2022 සැප්තැම්බර් 25 වන ඉරිදා

රටින් එන තෑගි භාණ්ඩ රේගුවේදී මස්කරන ජාවාරම

 2022 සැප්තැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 08:00 309

විදෙස් ශ්‍රමිකයන් සහ විදෙස්ගත වූවන් විසින් මෙරටට එවනු ලබන භාණ්ඩ සොරාගැනීම් සහ හානිවීම් පිළිබඳ පැමිණිලි රාශියක් ලැබී ඇති බව ඉකුත් සතියේ රේගුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මේ සම්බන්ධ තොරතුරු සමාජ මාධ්‍ය තුළ ද සංසරණය වෙමින් තිබුණි. කෙසේ වෙතත් විදේශයන්ගේ සිට එවනු ලබන භාණ්ඩ හානිවීම් සහ සොරකම් කිරීම් සම්බන්ධ ඍජු චෝදනාව එල්ල වී තිබුණේ රේගු කාර්ය මණ්ඩල වෙතයි.

ඒ අනුව විදේශයන්හි සිට මෙරටට එවනු ලබන භාණ්ඩ හානිවීම් සහ සොරකම් කිරීම් සම්බන්ධව පුළුල් විමසුමක අවශ්‍යතාවය අපට මතු විය. ඒ අනුව අපි දේශයට වරින්වර රේගු තොරතුරු අනාවරණය කළ ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික රේගු අධ්‍යක්ෂ රන්ජන් දන්තනාරායන මහතා සම්බන්ධ කර ගතිමු. ඔහු සිදුකළේ විශාල සමාජ ආන්දෝලනයකට තුඩු දී ඇති විදේශයේ සිට මෙරටට එවනු ලබන භාණ්ඩ පිළිබඳ සුවිශේෂී අනාවරණයකි.

විදේශයන්හි සිට රැගෙන එන භාණ්ඩ දේශීය හිමිකරුවන් වෙත නිවෙසටම ගෙනැවිත් බාරදීමේ සේවා (Door to door services) මෙම ගැටලුව කෙරෙහි මූලික වී ඇති බව දන්තනාරායන මහතා පෙන්වා දෙයි. කාලය, ශ්‍රමය ඉතිරි වන මෙම සුව පහසු සේවාව ලබාගැනීමට බොහෝ දෙනා ප්‍රිය කරති. සැබැවින්ම මේ වනවිට මෙය ලොව පුරා ඉතාම ජනප්‍රිය සේවාවකි. ගමන් මලු, ත්‍යාග භාණ්ඩ සහ තවත් දෑ දොරින් දොරට ක්‍රමය හරහා ලොවපුරා සංසරණය වේ. මෙම ක්‍රමවේදය මෙරට ආරම්භ වී ඇත්තේ 1997 වසරේදී පමණය.

අප වෙත තොරතුරු සම්පාදනය කරනු ලබන විශ්‍රාමික රේගු අධ්‍යක්ෂ රන්ජන් දන්තනාරායන මහතා මෙම ක්‍රමය හඳුන්වා දුන් වකවානුවේ මෙවැනි භාණ්ඩ නිෂ්කාශනය කරනු ලබන කාර්යාලයක සේවය කර තිබිණි. මෙම ක්‍රමය ආරම්භ කිරීමට අදාළ මුල් ලියැවිල්ලෙහි දෝෂ නිවැරදි කරමින් සංශෝධන සිදු කිරීමට ද ඔහු උපදෙස්  ලබා දී තිබිණි.

මෙම වකවානුවේ මෙම භාණ්ඩ නිෂ්කාශනය සිදුවූයේ ලියාපදිංචි කර තිබූ සමාගම් සහ කාර්යාලවල නියෝජිතයන් යටතේය. දන්තනාරායන මහතා පෙන්වා දෙන පරිදි මෑතක සිට ලියාපදිංචිය නොමැති ආයතන විසින් ද අදාළ භාණ්ඩ නිදහස් කිරීම සිදු කරමින් සිටියි. එය බරපතළ තත්ත්වයකි.

මුල් වකවානුවේ සකස් කරනු ලැබූ නීති රීති අනුව භාණ්ඩ දේශීය වශයෙන් බාරගනු ලබන පුද්ගලයාගේ අනුමැතිය යටතේ නියෝජිත ආයතනය කටයුතු කළ යුතු විය. විශ්‍රාමික රේගු අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන ආකාරයට එම වකවානුවේ සමාගම් වෙත භාණ්ඩ නිදහස් කර ගැනීමට දේශීය භාණ්ඩ හිමිකරුවන්ගේ ලිඛිත අවසරය අත්‍යවශ්‍ය විය.

ඒ සඳහා වෙනම ක්‍රියාවලියක් රේගුව අනුගමනය කළේය. ඒ අනුව හිමිකරුගේ අවසර සහිතව රේගුව, අදාළ ආයතනයේ නියෝජිතයන් ඉදිරියේම භාණ්ඩ පරීක්ෂා කොට රේගු ක්‍රියාපටිපාටි අනුගමනය කරමින් භාණ්ඩ බාරදීමට සිදුවිය. එය වඩාත් විනිවිදභාවයකින් යුතු ක්‍රමවේදයක් වූ බව දන්තනාරායන මහතාගේ පැහැදිලි කිරීම් අනුව පෙනී යයි.

කෙසේ වෙතත් වර්තමානය වනවිට තත්ත්වය වෙනස් වී ඇත. ලියාපදිංචිය නොමැති දොරින් දොරට භාණ්ඩ රුගෙන යන සමාගම් හිමිකරුගේ අවසරයකින් තොරව රේගුවෙන් එම භාණ්ඩ නිදහස් කර ගැනීම සිදුකරයි. අනතුරුව ඔවුන්ගේ ගබඩා තුළ එම භාණ්ඩ ගබඩා කොට තබා දොරින් දොර බෙදාහැරීම සිදු වේ.

දොරින් දොරට භාණ්ඩ බෙදාහරින සමාගම්වලට හිමිකරුගේ අවසරයකින් තොරව භාණ්ඩ ලබාගැනීමට නෛතික හැකියාවක් නොමැති බව දන්තනාරායන මහතා කියා සිටියි. එහෙත් අවාසනාවකට එය අද වනවිට බහුල වශයෙන් සිදුවෙමින් පවතියි.
පසුගිය සැප්තැම්බර් 12 වැනිදා රේගුව විසින් නිවේදනය කළේ ගමන් මලු, ත්‍යාග භාණ්ඩ නැතිවීම් සහ හානිවීම් සම්බන්ධ විශාල පැමිණිලි සංඛ්‍යාවක් තමන් වෙත ලැබී ඇති බවකි. ඔවුන් පවසන පරිදි මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මගින් සිදු කරන ලද විමර්ශනයකදී අනාවරණ වී ඇත්තේ සුවිශේෂී තොරතුරකි.

වාර්තා වන භාණ්ඩ නැතිවීම් සහ හානිවීම් බහුල වශයෙන් ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි නොකරන ලද ආනයන සේවා සපයන සමාගම් හරහා සිදුවේ. එහෙයින් ශ්‍රී ලංකා රේගුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සහ විදේශගත වූවන්ගෙන් ඉල්ලා සිටින්නේ ලියාපදිංචි ආයතන මගින් පමණක් මෙරටට භාණ්ඩ එවීමට කටයුතු කරන ලෙසයි.

විදේශයන්හි සිට එවනු ලැබූ භාණ්ඩ හානිවීම් සහ නැතිවීම් බොහෝවිට දොරින් දොරට සේවා සපයන ආයතන සතු ගබඩා තුළදී සිදුවන බව දන්තනාරායන මහතා කියා සිටියි. එවන් වූ සොරා ගැනීමක් බවට සැක කෙරෙන වීඩියෝ පටයක් ද ඔහු විසින් අප වෙත සපයා ඇත. කෙසේ වෙතත් තවමත් මෙම ගැටලුව සම්බන්ධ බරපතළ ලෙස චෝදනාවට ලක්වන්නේ ශ්‍රී ලංකා රේගු කාර්ය මණ්ඩලයයි.

දන්තනාරායන මහතාගේ පැහැදිලි කිරීම අනුව අපගේ නිරීක්ෂණය නම් අක්‍රමවත් ක්‍රියාවලිය සහ ලියාපදිංචි නොමැති දොරින් දොරට සමාගම් නිසාවෙන් මෙම ගැටලුව උද්ගත වී ඇති බවයි. මෙය කඩිනමින් විසඳාගත යුතු ගැටලුවකි.

විශ්‍රාමික රේගු අධ්‍යක්ෂ දන්තනාරායන මහතා මෙහිදී තවදුරටත් අවධාරණය කර සිටින්නේ බරපතළ ගණයේ වංචා දූෂණ වර්තමාන ක්‍රමවේදය හරහා සිදුවිය හැකි බවයි. ව්‍යාජ ලිපින සහ නම් යොදා ගනිමින් නීති විරෝධී භාණ්ඩ එවීමට සහ නිෂ්කාශනය කර ගැනීමට මේ හරහා වංචනිකයන්ට අවකාශයක් සැලසෙයි. ඔහුගේ පැහැදිලි කිරීමට අනුව තහනම් කරනු ලැබූ භාණ්ඩ, ආනයන සීමා පනවන ලද භාණ්ඩ රට තුළට ඇතුළු වීමේ අවදානමක් මතුව තිබේ.

හිමිකරුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් තොරව අදාළ භාණ්ඩ නියෝජිත ආයතනය විසින් නිදහස් කර ගැනීම හේතුවෙන් මෙවන් අවස්ථාවකදී වගකීම පැවරීමට කිසිවකු නොමැත. එය බරපතළ තත්ත්වයකි. දන්තනාරායන මහතා පෙන්වා දෙන ආකාරයට ආදායම් වංචාද මේ හරහා සිදු වේ.

පසුගිය සමයේ තමන් පෞද්ගලිකවම මෙම තත්ත්වය නිරීක්ෂණය කර ඇති බව දන්තනාරායන මහතා පවසයි. ඔහුගේ පවුලේ විදේශගත සමීපතමයකු විසින් එවනු ලැබූ භාණ්ඩ නියෝජිත ආයතනයක් විසින් දේශීය හිමිකරුගේ අවසරයකින් තොරව රේගුවෙන් නිදහස් කොට තිබේ. මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කර ඇති දන්තනාරායන මහතා බලධාරීන්ට සහ අදාළ පාර්ශ්වයන්ට මෙවන් දෑ සිදුවීමේ බරපතළ බව පැහැදිලි කර ඇත.

කෙසේ වෙතත් මෑතකදී තත්ත්වය බරපතළ වන තුරුම මේ සඳහා බලධාරීන්ගේ අවධානය යොමු වූවාද යන්න අපට ගැටලුවකි. දිනපතා සිය ගණනින් පාර්සල් කඩා සොරාගැනීම සිදුවෙමින් පවතී. සැබැවින්ම පැමිණිලි කරන්නේ ස්වල්ප දෙනෙකි. මෙවන් ගැටලුවක පැටලී කාලය මිඩංගු කර ගැනීමට බොහෝ දෙනා මැලි වෙති. ඒ නිසාම සොරුන්, වංචනිකයන් තවමත් නිදැල්ලේය.

දන්තනාරායන මහතා පෙන්වා දෙන්නේ නිෂ්කාශන නියෝජිත ආයතන රේගුවේ ලියාපදිංචි කරනු ලබන ආකාරයටම දොරින් දොරට ඒජන්ත ආයතනද ලියාපදිංචිය අනිවාර්ය කළ යුතු බවයි. භාණ්ඩ බාරගන්නාගේ අනුමැතිය සහිතව නිශ්කාශන ක්‍රියාවලිය සිදුවිය යුතුය.

එසේම මෙම ක්‍රියාවලිය සඳහා වලංගු හැඳුනුම්පතක් හෝ විදේශ ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කළ යුතු බවටද කොන්දේසි පැනවිය යුතු බව ඔහු කියා සිටියි. මේ හරහා ආදායම් වංචා සහ රේගු වංචා වළක්වාගෙන යහපත් විශ්වාසනීය සේවාවක් ජනතාවට ලබාදිය හැකි බව හෙතෙම විශ්වාස කරයි. සැබැවින්ම මෙය බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුම කරුණකි.

සංවාද සටහන 
 චමිඳු නිසල් ද සිල්වා 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04