2022 සැප්තැම්බර් 25 වන ඉරිදා

මහවැලියට දිවි දුන් සරසවි සොයුරා!

 2022 සැප්තැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 08:00 96

හන්තාන කඳුවැටිය මෙන්ම මහවැලි නදියත් සොබාදහමේ අපූරු දායාද සේ පේරාදෙණිය සරසවි බිමට හිමිව පවතී. ඒ මනස්කාන්ත දර්ශන තල අතර සරසවි උයන හා පේරාදෙණිය යන දුම්රිය ස්ථාන අතර මහවැලි නදියට ඉහළින් ඇති කළු පාලම සහ අවට පරිසරයේ නොයෙක් ස්ථාන ඇතැම් සරසවි සිසුන්ගේ ජීවිතවල අවසන් නිමේෂය වී තිබේ. එවැනි සිසු සිසුවියන් රැසකගේ මරණ තුළ සැඟවුණු අබිරහස් ද වෙයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මායිමේ ප්‍රධාන මාර්ගයේ පාලමෙන් හෝ කළු පාලමෙන් ගඟට පැනීම, දුම්රියට ගෙල තැබීම හා නවාතැන් ගෙන සිටි කුලී කාමර තුළදී ගෙල වැළලා ගැනීමෙන් සරසවි සිසු සිසුවියන් ගණනාවක් සියදිවි නසාගත් බවට වාර්තා වී තිබේ. එවැනි සිද්ධි ගණනාවකට පසුව හෙළිව තිබුණේ එම සරසවි දරුවන් දැඩි මානසික පීඩනයක පසුවී ඇති බවත්, ඇතැම් දරුවන් මානසික ආතතිය සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී දිවි නසාගෙන ඇති බවකි. එවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වී ඇති හෙයින් සරසවි දරුවන්ට මෙතරම් මානසික ආතතියකට හේතු කවරේදැයි සොයා බැලිය යුතුව තිබේ.

මෙවැනි සිදුවීමක් ආසන්නතම ලෙස වාර්තා වූයේ ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිව්වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු සම්බන්ධයෙනි. ඔහු එම සරසවියේ ශාස්ත්‍ර පීඨයේ මනෝ විද්‍යා අධ්‍යයන අංශයේ මනෝවේදී විශේෂ උපාධිය හදාරමින් සිටි ශිෂ්‍යයෙකි. ගම්පහ යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි අංජන කුලතුංග උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වී 2019 වසරේදී පේරාදෙණිය සරසවියට ඇතුළත් විය. නිදහසේ ඉගෙනුම් කටයුතු කිරීමට හා හුදෙකලාව ප්‍රිය කළ ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පා ගමනින් යා හැකි දුරක පිහිටි නවාතැන්පොළක කාමරයක නවාතැන් ගෙන තිබුණි. ඒ පේරාදෙණිය පැණිදෙණිය ප්‍රදේශයේ ස්ථානයකය. 

ගතවූ වසර හතරේ කොවිඩ් වසංගතය හේතුවෙන් විශ්වවිද්‍යාලය වසා තැබූ විටෙක හැර බොහෝ කාලයක් අංජන කුලතුංග සිසුවා විශ්වවිද්‍යාලයේ සහ පැණිදෙණිය පිහිටි බෝඩිං කාමරයේ වාසය කළේය. අධ්‍යාපන කටයුතු අධික නිසා ඔහුට මව්පියන්ට දුරකථන ඇමතුමක් ලබා දීමට නොහැකි වුවද මව්පියෝ නිරතුරුවම ඔහු ගැන සොයා බැලූහ. ඉකුත් 15 වැනිදාත් එසේ දුරකථනයෙන් මව්පියන් ඔහුට කතා කොට ඇතත් පසුදා පටන් ඔහුගේ දුරකථනය කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

දිගින් දිගටම නිවැසියන් ඔහුට දුරකථන ඇමතුම් ලබාගත්තද අවසානයේ දුරකථනය විසන්ධි කර ඇති බව දැනගැනීමට හැකි විය. මේ නිසා ඔවුන් අංජන නවාතැන් ගෙන සිටි නවාතැන්පොළ හිමිකරුටද කතා කර කරුණු විමසා ඇතත් හරි තොරතුරක් දැනගැනීමට හැකිව නැත. මේ නිසා කලබල වූ මව හා පියා පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත ගොස් ඔහුගේ මිතුරු මිතුරියන් හමුවී දරුවා පිළිබඳ තොරතුරු විමසා තිබිණි.

අනතුරුව නවාතැන්පොළ සොයා ගොස් එහි හිමිකරුවන්ගෙන් විමසුවද හරිහමන් තොරතුරක් ලැබී තිබුණේ නැත. එහිදී නවාතැන්පොළ හිමිකරු පියවර ගෙන තිබුණේ අංජන නැවතී සිටි කාමරයේ වසා තිබූ දොර අගුළු බිඳ විවෘත කර බැලීමටය. එසේ කිරීමේදී ඔහුට අයත් මුදල් පසුම්බිය, ජංගම දුරකථනය, ලැප්ටොප් පරිගණකය, ඇස් කණ්නාඩි යුගලය, ඇඳුම් පැළඳුම් ඇතුළු පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ල එහිදී දැකගත හැකිව තිබිණි. ඒ අතර මේසය මත තබා තිබූ ලියමනක් වෙත කාගේත් දෑස් යොමු විය.

''දැන් වෙලාව අටයි. තව පැය බාගයක් ඇතුළත බාධාවක් නොවුණොත් මම මහවැලි ගඟේ ඉඳී..''

මේ සටහන ලියා තිබුණේ අංජනගේ අත් අකුරුවලිනි. වෙලාව අට යනු උදේද හවසද යන්න සඳහනක් නොවිණි. බොහෝ විට එය 16 වැනිදා පෙරවරුව විය හැකි බවට අනුමාන කළ හැකිය.

මේ ලියමන දැකීමත් සමඟ කලබල වූ පිරිස අංජන කුලතුංග (23) සිසුවා සියදිවි නසාගන්නට ඇතැයි සැකයෙන් පේරාදෙණිය පොලීසිය වෙත ගොස් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත විජේකෝන් මහතා හමුවේ ''අපේ පුතා අංජන කුලතුංග 16 වැනිදා ඉඳන් ආ ගිය අතක් නෑ. කිසිම තොරතුරක් නෑ. බෝඩිං කාමරයේ ලියමනක් තිබුණා.. දැන් වෙලාව අටයි. තව පැය බාගයක් ඇතුළත බාධාවක් නොවුණොත් මම මහවැලි ගඟේ ඉඳී.. කියලා තිබුණා.'' යැයි පවසා තිබුණි. ඒ සඳහා බෝඩිං කාමරයේ හිමිකරුද පොලීසිය වෙත ගොස් අවශ්‍ය තොරතුරු හා සාක්ෂි ලබාදීමට කටයුතු කළේය.

හෙළි වූ තොරතුරු හා සාක්ෂි පදනම් කොටගෙන පොලීසිය සැකකොට තිබුණේ අංජන කුලතුංග මහවැලි ගඟට පනින්නට ඇති බවය. මේ නිසා පොලීස් නිලධාරීන් පිරිසක් සමඟ එක්වූ විශ්වවිද්‍යාල සිසුන් පේරාදෙණිය කළු පාලම අසල සිට පහළට ගං ඉවුර පීරමින් සොයා බලන්නට වූහ.

කිසිදු ආරංචියක් නොවුණු පසුබිමක 16 වැනිදා සිට දින 4ක් ගෙවුණු පසුව 21 වැනිදා පස්වරුවේ පොලීසියට තොරතුරක් ලැබී තිබුණේ මහවැලි ගඟේ හක්කිඳ දූපත් පිහිටි ස්ථානයට ඉහළ කොටසේ ගැටඹේ ප්‍රදේශයට ආසන්නව පිහිටි ප්‍රසිද්ධ හෝටලයක් අසල ගං ඉවුරේ පිරිමි මළසිරුරක් ගොඩගසා තිබෙන බවකි. ඒ අනුව පසුගිය 18 වැනිදා පොලීසියට ලැබුණු පැමිණිල්ල මගින් කී අංජන කුලතුංග ගඟට පනින්නට ඇතැයි යන සැකය මත මළසිරුර පරීක්ෂා කර බැලීමට අංජනගේ පියා එහි කැඳවා තිබුණි.
පේරාදෙණිය කළු පාලම ප්‍රදේශයේ සිට කිලෝමීටර් දෙකක පමණ දුරක රුඳී තිබූ මළසිරුර දුඹුරු පාට කලිසමක් හා නිල් පාට ටී ෂර්ටයකින් දැකගත හැකිවිය. එම ඇඳුම් විශ්වවිද්‍යාලය විසින් නිර්මාණය කොට තිබූ නිසා මළසිරුර අංජනගේ බවට අනුමාන කොට තිබුණි. පසුව ඔහුගේ පියා ඒ බව සනාථ කොට තිබූ අතර දින හතරකට වැඩි කාලයක් වතුරේ තිබූ මළසිරුර දැඩි ලෙස ඉදිමී නරක් වී තිබෙනු දැකගත හැකි විය.

සියදිවි නසාගෙන ඇති අංජන කුලතුංග සිසුවා මනෝ විද්‍යාවට අදාළ විෂයන් හදාරා තිබුණි. ඔහුව බෝඩිං කාමරයේ තනිව රුඳී සිට ඇති අතර මනෝ විද්‍යාව සම්බන්ධයෙන් වීඩියෝ පට කිහිපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහරින්නට ක්‍රියා කර ඇතැයි පැවසේ. මොහු මනෝ වෛද්‍ය උපදේශකවරයකුගෙන් උපදෙස් හා ප්‍රතිකාර ලබාගෙන තිබෙන බවට තහවුරු වී තිබෙන අතර දැඩි මානසික ආතතියකින් පෙළී ඇති බවට ද තහවුරු වී තිබුණි.

ආසන්න වසරක හෝ ඊට වැඩි කාලයක් තුළ පේරාදෙණිය සරසවියේ සිසුන් පස්දෙනකු මහවැලි ගඟට පැන සියදිවි නසාගත් බවටත් සිසුවියක දුම්රියට ගෙල තබා සියදිවි නසාගත් බවටත් වාර්තා වී තිබේ. ඔවුන් සියලු දෙනා පිළිබඳව පසුව වාර්තා වූයේ මානසික ආතතියෙන් පෙළීම නිසා එම පීඩනය දරාගත නොහැකි තැන සියදිවි නසාගෙන ඇති බවකි.

මානසික රෝග ගණනාවක් අතර ආතතිය එක් අවස්ථාවකි. යමකු එවැනි තත්ත්වයකින් පෙළෙන්නේ නම් ළඟම හිතවතකුට ඒ බව දන්වා තිබීම වඩාත් සුදුසුය. එවැනි රෝග සඳහා නිශ්චිත ප්‍රතිකාර හා උපදේශන පවතින අතර ඒ සඳහා යොමුවීමෙන් රෝගය වළක්වා ගත හැකිය. එවැනි අයකු වේ නම් ඔවුන් පිළිබඳව සිය හිතවතුන්ගේ අවධානය මැනවින් යොමුකර තැබීම වඩාත් සුදුසු බවද පෙන්වා දෙමු.

 සමන්ත ප්‍රදීප් විල්තෙර