සාමිවරයාගේ අවමංගල්‍ය සඳහා යොදාගත් අවස්ථාවේදීය. මෙම ගමනට විනාඩි 10කට වඩා අඩු කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, මෙම මාර්ගය රාජකීය නාවික හමුදාවේ සහ රාජකීය මැරීන් භටයන් විසින් ආවරණය කරනු ලැබේ. ස්කොට්ලන්ත සහ අයර්ලන්ත රෙජිමේන්තුවලට අයත් සාම්ප්‍රදායික පයිපර් නලා සහ බෙර සහිත සංගීතඥයන් 200ක් පමණ පෙරහර ශෝකී සංගීතය මෙහෙයවනු ඇත.
බිග්බෙන් හඬයි
අවමඟූල් දින උදෑසන 9 සිට ලන්ඩනය පුරා බිග්බෙන් සිය ඓතිහාසික ශෝකී සීනු රිද්මය පතුරවා හරියි. දහවල් වනවිට රටපුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වේ. නව රජු ඇතුළු රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පෙරහරේ පසුපස ගමන් කරති. දහවල් 11ට දේව මෙහෙය මෙහෙයවනු ලබන්නේ වෙස්ට්මිනිස්ටර් හි පීඨාධිපති ගරු ඩේවිඩ් හොයිල් විසිනි. කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බි විසින් දේශනයක් පවත්වනු ඇත. අගමැතිනිය සහ පොදුරාජ්‍ය මණ්ඩල සභාපතිනිය ද ප්‍රකාශ කියවනු ඇත. රාජ්‍ය අවමංගල්‍ය අවසන් කිරීම සඳහා රැජිනගේ පයිපර් වාදකයන් විසින් ජාතික ගීය සහ ශෝකී සංගීත ඛණ්ඩයක් වාදනය කරනු ඇත.
අවසාන ගීතිකාවට පෙර ඉම්පීරියල් ස්ටේට් ඔටුන්න, රාජකීය බලය සංකේතවත් කරන ගෝලය සහ යෂ්ටිය ඉවත් කරනු ඇත. ඒවා නැවත රාජකීය භාණ්ඩාගාරයට යැවේ.
රූපවාහිනියෙන් මුල්වරට
සඳුදා අවසන් දේව මෙහෙය බ්‍රිතාන්‍ය රජකුගේ අවමංගල්‍යයක් කැමරාවලට ඉඩ දෙන පළමු අවස්ථාවයි. 1952 දී හයවැනි ජෝර් ජ් රජුගේ අවසන් දේව මෙහෙය හැර අවමංගල්‍ය පෙරහර පමණක් රූපවාහිනියෙන් විකාශය විය.
අවසන් නැවතුම
අනතුරුව වින්ඩ්සර් කාසල් හි ශාන්ත ජෝර් ජ් දේවස්ථානයේ කැපවීමේ දේව මෙහෙයක් පැවැත්වෙන අතර රැජිනගේ දේහය මාලිගාවේ හයවැනි ජෝර් ජ් රජු අනුස්මරණ දේවස්ථානයේ රාජකීය සුරක්ෂිතාගාරයේ වයස අවුරුදු 99 දී පසුගිය වසරේ මියගිය ඇගේ සැමියා වන පිලිප් කුමරු අසල තැන්පත් කරනු ලැබේ. පරම්පරාවේ ඉපැරැණි රාජකීය පිරිසගේ දේහයන් ද එහි වෙති.
ශාන්ත ජෝර් ජ් දේවස්ථානය යනු රාජකීය පවුල විසින් මංගල උත්සව, බව්තීස්ම සහ අවමංගල්‍ය කටයුතු සඳහා නිතිපතා තෝරාගන්නා පල්ලියයි. මෑතකදී හැරී කුමරු සහ මේගන් එහිදී විවාහ වූ අතර, රැජිනගේ දිවංගත සැමියා වන පිලිප් කුමරුගේ අවමංගල්‍ය පැවැත්වුණේ ද එහිදීය.
I සුගත් පී. කුලතුංගආරච්චි