සහල් මෝල් හිමියෝ කුණුකොල්ලෙට වී ගනිති
අනුරාධපුර පොළොන්නරුව ඇතුළු දිවයිනේ වී වගාකරන දිස්ත‍්‍රික්ක බොහොමයක යල කන්නයේ වී අස්වනු නෙලීම මේ වනවිට ආරම්භ වී තිබේ. ඇතැම් යායවල එම කටයුතු බොහෝදුරට අවසන් වෙමින් තිබෙනු දැකිය හැක. මෙවර වී අස්වැන්න සියයට පනහකින් පමණ අඩුවී ඇතැයි ගොවීහු කියා සිටිති. එයට හේතුව නිසි කලට අවශ්‍ය පොහොර නොලැබීම බවද ඔවුහු පැවැසූහ.
පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පමණක් මෙවර යල කන්නයේ වී වගාකර ඇති කුඹුරු බිම් ප‍්‍රමාණය අක්කර එක්ලක්‍ෂ හැට දහසක් පමණ වන බව අතර මහවැලි බී සහ සී කලාපවල අස්වනු නෙලීමේ කටයුතු දැනට සියයට හතළිහක්, පනහක් පමණ අවසන්ව ඇතැයි පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා අප කළ විමසුමකදී පැවැසීය.
මේ අතර රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ මේ වනතෙක් ආරම්භ නොවීම හේතුවෙන් මෝල් හිමියන් සහ පෞද්ගලික වෙළෙඳුන් කුණු කොල්ලයට වී මිලදී ගැනීමට පටන්ගෙන ඇතැයි ගොවීහු කියා සිටිති. රජය වී කිලෝවට සහතික මිලක් නියමකර ඇතත් එය නමට පමණක් බවත් මුදලාලිලා ඒ මිල තුට්ටුවකට හෝ නොසලකන බවද ගොවීහු ප‍්‍රකාශ කළහ. ගොවීන්ගේ වී අස්වනු මිලදී ගැනීමට රජය මෙතෙක් කටයුතු කර නොතිබීම හේතුවෙන් මේ තත්ත්වය ඇති වී තිබෙන බවට ගොවීහු චෝදනා කරති.
යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා රජය මේ වනතෙක් කිසිදු වැඩ පිළිවෙළක් ආරම්භ නොකිරීම නිසා මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහ පෞද්ගලික වෙළෙඳුන් වී කිලෝවේ මිල දවසින් දවස පහළ දමමින් තිබෙන බවද ගොවීහු පෙන්වා දුන්හ. නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක් සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 125ක් සහ කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 130ක් වශයෙන් රජය සහතික මිලක් නියමකර ඇතැත් පෞද්ගලික වෙළෙඳුන්ගේ වී මිල ඒ අහලකවත් නැතැයිද ගොවීහු පැවැසූහ. එමෙන්ම වී අලෙවි මණ්ඩලයේ කිසිදු ගබඩාවක් ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා මෙතෙක් විවෘත කර නොමැති බවද ගොවීහු කීහ. මේ තත්ත්වය නිර්මාණය වී ඇත්තේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වීම නිසා බවද ඔවුහු පෙන්වා දෙති.
මහවැලි කලාප ඇතුළු දිස්ත‍්‍රික්කයේ දැනට වී අස්වනු නෙලීම සිදුකරන බොහෝ ප‍්‍රදේශවල ගොවීන් කියා සිටියේ මේ වනවිට වී කිලෝවක මිල රුපියල් 90කට වඩා පහළ වැටී තිබෙන බවය. එමෙන්ම මෙවර වී අස්වැන්නද සියයට 40ක් 50ක් දක්වා පහළ වැටී ඇති බවද ඔවුහු සඳහන් කළහ.
මේ අතර වී අස්වනු නෙලන යන්ත‍්‍ර සඳහා අයකරන කුලිය මෙවර විශාල වශයෙන් වැඩි වී ඇතැයිද අක්කරයක අස්වුනු නෙලීමට රුපියල් 22,500ත් 25,000ත් අතර මුදලක් ගෙවීමට සිදුව ඇතැයිද ගොවීහු කියති. මෙය පොළොන්නරුව අනුරාධපුර දිස්ත‍්‍රික්කවල පමණක් නොව වී නිෂ්පාදනය කරනු ලබන සෑම දිස්ත‍්‍රික්කයකම පාහේ පවතින තත්ත්වයක් බවද ඔවුහු කීහ.
පොළොන්නරුවේ අස්වනු නෙලන යායකදී අප සමඟ කතාබහට එක්වූ එල්.එච්. චමින්ද කුමාර ගොවි මහතා:
''මෝල් හිමියෝ, පෞද්ගලික වෙළෙන්දෝ විතරයි දැන් වී ගන්නේ. වී අලෙවි මණ්ඩලය ගන්නේ නෑ. සමහර වෙළෙන්දෝ ගොවියාගේ ළඟටම ඇවිත් වී මිලදී ගන්නවා. නමුත් නිසි මිලක් නෑ. දැන් වී කිලෝ එකක මිල රුපියල් 90යි 100යි. සමහර මෝල් හිමියෝ වී මිලදී ගැනීම තාවකාලිකව නතර කරලා. ඒ අය බලාගෙන ඉන්නවා වී මිල තවත් අඩුවෙයි කියලා. ආණ්ඩුවේ සහතික මිල නාඩු කිලෝ එකක් රුපියල් 120යි. සම්බා කිලෝ එකක් රුපියල් 125යි. කීරි සම්බා කිලෝ එකක් රුපියල් 130යි. නමුත් ආණ්ඩුවේ සහතික මිලට වී දෙන්න තැනක් නෑ. වී අලෙවි මණ්ඩලය වී ගන්නේ නෑ. මේ විදියට අඩු මිලට මිලට වී විකුණලා කොහොමද වෙච්චි ණයතුරුස් ගෙවා ගන්නේ. ගොවියා මේ වෙනකොට ඉන්නේ අර්බුද රාශියක් මැද්දේ. මේ වෙලාවේ උගස් තියන්න රත්තරන් බඩුවක් තරමවත් නෑ. ඒවත් උගස්කරලා ගොවිතැනට වියදම් කරලා. දැන් කන්නයේ වී අස්වැන්න නෙලනවා. ඒ සඳහා යන්ත‍්‍රවලට යොදන ඩීසල් ටික සපයාගැනීම පවා ප‍්‍රශ්නයක්. හෙක්ටයාර් එකක අස්වැන්න නෙලන්න ඩීසල් ලීටර් 40ක් විතර අවශ්‍ය වෙනවා. ඒ සඳහා රුපියල් 17,200ක මුදලක් ඕන. නමුත් ඒ ඩීසල් මිලදී ගැනීම සඳහාවත් අපේ අතේ මුදල් නෑ. වෙනදා අපි කරන්නේ අස්වනු නෙලලා ඉවරවෙලා වී ටික විකුණලයි මේ යන්ත‍්‍රවලට කුලිය ගෙවන්නේ. නමුත් මේ වතාවේ ආරම්භයේදීම ඒ සඳහා වියදම් කරන්න ඕන.
අනෙක් කාරණය මේ වතාවේ අස්වනු නෙලන යන්ත‍්‍රවලට ගෙවන කුලියත් විශාල වශයෙන් වැඩිවෙලා.වෙනදා අක්කරයක අස්වැන්න නෙලන්න අයකළේ රුපියල් 16,000ක්, 18,000ක් වගේ මුදලක්. මේ කන්නයේ අක්කරයක් සඳහා රුපියල් 22,000ක් 25,000ක් අයකරනවා. දැන් මේ වෙනකොට වී මිල පහළ බැහැලා. පෞද්ගලික වෙළෙඳුන් වී ගන්නේ කිලෝ එක රුපියල් 90ත් 100ත් අතර මිලකට. ඒ ගාණට වී දීලා නිෂ්පාදන වියදමවත් පියවගන්න බෑ. වී කිලෝවේ මිල අනිවාර්යයෙන්ම මීට වඩා වැඩිවෙන්න ඕන. අඩුම තරමින් වී කිලෝවක් සඳහා රුපියල් 150ක මිලක්වත් ගොවියාට ලැබෙන්න ඕන. නැත්තම් ණයතුරුස් ගෙවාගන්නවත් බෑ. දැනට පවතින වියදම් අනුව කුඹුරු අක්කරයක් වගා කරන්න රුපියල් 1,50,000කට වැඩිය වියදම යනවා. මෙදා පාර අස්වැන්නත් හොඳටම අඩුයි. ඒකට හේතුව පොහොර ටික කලට වෙලාවට නොලැබීම.”
පොළොන්නරුව දිස්ත‍්‍රික් ගොවි සංවිධාන බලමණ්ඩලයේ භාණ්ඩාගාරික සහ ඇලහැර ව්‍යාපාර ගොවි සංවිධානයේ හිටපු සභාපති ආනන්ද එදුස්සූරිය මහතා:
''අපේ ප‍්‍රදේශවල ගොවීන්ට දැන් තිබෙන බරපතල ප‍්‍රශ්නය තමයි අස්වැන්න නෙලාගන්න ඩීසල් නැතිකම. වගාවක අස්වැන්න නෙලනවා කියන්නේ ඒක කලට වෙලාවට කරගන්න ඕන. නැත්නම් නාස්තිවෙලා විනාශවෙලා යනවා. වී අස්වනු නෙලන යන්ත‍්‍රවල කුලියත් මේ වතාවේ ඉහළ ගිහිල්ලා. දැනට ඇලහැර ප‍්‍රදේශයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් තවමත් ක‍්‍රියාත්මක වන්නේ නෑ. වී අලෙවි මණ්ඩලයේ ගබඩා සියල්ලක්ම වහලා දාලා තිබෙන්නේ. එමනිසා දැනට ගොවීන්ගේ නෙළමින් පවතින වී අස්වැන්න පෞද්ගලික වෙළෙන්ඳන් විසින් මිලදී ගනු ලබන්නේ ඉතාමත් අඩු මිලට. මේ වෙනකොට ගොවීන්ගේ නාඩු වී කිලෝවට ලැබෙන්නේ රුපියල් 85ක් 88ක් වගේ මිලක්. සම්බා කිලෝවට රුපියල් 90ක්. කීරී සම්බා කිලෝවට රුපියල් 100ක්. පෞද්ගලික වෙළෙඳුන් කුණුකොල්ලයට මේ මිලදී ගන්නේ. ගොවියා රුපියල් 40,000ට, 45,000ට පොහොර මිලදී අරන් වගාකළ වී වගාවේ අස්වැන්න රජයේ සහතික මිල කිසිසේත්ම ප‍්‍රමාණවත් නෑ. එම නිසා අපි රජයට යෝජනා කරනවා ගොවියාගේ වී කිලෝවකට රුපියල් 160ක් ඉක්මවන සහතික මිලක් ලබාදෙන්න කියලා.”
අස්වනු නෙළමින් තිබෙන මේ අවස්ථාවේ වී මිලදී ගැනීම සඳහා ආණ්ඩුව මුදල් වෙන් නොකිරීම නිසා සහල් මාෆියාවේ කප්පිත්තන් එහි වාසි ලබමින් ගොවියාගේ වී ටික තුට්ටු දෙකට කොල්ලකා ගැනීමට පටන්ගෙන ඇතැයි ගොවි අරගල ව්‍යාපාරය පවසයි.
එහි මෙහෙයුම් කමිටු සාමාජික ආර්.කේ. ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා පසුගියදා පොළොන්නරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේ නිසි කලට පොහොර නොලැබීම නිසා මේ වතාවේත් වී අස්වැන්න සියයට පනහකින් පමණ පහල බැස තිබෙන බවයි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා මෙසේද කීවේය.
''මේ රටේ අහිංසක ගොවි ජනතාවගේ වී ටික ගන්න ජනාධිපති ඇතුළු කිසිකෙනෙක් සල්ලි වෙන් කරන්නේ නෑ. ඒ නිසා දැන් මොකද වෙලා තියෙන්නේ සහල් මාෆියාවේ කප්පිත්තෝ මේකෙන් වාසි අරගෙන ගොවියාගේ වී ටික තුට්ටු දෙකට ගන්නවා. අනුරාධපුර, පොළොන්නරුව, ත‍්‍රිකුණාමලය ඇතුළු දිස්ත‍්‍රික්ක ගණනාවක දැන් අස්වනු නෙලීම ආරම්භවෙලා තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ ගොවීන්ගේ වී මිලදී ගන්න සත පහක්වත් සල්ලි වෙන්කරන්න ආණ්ඩුවට මුදල් නෑ කිය කිය තෙපර බබා ඉන්නවා. මීට මාස එක හමාරකට විතර කලින් ගොවි ජාතික සමුළුවේ නියෝජිතයෝ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර හමුවෙලා කරපු සාකච්ජාවේදී කිව්වා අපි මාධ්‍යවලින් දැක්කා මෙවර යල කන්නයේ වී අස්වැන්න මිලදී ගන්න රජය සල්ලි වෙන් නොකළොත් ගොවියා කබලෙන් ලිපට වැටෙනවා කියලා. එදා ඇමතිවරයා පොරොන්දු වුණා සල්ලි වෙන්කරනවා කියලා. නමුත් දැන් කියනවා සල්ලි නෑ කියලා. මේ මොහොත වෙනකොට සහල් මාෆියාව නැවත හිස ඔසවමින් ඉන්නවා. මෝල් හිමියන්, පෞද්ගලික වෙළෙඳුන් ගොවියාගේ වී ටික තුට්ටු දෙකට මිලදී ගනිමින් ඉන්නවා. මෙවැනි තත්ත්වයක් තුළ ගොවීන්ගේ වී මිලදී ගැනීමට ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නෑ. එම නිසා අපට අද සිදුව තිබෙනවා ඒ තක්කඩි ක‍්‍රියාවලියට එරෙහිවීම සඳහා කටයුතු කිරීමට.”
කරුණාරත්න ගමගේ