2022 සැප්තැම්බර් 25 වන ඉරිදා

මසුරං ගුණ ෙදන මසුරං බත්

 2022 සැප්තැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 08:00 557

ශ්‍රී ලංකාවේ පුරාණයේ දේශීය සහල් වර්ග 4,000ක් පමණ වගාකළ බව කෘෂි 
පර්  යේෂණඥයෝ පවසති. මේ අතරින් වී වර්ග 1485ක නාම ලේඛනයක් පරිසර ලේඛක ක්‍රිෂ්ණ විජේබණ්ඩාර විසින් ඉදිරිපත් කර තිබේ. 

අද අපි වැඩිමිලක් ගෙවා සම්පූර්ණයෙන්ම ආහාරයට ගන්නේ පාරම්පරික සහල් නොවේ. දෙමුහුන් කළ බීජ වර්ගවලින් තැනූ සහල්ය. ඊට අමතරව මෑතකදී හටගත් සහල් හිඟය නිසා පිටරටින් ගෙනා සහල්ද විශාල වශයෙන් ලංකාවේ ආහාරයට ගනී. අතීත කාලේ අනුරාධපුර, පොළොන්නරුව සහ මහනුවර රාජධානි කාලේ ඉඳන් අපේ ගොවියෝ වගා කළ වී වර්ග අද හඳුන්වන්නේ ‘දේශීය පාරම්පරික වී’ යනුවෙනි. වර්ෂ 1950 පමණ මේ දේශීය වී වර්ග ක‍්‍රමයෙන් විනාශ වී ගොස් වර්ග 200ක් පමණ ඉතුරුවෙලා තිබූ බව පැවසේ. තෙත් කලාපයේ අධික වැසි සහිත කාලගුණයට ඔරොත්තු දෙන වී වර්ගත් ඒ අතර විය. වැස්ස අඩු පළාත්වලට සුදුසු ගොඩ වී වර්ගත් පැවතුණි. හීනටි, හොඬරවාලු, සූදුරු, සුවඳැල්, කළු වී, ඇල් වී, කුරුළු තුඩ, පච්චපරුමාල්, මා වී, මඩතවාලු, කහවනු, රන් සුවඳැල්, පොක්කාලි, උණකොළ සම්බා, දහනල, රතු හීනටි, කට්ටමන්ජුල්, රත්දැල්, කළුබාලූ, දික් වී, ගෝනබරු, දික් හීනටි, ගොඩ හීනටි වාගේ වී වර්ග ඒ අතරින් කිහිපයකි.

මෑතකදී බෝ නොවන රෝග වැළඳීම ඉහළ යාමත් සමඟ සිරුරට හිතකර දේශීය වීවල ගුණය ගැන සෙවීමට උනන්දුවක් ඇති විය. මේ ගැන විශේෂඥයන් පර් යේෂණ කිහිපයක්ම කළ අතර, ජාතික කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර සඳහන් කරන්නේ තමන් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් කරන ලද දීර්ඝ පරයේෂණයකින් ලද ප්‍රතිඵල පුදුම සහගත බවයි.

මෙම පර්  යේෂණ රැසක් ඇසුරින් ඒවායේ ගුණවල වටිනාකම නැවත වරක් ඔප්පු වී ඇති බව ඔහු පසුගියදා පවසා සිටියේය. දේශීය සහල්, ප්‍රෝටීන්, යකඩ සහ ප්‍රතිඔක්සිකාරක යන ශරීරයට හිතකර සංඝටකවලින් සමන්විතය. මෙම සහල්වල මේදය හා පිෂ්ඨය වැනි සිරුරට අහිතකර සංඝටක ඇත්තේ වැඩි දියුණු කළ අද භාවිත කරන සහල්වලට වඩා අඩු ප්‍රතිශතයකිනි. මේවායේ තිබෙන ප්‍රතිඔක්සිකාරක සංඝටක පිළිකා සෛල මර්දනයෙහි ලා අනගි මෙහෙයක් ඉටුකරයි. ඉන් ශරීරයේ නිපදවෙන අනවශ්‍ය සෛල ශරීරයෙන් බැහැර කෙරේ. පාරම්පරික සහල්වල සාමාන්‍ය සහල්වලට වඩා හත් ගුණයකින් ප්‍රතිඔක්සිකාරක  වැඩි බව හෙළි වී තිබේ.

මේ වනවිට ගන්නොරුවේ ජාන තාක්ෂණ ආයතනයේ සංරක්ෂිතව ඇත්තේ පැරණි සහල් විශේෂ 300ක් පමණක් බවද ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර පවසයි. මේ අතරිනුත් පාරම්පරික ගොවීන් අතරේ දැනට දේශීය සහල් විශේෂ 60ක් පමණ රැඳී පවතින බවද ඒ අතරිනුත් මේ වනවිට පරිභෝජනය සඳහා වගා කරන්නේ සහල් වර්ග 25ක් තරම් ඉතා සුළු සංඛ්‍යාවක් බවද පර් යේෂණ දත්ත අනුව ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර සඳහන් කරයි.

අධික ගුණයෙන් යුත් දේශීය සහල් භාවිතය අඩුවීම ජාතියේ අවාසනාවක් බවත් ඔහු පවසා සිටින අතර ආතරයිටිස්, දියවැඩියාව, කොලෙස්ටරෝල් යන ප්‍රධාන බෝ නොවන රෝග ඇතුළු තවත් රෝග රැසක් සඳහා මෙම සහල් ප්‍රත්‍යක්ෂ ඖෂධීය ආහාරයක් බව ඔහු පවසා සිටින කරුණකි.

දේශීය සහල් වර්ග අතරින් සුදු හීනටි, ගොඩ හීනටි, දික් වී සහ මසුරන් යන සහල් වර්ග ඉතාම ඉදිරියෙන් සිටින සහල් වර්ග 4ක් බව ජාතික කාර්මික තාක්ෂණ ආයතනයේ පර්  යේෂණ කණ්ඩායමට හෙළිව තිබේ. ආනයනික සහ පසුව වර්ධනය කළ නව සහල්වල  ඇත්තේ කාබෝහයිඩ්‍රේට් හා ප්‍රෝටීන් ස්වල්පයක් සහිත පෝෂණය අහිමි ස්කන්ධයක් පමණක් බවත් ඖෂධීය ගුණයෙන් ඒවා හීන බවත් ඔහු පෙන්වා දෙයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කාර්මික තාක්ෂණ ආයතනය එක්ව සිදුකළ මෙම පර් යේෂණවලින් හෙළි වූ ඉතා වටිනා මෙම තොරතුරු ජනතාව අතරට ගලා යා යුතු බවත් කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති සහ පර් යේෂක ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මහතා පවසා සිටින කරුණකි. දැනට බොහෝ ගොවීහු කුඩා පරිමාණයෙන් පාරම්පරික වී වර්ග වගා කරන්නට පෙළඹී සිටිති. ඒ ගොවීන්ට දේශීය වෙළෙඳපොළේ දී අනෙකුත් සහල් වර්ග සමග දැවැන්ත තරගයක යෙදීමට සිදුව තිබේ. දැවැන්ත සහල් වෙළෙඳුන්ගේ ඒකාධිකාරිය, ඔවුන් විසින් පවත්වා ගෙන යන ශක්තිමත් අලෙවි ජාලය මේ සඳහා ප‍්‍රධාන හේතු ලෙස දැක්වේ. ඒ අතරම සාමාන්‍ය සහල්වලට වඩා පාරම්පරික සහල් දෙගුණයකින් පමණ මිල අධික වීම නිසා සාමාන්‍ය පරිභෝගිකයන්ට ඒවා ආහාරයට ගැනීමට හැකියාවක් නැත.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර් යේෂණ සහ පුහුණු කිරීමේ අයෙතනය කළ සමීක්ෂණයකට අනුව පාරම්පරික සහල් වෙළෙඳපොළ තුළ වැඩිම ඉල්ලුමක් පවතින්නේ ‘සුවඳැල්’ සහල් සඳහා බව හෙළිව තිබේ. ඊටපසුව කුරුළුතුඩ, පච්චපෙරුමාල්, හීනටි, කහවනු, දික්වී, මඩතවාලු, වැලිහන්දිරන් සහ පොක්කාලි සහල් සඳහා ඉල්ලුමක් පවතී.

ඉහත සමීක්ෂණය අනුව සුවඳැල් සහල් සඳහා වැඩිම ඉල්ලුමක් පවතින්නේ අනුරාධපුර සහ කොළඹ දිස්ත‍්‍රික්කවලය. කුරුළුතුඩ සඳහා ගාල්ලත්, පච්චපෙරුමාල් සඳහා කුරුණෑගලත් ඉහළ ඉල්ලුමක් තිබේ. හීනටි සඳහා වැඩිම ඉල්ලුමක් තිබෙන්නේ කුරුණෑගල හා අනුරාධපුර දිස්ත‍්‍රික්කවලයි. කහවනු සහල් සඳහා කෑගල්ලෙත්, දික් වී සඳහා ගාල්ලෙත් ඉහළ ඉල්ලුමක් තිබෙන බව හෙළිව ඇත.

වැඩිම ගුණදෙන දේශීය සහල් විශේෂ හතර ගැන දැන් විමසා බලමු:

සුදු හීනටි

සුදු හීනටි කියන්නේ "හීනටි" වී කුලයට අයත් වන පාරම්පරිකව වගා කෙරුණු රතු සහල් ප්‍රභේදයකි. වී ඇටයේ පිට පොත්ත සුදු පැහැයෙන් දිස්වීම නිසා මෙය සුදු හීනටි ලෙස හඳුන්වයි. සුදු හීනටි වී වපුරා මාස 4කින් පමණ අස්වනු නෙළා ගත හැකිය. අක්කරයට බුසල් 60ක් පමණ අස්වැන්නක් ලබා දේ.

එය අප රටේ සෑම ප්‍රදේශයකම පාහේ වගා කළ හැකි වී වර්ගයකි. මෙම සහල් වර්ගයේ ප්‍රෝටීන් සහ යකඩ ප්‍රතිශතය ඉහළයි. දියවැඩියාව, කොලෙස්ටරෝල් වැඩි වීම, අධික රුධිර පීඩනය පාලනය කළ හැකි බව පර් යේෂණවලින් අනාවරණය වී තිබේ. ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමටත් උපකාරී වන අතර ආතතිය වැනි රෝග නිවාරණ කිරීමේ ශක්තියක්ද මෙම බතට හිමිය.

ශරීර ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට හේතුවන සහල් විශේෂයක් වශයෙන් පැරැන්නන් අතර ජනප්‍රිය වූ සුදු හීනටි මලබද්ධයෙන් පීඩා විඳින්නන් හට උචිත වන අතරම ශරීර ශක්තියද වඩවයි. ප්‍රදාහය (ඉදිමුම් රෝග), දියවැඩියාව, පිළිකා, ස්නායු රෝග, අධික කොලෙස්ටරෝල් සහ ඔක්සිකාරක ආතතිය වැනි රෝග නිවාරණ ශක්තියක්ද ඇති මෙය විටමින් ඊ සහ ස්වභාවික ප්‍රති ඔක්සිකාරක සංයෝගවලින් පොහොසත්ය.

ගොඩ හීනටි

ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය මධ්‍යම ප්‍රමාණයේ රතු සහල් ප්‍රභේදයක් වන 'ගොඩ හීනටිත් අයිති වන්නේ', 'හීනටි' නම් කුලයටයි. පොත්ත දුඹුරු පැහැයට හුරු රතු පැහැයකින් යුතු මෙහි පත්‍රද දුඹුරු පැහැයක් ගනී. සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් 150-160ක් පමණ උසට වැඩෙන ගසේ අස්වනු නෙළීමේ කාල සීමාව වපුරා මාස 3 1/2 කිනි.   අක්කරයකට වී බුසල් 60ක් 65ක් පමණ අස්වැන්නක් ලැබේ.  අතීතයේ දිවයිනේ උස් බිම්වල සුලබ වූ ගොඩ හීනටි මේ වනවිට සෑම ප්‍රදේශයකම වගාකරනු ලැබේ.
මෙම සහල් වර්ගය ආහාරයට ගනීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වන අතර  ප්‍රදාහය (ඉදිමුම් රෝග), දියවැඩියාව, පිළිකා, ස්නායු රෝග, ආදී බෝ නොවන රෝග නිවාරණයට මෙහි විශේෂ හැකියාවක් පවතී. එමෙන්ම ගොඩ හීනටි සහල් වර්ගය ප්‍රෝටීන්, විටමින් ඊ සහ ස්වභාවික ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්ය. ගොඩ හීනටි වඩාත් ගුණදායක වීම සඳහා නිවුඩ්ඩ සහිතව ආහාරයට ගත යුතුය.

දික්වී

දික් වී දිගටි හැඩයකින් යුත් රතු සහල් වර්ගයකි. සෙන්ටි මීටර් 130-150ක් පමණ උසට වැඩෙන වී ගස වපුරා මාස 4ක් 4 1/2ක් අතර කාලයේදී අස්වනු නෙළා ගත හැකිය. එක් වී පඳුරක ගස් 10ක් 12ක් වැනි විශාල ප්‍රමාණයක් හට ගැනීම විශේෂිතය. කරල පැසෙන කාලයේදී මෙහි කඳ කොටස ලා නිලට හුරු පැහැයක් ගනී.මෙහි අස්වැන්න තරමක් ඉහළය. එය අක්කරයකට වී බුසල් 80ක් 85ක් පමණ වේ. මෙය තෙත් කලාපයෙහි සුලභව වැවෙන වී වර්ගයකි.

ප්‍රදාහය (ඉදිමුම් රෝග), දියවැඩියාව, පිළිකා, ස්නායු රෝග, කොලෙස්ටරෝල් වැනි රෝග පාලනයට අවශ්‍ය වන ඖෂධීය ගුණයෙන් යුතු දික් වී වලින් හොඳම සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා ගැනීමට නම් නිවුඩ්ඩ සමඟ ආහාරයට ගත යුතුය.

මසුරං වී

මෙය මසුරන් තරම් වටිනාකමකින් යුතු වී වර්ගයකි. මෙම වී වර්ගය ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් හා ජනප්‍රිය සහල් වර්ගයකි. යල කන්නයේදී මාස 3 1/2 කින්ද මහ කන්නයේදී මාස 4 1/2 කින්ද මෙහි අස්වැන්න ලබා දේ. ගස සෙන්ටි මීටර් 105-120ක් පමණ උසකට වැඩේ. අක්කරයකට වී බුසල් 80ක පමණ අස්වැන්නක් ලබාගත හැකිය. මසුරං තෙත් කලාපය ආශ්‍රිතව වැඩි වශයෙන් වගා කෙරේ. ප්‍රදාහය, දිය වැඩියාව, පිළිකා, ස්නායු රෝග සහ කොලෙස්ටරෝල් යන රෝග තත්ව පාලනය කරන මසුරං සහල් බෝ නොවන රෝග රැසකට ගුණ බවත් ඔක්සිකාරක ආතති තත්ත්වය (Oxiadative stress) පාලනය කරන බවත් විද්‍යාත්මකව තහවුරු කර ඇති කරුණකි.

I කුසුම්සිරි විජයවර්ධන
ෙස්යාරෑ I අන්තර්ජාලයෙනි

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03