රසායනික පොහොර භාවිතය එක් රැයකින් අත්හිටුවා කාබනික පොහොර භාවිතයෙන් සියලු වගා කටයුතු සිදුකිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගන්නා ලද තීන්දුව මෙරට කෘෂිකර්මාන්තය සහමුලින්ම විනාශ මුඛයේ හෙළන්නට සමත්විය. එදා පෙරදිග ධාන්‍යාගාරය වූ ශ්‍රී ලංකාව මේ වන විට අනුන්ගෙන් යැපෙන රටක් පත්වූයේ නිසි අධ්‍යයනකින් තොරව ගන්නා ලද එම අදූරදර්ශී ක්‍රියාමාර්ගය හේතුවෙනි. මේ වනවිට ශ්‍රී ලංකාව ආහාර උද්ධමනය පවතින රටවල් අතුරින් සිව්වැනි තැනට පැමිණ තිබේ. කාලයක් පුරා මෙරට ජනතාවගේ සහල් අවශ්‍යතාව පිරිමැසුවේ මෙරට ගොවි ජනතාව යල සහ මහ කන්නයේ නිෂ්පාදනය කරන ලද වී වලින් වූ අතර රසායනික පොහොර තහනමත් සමඟ වී නිෂ්පාදනය පහළ වැටී සහල් විශාල වශයෙන් විදේශයන්ගෙන් ආනයනය කිරීමට රජයට සිදු විය. 2022 ජනවාරි මාසයේ සිට අගෝස්තු අවසානය දක්වා කාලය තුළ මෙරටට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 596,440 ක් බව වාර්තා වේ.
එලෙස මෙරටට ආනයනය කරන ලද සහල්වල පිළිකා සහ වෙනත් රෝග ඇති කරන විෂ රසායන අන්තර්ගත බවට පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය කළ පර්‌යේෂණයකදී අනාවරණය වී ඇතැයිද, ඒවායේ ඊයම් සියයට 43ක්ද, කැඩ්මියම් සියයට 26ක්ද, මර්කරි හෙවත් රසදිය සියයට 20ක්ද, සෙලනියම් සියයට 47ක්ද අඩංගු වී ඇතැයි එම ආයතනය සඳහන් කර තිබෙන බවද පසුගිය සතියේ පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබිණි. මෙය රට තුළ ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ අතර මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවට පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ වැඩබලන පලිබෝධනාශක රෙජිස්ටාර් ලසන්ත රත්නවීර මහතා ප්‍රකාශ කරන බවටය.
2022 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා පළිබෝධනාශක කාර්යාලයෙන් එවැනි පරීක්ෂණයක් සිදු කර නොමැති බව සඳහන් කරන වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා මෙම වාර්තාව 2017 වසරේ සිදු කළ පර් යේෂණයක වාර්තාවක් වැරදි ලෙස උපුටා දක්වමින් පළකර ඇතැයිද එය නුවර ප්‍රදේශයේ සාම්පල් 68ක් සම්බන්ධයෙන් කළ පර් යේෂණයක ප්‍රතිඵල බවද එම පර් යේෂණයේ තොරතුරුද. වැරදි ලෙස වාර්තා කර ඇතැයි ප්‍රකාශ කළේය. බැරලෝහ සාමාන්‍යයෙන් පවතින්නේ කුඩා ප්‍රමාණ වලින් නිසා ඒවා මනින්නේ දසලක්ෂයට පංගුව බැගින් වුවද මෙම වාර්තාව සඳහන් කර ඇත්තේ සීයයට ගණන් වලින් බවත් එසේ සියයට ගණන් වලින් බැරලෝහ මනින ක්‍රමයක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙම වාර්තාව 2017 වසරේ සිදුකළ පර් යේෂණයක් වැරදි ලෙස සමාජ ගත කර ඇති අතර මේ වසරේ ජනවාරි මාසයේ සිට මෙරටට ආනයනය කරන ලද සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හයකට ආසන්න ප්‍රමාණය සම්බන්ධයෙන් එම ආයතනය මෙතෙක් කිසිදු පර්යේෂණයක් සිදු කර නොමැත. දැනට ආනයනය කර ඇති සහල්වල විෂ ද්‍රව්‍ය අඩංගුද නැතිද යන්න ප්‍රකාශ කළ හැක්කේ පරීක්ෂණයක් සිදු කිරීමෙන් පසුව බව වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා සඳහන් කරයි.
පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරන්නේ ආනයනික සහල්වල විෂ කාරක අන්තර්ගත බවට කිසිදු වාර්තාවත් තම ආයතනය වෙත මෙතෙක් ලැබී නොමැති බවයි. ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ඒවා ආහාර පරිපාලකවරයාගේ සහ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අනුමැතිය, ආනයන අපනයන පාලකවරයාගේ නිර්දේශ සහ නිරෝධායන නීතිවලට අනුකූල නම් පමණක් ආනයනයට අවසර හිමිවන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි. මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍යයක් ආනයනය කර ඇතිනම් එය රේගුවේ මූලික පරීක්ෂණවලින් අනාවරණය වන බවත් කෙසේ නමුදු පාරිභෝගිකයන්ගෙන් පැමිණිලි ලැබුණොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවත් පාරිභෝගික අධිකාරිය පවසයි.
පුවත්පත් වාර්තාවේ සඳහන් වන පරිදි සහල්වල අති විශාල ප්‍රතිශතයකින් බැර ලෝහ අන්තර්ගත විය හැකිදැයි අප විමසා සිටියේ සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ මහාචාර්ය ජී. ඩී. කපිල කුමාර මහතාගෙනි. මහාචාර්යවරයා දේශයට ප්‍රකාශ කළේ එම පුවත්පත් වාර්තාවන්හි සඳහන් බැරලෝහ ප්‍රතිශතයක් ලෙස සඳහන් කිරීම සම්පූර්ණයෙන්ම දෝෂ සහගත බවයි. &ඔය වාර්තාව සම්පූර්ණයෙන් වැරදි වාර්තාවක්. ප්‍රථමයෙන් ඔය ප්‍රතිශත සියල්ල එකතු කරල බැලුවම එම ප්‍රමාණය සියයට වැඩියි. දෙවැන්න එවැනි බැරලෝහ ප්‍රතිශතයක් තිබේ නම් එහි සහල් තියෙන්න බැහැ. මෙය මිලියනයකට කොටස් ( Parts per million) හෝ බිලියනයකට කොටස් (Parts per Billion) කියන එක වරදවා වටහා ගැනීමක්. රසායනාගාරයකින් බැරලෝහ සම්බන්ධයෙන් නිකුත් කරන වාර්තාවක සඳහන් වන්නේ සාමාන්‍යයෙන් PPM හෝ PPB ලෙසිනුයි. සහල්වල බැරලෝහ තිබිය හැක්කේ ඉතාම කුඩා ප්‍රමාණයකින්. කෙසේ වුවත් මෙවැනි වැරදි වාර්තා පලකිරීම රටට කරන විශාල අපරාධයක්. මෙවැනි වාර්තා නිසා ජනතාව විශාල ලෙස බිය වෙනවා. උපරිමයෙන් තිබිය හැකි බැර ලෝහ ප්‍රමාණය පිළිබඳව ( Maximum permissible Level) ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. බැරලෝහ සහිත ආහාර, ජලය පරිභෝජනය කිරීමෙන් කල් ගතවන විට විවිධ ආබාධ ඇතිවිය හැකියි. ඇතැම් ඒවා වකුගඩුවලට බලපෑ හැකියි. ඇතැම් ඒවා පිළිකාකාරක සහිත ඒවා. පසුගිය කාලයේ පොස්පේට් පොහොර ගෙන්වන එක තහනම් කළ යුතු බව ප්‍රකාශ වූයේ ඒවායේ ආසනික් අන්තර්ගත වන නිසයි. ඉන් වකුගඩුවලට හානි විය හැකි බවට විශ්වාසයක් පවතිනවා. එහෙත් එය මෙතෙක් විද්‍යාත්මකව තහවුරු කර නැහැ. කෙසේ නමුදු බැරලෝහ ශරීරයට අහිතකරයි.
අහිතකර බැරලෝහ පොළොවේ, මවු පාෂාණවල, ජලයේ, ආහාරවල පවතිනවා. දූෂණය නොවූ පරිසරයක වුව ඒවා පැවතිය හැකියි. අපේ රටේ නිපදවන සහල්වල පවා යම් කිසි ප්‍රමාණයකට බැරලෝහ අඩංගු විය හැකියි. එම ප්‍රමාණය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කර ඇති මට්ටමට වඩා අඩුනම් බිය විය යුතු නැහැ. 2022 වසරේ ලංකාවට ආනයනය කරන ලද සහල්වල බැර ලෝහ අන්තර්ගත වී ඇතිදැයි යන්න පිළිබඳව මා දන්නා තරමින් කිසිදු පරීක්ෂණයක් සිදු කර නැහැ. කෙසේ වුවත් පුවත්පත්වල පළවූ වාර්තා අනවබෝධයෙන් පළ කළ ඒවා බව පැහැදිලියි.'' යනුවෙන් ප්‍රකාශ කළේය.
එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ පුවත්පත් වාර්තාවල සඳහන් වන පරිදි විෂ ප්‍රතිශතයක් ආනයනික සහල්වල තිබිය නොහැකි බවටය. ඉන්දියාව ශ්‍රී ලංකාව සඳහා වෙනම සහල් නොනිපදවන බවත් තම රටේ පරිභෝජනය සඳහා නිපදවන සහල්වල අතිරික්තය අපනයනය කරන අතර එවැනි ප්‍රවෘත්ති පිටුපස කිසියම් කුමණ්ත්‍රණයක් පවතින බවද මෙරට සහල් අවශ්‍යතාව සපුරාගැනීම සඳහා අවශ්‍ය ආනයනික සහල් ගෙන්වීම අධෛර්යමත් කොට මෙරට සහල් මාෆියාව යළි හිස එසවීමට දරන ප්‍රයත්නයක්ද යන සැකය මතුවන බවද එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා සඳහන් කරයි.
රටින් ගෙනෙන සහල්වල අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රසිද්ධයේ ප්‍රකාශ කළේ පසුගිය සැප්තැම්බර් 13 වැනිදාය. එම ආනයනික සහල් මිනිස් පරිභෝජනයට නොව සතුන්ගේ පරිභෝජනය සඳහා පමණක් සුදුසු බවද ඔහු එම අවස්ථාවේ ප්‍රකාශ කළේය. මෙම සහල් නිෂ්පාදනයේදී ශ්‍රී ලංකාවේ භාවිත නොකරන රසායන ද්‍රව්‍ය සහ බාල පොහොර භාවිත කර ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයත් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය සහල් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගත්තේය. වෙළෙඳපොළේ ඇති ආනයනික සහල් පරීක්ෂණ සඳහා රජයේ අනුමත රසායනාගාර වෙත මේ වනවිට යොමුකර ඇතැයිද එම පරීක්ෂණ වාර්තා මේ සතියේ ලැබීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා අනාවරණ කළේය.
සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ ආහාර සම්බන්ධ ප්‍රමිතිය ඉතාම අවම බවයි. ජනතාවට ලබාදෙන ආහාර සම්බන්ධයෙන් කිසිවකු සහතික ලබා නොදෙන බවත් මෙම ආනයනික සහල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් වගකිවයුත්තකු නොමැති බවත් සඳහන් කළේය.
මෙම පුවත්පත් වාර්තා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන බවට වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් සිසිර කොඩිකාර මහතා ප්‍රකාශ කර තිබේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා