“රට කරවන්ට නම් මසුරන් ඇතුව කැටේ
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ
ඒවා නොවික්කොත් අප සැම මකර කටේ”
ටික වේලාවකට කලින් හොඳට හිටපු ආච්චිගේ ටීටර් කටහඬ අසා සීයා පුටුවෙන් වැටුණේය. පත්තරේ බලමින් සිටි ආච්චිට මක්වුණාදැයි මම ළංවී බැලුවෙමි. ආච්චිට මහැදුරු සුනිල් ආරියරත්නයන් ලියූ සිංදුව මතක් වී ඇත්තේ පුවත්පතේ දැන්වීමක් දැකලාය.
දැන්වීමේ ඇත්තේ අපේ රටේ සත්ත්ව ගොවිපොළ 6ක ඉඩම් දිගුකාලීනව දේශීය සහ විදේශීය ආයෝජකයන්ට බදු දීමටය. ඒ සම්බන්ධයෙන් ජාතික පශු සම්පත් මණ්ඩලය විසින් ඉකුත් 07 වැනිදා ව්‍යාපෘති යෝජනා අංක 928 යටතේ මෙම ටෙන්ඩර් දැන්වීම පළකර තිබේ. ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ ඇති මහ පරිමාණ සත්ව ගොවිපොළ හයක් දේශීය හෝ විදේශීය ආයෝජන සහිත ආයතනවලට දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබාදීමට එම මණ්ඩලය විසින් ටෙන්ඩර්පත් කැඳවා තිබේ.
ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ සත්ව ගොවිපොළ 31ක් රටපුරා ඇති අතර ඒ අතරින් ආයෝජන සමාගම්වලට මෙසේ බදු දීමට නියමිත සත්ව ගොවිපොළවල් වන්නේ නුවරඑළිය බෝපත්තලාව ගොවිපොළේ අක්කර 1133ක්, පුත්තලම කොට්ටුකච්චිය ගොවිපොළේ අක්කර 590ක්, කුරුණෑගල නිකවැරටිය ගොවිපොළේ අක්කර 1054ක්, අනුරාධපුර ඔයාමඩුව ගොවිපොළේ අක්කර 1477ක්, අනුරධපුර පරසන්ගස්වැව ගොවිපොළේ අක්කර 1632ක් සහ හම්බන්තොට වීරවිල ගොවිපොළේ අක්කර 472ක් ය.
මෙරට සත්ව පාලනය සහ දියර කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහාත් රටට අවශ්‍ය අභිජනන සතුන්, කිරි, මස්, කෘෂිකාර්මික බෝග වගාව වෙනුවෙන් මහා පරිමාණ ගොවිපොළ සංවර්ධනය කිරීම සඳහාත් මෙම පියවර ගන්නා බව ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි. දේශීය මෙන්ම විදේශීය ආයෝජන ආයතනවලටද මෙම ගොවිපොළ දිගුකාලීන බදු පදනම මත ලබාගත හැකි බවත් පෞද්ගලික අංශයේ මැදිහත්වීම හරහා දැනට භාවිත කරන පැරුණි තාක්ෂණය වෙනුවට නවීන තාක්ෂණයෙන් නවීකරණය කිරීමද සිදුවනු ඇති බව එම මණ්ඩලය පෙන්වා දෙයි. මෙම ගොවිපොළ අතරින් සමහර ගොවිපොළ ලාභ ලැබූ බවද ආරංචි මාර්ග කියයි.
දියර කිරි නිෂ්පාදනය මෙරට පුරාතනයේ සිට එන පාරම්පරික වෘත්තියකි. මහාපරිමාණ කිරි ගොවිපොළ 31ක දියර කිරි නිෂ්පාදනය සිදුකරන අතර ඒ අතරින් සමහර ගොවිපොළ පාඩු ලබන තත්ත්වයකට පත් වී ඇතැයිද වාර්තා වෙයි. ඒ බලධාරීන්ගේ වරදකින් මිස කිරි දෙනුන්ගේ වරදකින් නොවේ යැයි අපි සිතමු.
හම්බන්තොට වීරවිල ගොවිපොළ සෝගම් වගාවට සහ මී ගවයන්ට පමණක් සීමා වී තිබේ. හලාවත මාටින් ගොවිපොළත් ඈලියාවට ගිහින්ය. මෙවැනි කිරි ගොවිපොළවල් නිසි නඩත්තුවකින් නවීකරණය කර නව තාක්ෂණය සමඟ මුසුකළ යුතුමය. කිරි ගොවියා කිරි වෙළෙන්දා ලෙස ව්‍යවසායකයකු කිරීමට හැකිවීම ක්ෂේත්‍රයේ උන්නතියට හේතුවකි.
ආසියාවේ විශාලතම කිරි ගොවිපොළ ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයේ රිදියගම ගොවිපොළ සැලකෙන අතර එහි අක්කර 2800ක් පුරා ගොවිපොළ ව්‍යාප්ත කර තිබේ. 2023 වසර වනවිට අපේ රට කිරිවලින් ස්වයං පෝෂිත රටක් බවට පත්කිරීමේ මහා සංග්‍රාමයට උර දී සිටී. දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අතුරු අයවැයෙන් මිලියන 200ක් වෙන් කිරීමට රජය යෝජනා කර තිබේ. ජනතාව දියර කිරි හෙවත් නැවුම් කිරි පරිභෝජනයට යොමු කිරීමත් ඒ සඳහා සරිලන වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමත්, වාර්ෂික කිරිපිටි ආනයනය සඳහා වැය කෙරෙන කෝටි ගණනක වියදම අවම කිරීමටත් හැකිනම් එය කාලීන අවශ්‍යතාවකි.
සත්ත්ව ගොවිපොළ තතු දැනගැනීම සම්බන්ධයෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඒ.එම්.පී.ඒ. අධිකාරිගෙන් කළ විමසීමේදී ඔහු පැවසූයේ ඔහුට දුරකතනයෙන් කතා කිරීමට නොහැකි බවයි.
''ගොවිපොළවල් පෞද්ගලීකරණයක් සිදුවෙන්නේ නෑ. මෙහි වෙන්නේ ආයෝජකයන්ගේ ව්‍යාපෘති යෝජනා කැඳවා ඒවා සලකා බලා ඒවාට අනුමැතිය ලබාදී ගොවිපොළ නවීකරණයට ඔවුන්ගේ සහාය ලබාගැනීමයි.” ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ප්‍රකාශකයෙක් එසේ පැවසුවේය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආගරපතන බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපොළ විශාල ලාභයක් ලබමින් තිබියදී පෞද්ගලික අංශයට ලබාදීමට උත්සාහ දැරීමට විරෝධය දක්වමින් ගොවිපොළ සේවකයෝ විරෝධතාවක නියැලුණහ. මෙසේ පෞද්ගලික ආයතනවලට බදු දීමෙන් දැනට සේවය කරනු ලබන සේවකයන්ට අසාධාරණයක් සිදුවනු ඇති බවත් මේ හේතුවෙන් රුකියා පිළිබඳ දැඩි අවදානමක් මතුවන බවත් එම සේවකයෝ පවසති.
කොට්ටුකච්චිය ගොවිපොළෙන් අක්කර 250ක් පෞද්ගලික ආයතනයකටත්, නිකවැරටිය ගොවිපොළෙන් අක්කර 760ක් ආයතන දෙකකටත් වසර 30ක කාලයකට දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබාදීමට 2021.09.06 වැනිදා හිටපු කෘෂි ඇමැති මහින්දානන්ද අලුත්ගමගේගේ යෝජනාවකට කැබිනට් අනුමැතියද ලැබී තිබිණ.
වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසූයේ පශු සම්පත් මණ්ඩලය ඔහුගේ ආයතන විෂය පථයට අදාළ නොමැති බවයි.
අමාත්‍ය විෂය පථ බෙදීමේදී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මෙවර ඇත්තේ මහින්ද අමරවීර අමාත්‍යවරයා යටතේය. එහෙයින් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී කෘෂිකර්ම, වනජීවි සහ වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ මෙවැන්නකි.
“පත්තර දැන්වීම දැම්මාට පසුවයි මමත් දන්නේ මේ ගැන. මා සමඟ සාකච්ඡාවකට පැමිණීමට අදාළ නිලධාරීන්ට මා දැනුම් දී තිබෙනවා. ගොවිපළ වගාකිරීමට දියයුතු වුවත් දීර්ඝකාලීන බදු පදනමකට ලබාදෙනවාද යන්න සම්බන්ධයෙන් සලකා බලන්න වෙනවා. ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු වන්නේ කැබිනට් මණ්ඩලයෙන්. ගොවිපළවලින් පාඩු ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයාබලා අවසාන තීන්දුවක් ගන්නවා” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
සමහර කිරි ගොවිපොළ නඩත්තු වන්නේ ලැබෙන කිරි ආදායමට වඩා ගොවිපොළ බිමේ සිටුවා ඇති අල, බතල, පොල් ආදායමෙන් බව ජනතාව චෝදනා කරති. ගොවිපොළවල දිරා යන යන්ත්‍රසූත්‍ර පරණ යකඩවලට නොදී ඒවා අලුත්වැඩියා කර වැඩ ගැනීමත්, ශීත මධ්‍යස්ථාන ඇතිකර අතුරු ආදායම් ලැබීමත්, කිරි දෙනුන්ගේ පෝෂණ්‍ය ඉහළ නැංවීමෙනුත් කිරි ආදායම ඉහළ නංවා ගොවිපොළවලින් නිසි ඵලදායිතාව ලබාගැනීමට හැකිවන්නේය. සමහර ගොවිපොළ ඉඩම් කැලයට අත හැරලාය. එවන් වටිනා ඉඩම්වලින් රටට ආදායමක් ලැබෙන පරිදි නිසි ප්‍රයෝජනයක් ගැනීමට හැකිනම් වත්මන් අවශ්‍යතාව එයයි. පාඩු පිට පාඩු ලබමින් තිබූ පශු සම්පත් මණ්ඩලය ලාභ ලබන මට්ටමකට රුගෙන ඒමට භාරවූයේ පශු සම්පත් මණ්ඩලයේ හිටපු සභාපති වූ පශු සම්පත්වේදය සම්බන්ධයෙන් ප්‍රාමාණික විද්වතෙකු වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතාටය. ඒ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් අනුවය. පාඩු ලැබූ ආයතනය ලාභ ලබන මට්ටමකට ගිය දෙවසර ඇතුළත ඔහු රැගෙන ආවේය.
ජෝර්ජ් ඕවල් 1945දී රචිත සත්ත්ව ගොවිපොළ (Animal Farm) කෘතියේ ගොවිපොළ හිමියාට එරෙහිව ගොවිපොළේ සතුන් කැරැල්ලක් අරඹයි. බොක්සර් නමැති අශ්වයකු ජීවිතය කැපකර ගොවිපොළ ගොඩනැගීමට මහත් උත්සාහයක් ගන්නා අතරේ මෝසස් නමැති කපුටා සිහින ලෝක මවා සතුන් කඩේ යවා නොමග යවයි. ඒ අතරේ නැපෝලියන් නමැති ඌරෙක් පිස්සු නටා බේබදු මිනිසුන් සමග සූදු කෙළියි. මෙය එදා මෙන්ම අදටත් හෙටටත් සර්වකාලීනය.
හෝද හෝද මඩේ දමන්නට වගේම කොරහේ කිඹුලන් දැකීමටද අවශ්‍ය නැත්තේය. රටේ සංවර්ධනයට අකුල් හෙළීම නුසුදුසුය. පාඩු ලබන ආයතන පෞද්ගලික අංශය මගින් හෝ රටට සේවයක් ලබාගැනීම නිවැරුදි තීරණයකි. එහෙත් බදුදීම නිසි අධීක්ෂණයකින් තොරව සිදුවීම අහිතකර ප්‍රතිඵල උදා කරවයි. හරකෙකුගෙන් හරි රටට සෙතක් වෙනවා නම් එච්චරයි. අපේ ආච්චි කිව්වේ එහෙමය. එහෙයින් මේ උත්සාහයේ සාර්ථකත්වයේ අග්‍ර ඵල නෙළන දිනය එළැඹෙන තෙක් දෑත් දිගුකර දෑස් දල්වා අපි බලා සිටිමු.
සසංක චලන ගිම්හාන