පසුගිය සමයේ ලෝක වෙළෙඳපොළේ ඇමෙරිකානු ඩොලර් 130ක පමණ අගයක පැවැති බොරතෙල් බැරලයක මිල මේ වනවිට විශාල ලෙස පහළ බැස තිබේ. පසුගිය මාසයේ ඇමෙරිකානු ඩොලර් 113.95ක් වූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමෙරිකානු ඩොලර් 91.35ක් වන අතර ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 85.11කි.
සෑම මසකම 1දා සහ 15දා ඉන්ධන මිල සංශෝධනය කිරීමට ආණ්ඩුව තීරණය කර තිබුණද අගෝස්තු 1 දා ඩීසල් මිල රුපියල් 10කින් පහත හෙළීමෙන් පසු මිල සංශෝධනයක් සිදුවූයේ නැත. එම මාසය තුළද ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටුණද බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ දැනට පවතින ආනයනික මිල අනුව සංශෝධනයක් සිදුකළ නොහැකි බවටය.
සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාවේ ආර්ථික, දේශපාලන, සමාජයීය සියලු සේවාවන්හි 90% කම මිල තීරණය කරනු ලබන්නේ ඉන්ධන මගිනි. ඉන්ධන මිල සූත්‍රය ගණනය කරනුයේ ඉන්ධන බැරලයක් කොළඹ වරායට එන මිල (ලෑන්ඩිං කොස්ට්), නැව් ගාස්තු, රක්ෂණ සහ සේවා ගාස්තු අනුවය. ඉන්පසු එයට අනෙකුත් වියදම් එකතු කරනු ලබයි. ඒ අනුව මිල සූත්‍රය සඳහා සියයට 70ක්ම බලපාන්නේ වරායට එන මිල අනුවය. අවසාන වරට ඩීසල් මිල රුපියල් 10කින් අඩු කළේ පසුගිය අගෝස්තු 1දාය. රජයේ තීරණය අනුව සෑම මසකම 1දා 15දා මිල සූත්‍රය අනුව ඉන්ධන මිල අඩු හෝ වැඩි විය යුතු නමුදු අගෝස්තු 1 පසුව ඉන්පසු අවස්ථා තුනකදී මිල සූත්‍රය ක්‍රියාත්මක නොවීය.
මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය විය යුතු බවත් ඉන්ධන අලෙවිය තුළ ගසාකෑමක් සිදුවන බවත් පවසන ආනන්ද පාලිත මහතා මිල සූත්‍රය මහජන උපයෝගිතා කොමිසමට ඇතුළත් කර නොමැති අතර එහි විනිවිදභාවයක් නොමැති යැයිද එහෙයින් මිල සූත්‍රය කොමිසමක් යටතට පත් කළ යුතු බවද සඳහන් කරයි. පසුගිය ජූලි මාසයේ ඩොලර් 135ට තිබූ තෙල් බැරලය මේ වනවිට ඩොලර් 85ක් වැනි අගයකට පහළ ගිහින්. ඒ අනුව පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල රුපියල් 100කින් පහළ දැමිය හැකියි. ආණ්ඩුව කලින් ඉන්ධන ගත්තේ ණයට. එහෙත් දැන් ඉන්ධන ඩොලර් ගෙවා ලබාගත යුතුයි. ඉන්දියානු තෙල් සමාගම ඉන්ධන බැරලයක් ගන්නා මිලට වඩා ඩොලර් 10ක් විතර තෙල් සංස්ථාව වැඩියෙන් ගෙවනවා. ප්‍රීමියම් එක හෙවත් නැව් ගාස්තු, රක්ෂණ සහ සේවා ගාස්තු වශයෙන් ඉන්දියානු ඔයිල් සමාගම උපරිමයෙන් ගෙවන්නේ ඩොලර් 7යි. තෙල් සංස්ථාව මේ වනවිට බැරලයකට ඩොලර් 24ක් ප්‍රීමියම් එක ලෙස ගෙවනවා. ඒ අපි තුන්වැනි පාර්ශ්වයකින් ඉන්ධන ලබා ගැනීම නිසයි. මේවාට අමතරව ප්‍රමාද ගාස්තු කියල තවත් වියදමක් දරන්න සිදුවී තිබෙනවා යනුවෙන් සඳහන් කළේය.
ඉන්ධන ගොඩබෑම ප්‍රමාද වනවිට නැව්වලට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වේ. මේ වන විට නෞකා තුනක් වරායෙන් පිටත නැංගුරම් ලා ඇත්තේ ඉන්ධන නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් නොමැති නිසාය. ප්‍රමාද ගාස්තු නෞකාවෙන් නෞකාවට වෙනස්ය. සාමාන්‍යයෙන් මෙම ප්‍රමාණය දිනකට ඩොලර් 25,000 සිට 50,000 දක්වා පරාසයක පවතී. කිව් ආර් කේතය ක්‍රියාත්මක කිරීමට පෙර මසක තෙල් අවශ්‍යතාව සඳහා ඩොලර් මිලියන 600ක් පමණ අවශ්‍ය විය. මේ වනවිට එම අවශ්‍යතාව මසකට ඩොලර් මිලියන 400ක් පමණ වේ.
මිල සූත්‍රය හඳුන්වා දුන්නේ දැනට ඇති පිරිවැයෙන් කොටසක් හෝ පාලනය කර ගැනීමේ අරමුණින් බවත්, පසුගිය දිනවල ඉන්ධන මිලෙහි සංශෝධනයක් කිරීම සඳහා සියලුම ඉන්ධනවල මිල පහළ නොගිය බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල යම් ප්‍රමාණයකින් අඩු වුවද එය අපට බලපාන්නේ සුළු ප්‍රමාණයකින් බවත් එම මිල අඩුවීම යටතේ රුපියල් 50කින් හෝ 100කින් මිල අඩුකළ නොහැකි වන අතර අඩු කළ හැක්කේ රුපියල් 5ක් 10ක් වැනි මුදලකින් බවත් ඔහු පෙන්වා දෙයි.
කෙසේ නමුදු මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධනවලින් ලාබයක් උපයමින් සිටී. පසුගිය සැප්තැම්බර් 1 වැනිදා වනවිට 92 පෙට්‍රල් ලීටරයකින් බදු ගෙවීමෙන් පසු රුපියල් 47.98ක ලාබයක් ලබයි. මාස තුනකට ඉහත ගෙන්වන ලද 95 පෙට්‍රල්වලින් රුපියල් 163ක ලාබයක් ලබන අතර (ඩොලර් නොමැති කම නිසා අවසන් වරට 95 පෙට්‍රල් ආනයනය කර ඇත්තේ මාස තුනකට පෙරය.) ඔටෝ ඩීසල්වලින් රුපියල් 21ක අලාබයක් සංස්ථාව ලබන බව ඔහු සඳහන් කරයි. සුපර් ඩීසල්වලින් රුපියල් 49.99ක ලාබයක් හිමිවේ. භූමිතෙල් මිල සංශෝධනයෙන් පසු රුපියල් 6.52ක ලාබයක් උපයයි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 92 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 55ක්ද, 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 73ක්ද, ඩීසල් ලීටරයකට රුපියල් 34.96ක්ද සුපර් ඩීසල් සඳහා රුපියල් 55ක් බදු වශයෙන් රජයට ෙගවනු ලබන අතර. භූමිතෙල් සඳහා බදු අය නොකරන බව ඇමැතිවරයා සඳහන් කරයි.
ලෝක වෙළෙඳපොලේ තෙල් මිල පහළ ගියද සැපයුම්කරුවන් එම පහළ අගයන් යටතේ ඉන්ධන ලබා නොදෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. කෙසේ නමුදු මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව නිර්දේශ කර ඇත්තේ ඇත්තේ පසුගිය කාලයේ සිදු වූ අලාබ පියවා ගතයුතු හෙයින් ඉන්ධන මිල පහත ගියද එක්වරම විශාල ප්‍රමාණයකින් මිල අඩු නොකළ යුතු බවටය.
මේ සම්බන්ධයෙන් ආනන්ද පාලිත මහතා මෙලෙස සඳහන් කරයි. "තෙල් සංස්ථාව පාඩු ලබන ආයතනයක් ලෙස ඇතැමුන් හඳුන්වනවා. තෙල් සංස්ථාව ලාබ උපයන ආයතනයක් හෝ පාඩු ලබන ආයතනයක් නෙමෙයි. එය සංස්ථාපිත ආයතනයක්. ප්‍රමිතියෙන් යුතුව, අඛණ්ඩව හා විනිවිදභාවයෙන් යුතුව ඉන්ධන ලබා දීම එහි මූලික වගකීමයි. එය මේ තත්ත්වයට පත්වූයේ තිබුණු ආණ්ඩු ඉන්ධන ආනයනය කරන මිලට අඩුවෙන් අලෙවි කළ යුතු යැයි තීරණය කළ නිසයි. මේ වනවිට සහනාධාර ලෙස (සබ්සිඩි) තෙල් ලබාදීම නිසා ආණ්ඩුව රුපියල් බිලියන 625කට අධික මුදලක් තෙල් සංස්ථාවට ගෙවීමට තිබෙනවා. එයින් භූමිතෙල් සඳහා පමණක් රුපියල් මිලියන 3780ක් ලැබිය යුතුයි. රාජ්‍ය ආයතන රැසක් තෙල් සංස්ථාවට මුදල් ගෙවා නැහැ. එයාර්ලංකා ගුවන් සමාගම ඩොලර් මිලියන 322ක් පමණ ගෙවිය යුතුයි." යනුවෙන් පවසන ආනන්ද පාලිත මහතා ඉන්ධන මිල වැඩිවන විට මිල ඉහළ දමන අතර මිල අඩුවන විට මිල පහළ නොදමන්නේ නම් මිල සූත්‍රය හඳුන්වා දුන්නේ මන්දැයි ප්‍රශ්න කර සිටී. මිල සූත්‍රය හඳුන්වා දෙන අවස්ථාවේ ආණ්ඩුව පැවසුවේ මින්පසු තෙල් සංස්ථාව ජනතාවට බරක් නොවන අතර ලෝක වෙළෙඳපොළේ මිලට අනුකූලව ආයතනය ලාබ ලබමින් ජනතාවට සේවයක් සැපයීම මිල සූත්‍රය මගින් සිදුවන බවයි. මිල අවම වනවිට එම වාසිය ජනතාවට ලබාදිය යුතුයි. සංස්ථාවට අලාබයක් සිදුවනවා නම් එය රජය මගින් ප්‍රතිපූර්ණ කළ යුතුයි.
ආණ්ඩුව සංස්ථාවට බිලියන 600 ක් ගෙවීමට ඇති අතර සංස්ථාව වසරකට රුපියල් බිලියන 180ක් බදු වශයෙන් ආණ්ඩුවට ගෙවනවා. කලකට ඉහත ආණ්ඩුව තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය සංස්ථාව විසින් ගෙවූ බද්දෙන් පියවූවා. දැනුත් ආණ්ඩුවට බද්ද අය නොකර එමගින් ණය මුදල කපා හැරිය හැකියි. එවිට ඉන්ධන මිල ඉහළ දැමීම අවශ්‍ය වන්නේ නැහැ. මිල සූත්‍රය නියාමන කොමිසමක් යටතේ ක්‍රියාත්මක නොවන බැවින් තෙල් සංස්ථාව පෙට්‍රල් ලීටරයකින් රුපියල් 160ක් ලාබ ලබන විට ඉන්දියන් ඔයිල් සමාගම රුපියල් 200ක් ලාබ ලබනවා. මේ වන විට ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන අලෙවි කරන්නෙක් තෙල් සංස්ථාවේ මිලටමයි. එහෙත් ඔවුන්ගේ ප්‍රිමියම් එක අපට වඩා තුන් ගුණයකින් පමණ අඩුයි. යනුවෙන් ප්‍රකාශ කළේය.
ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම් ලෝක වෙළඳපොලේ පවතින මිල ගණන්වලට අනුව ඉන්ධන ලීටරයක මිල රුපියල් 50 කින් පමණ අඩුකළ හැකිව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ ප්‍රකාශ කර තිබේ.
ඉන්ධන මිල සූත්‍රය අනුව කටයුතු කරන බවට ආණ්ඩුව පැවැසුවත් බදු ගෙවූ පසු ඉන්ධන ලීටරයකින් රුපියල් 50ක පමණ ලාභයක් ආණ්ඩුවට හිමිවන අතර ජනතාව දැඩි අසීරු තත්ත්වයක සිටින අවස්ථාවකදී මෙම ඉන්ධන සහනය ජනතාවට ලබාදිය හැකිව තිබූ බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි. මිල සූත්‍රය සම්බන්ධයෙන් නෛතික තත්වයක් නොමැති නිසා ආණ්ඩුවට අවශ්‍ය පරිදි කටයුතු කළ හැති බවද ඔහු සඳහන් කරයි.
කෙසේ වුවද ජනතාව නම් කියන්නේ ආණ්ඩුව හිතාමතාම වංචාවක් කරන බවටය. සමස්ත ලංකා තිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර ප්‍රකාශ කරන්නේ ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල වැඩි වූ විට කඩිනමින් මිල සංශෝධනය වුවද මිල අඩු වූ විට මෙරට ජනතාවට මිල සූත්‍රය ක්‍රියාත්මක නොවන බවටය. ආණ්ඩුව ඉන්ධනවලින් ගසාකන අතර මෙම ඉන්ධන ප්‍රශ්නය හමුවේ හිතාමතාම වංචාවක් කරන බව ඔහුගේ අදහසයි.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා