2022 සැප්තැම්බර් 25 වන ඉරිදා

අහස සූරන නෙළුම් කුලුන

 2022 සැප්තැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 08:00 217

දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුලුන ලෙසින් හැඳින්වෙන නෙළුම් කුලුන පසුගියදා (15) සිට ජනතාවට විවෘත වුණි. ඒ සමඟම මෙය නැරඹීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොළඹ නගරයට ජනතාව පැමිණෙන බව වාර්තා විය. මේ අනුව සෑම සතියේ දිනකම දහවල් දොළහේ සිට රාත්‍රී නවය දක්වාත් සති අන්ත දිනයන්හිදී උදෑසන දහයේ සිට රාත්‍රී නවය දක්වාත් මෙය නැරඹීමේ අවස්ථාව ලබා දී තිබේ. බොහෝ දිනවලදී නියමිත වේලාවටත් පෙර සිටම ජනතාව දිගු පෝලිම්වල රුඳී සිටින බැවින් එවන් දිනවලදී දහවල් දොළහට පෙරද ජනතාවට නැරඹීමට අවස්ථාව ලබා දුන් බව කොළඹ නෙළුම් කුලුන පෞද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

මෙම කුලුන ජනතාවට නැරඹීමට අවස්ථාව ලබාදුන් මුල් දිනයේදී එහි ප්‍රවේශපත්වල මිල ගණන් සටහන් වූයේ රුපියල් දෙදහස සහ රුපියල් පන්සීයකි. විදේශිකයන් ඩොලර් විස්සක ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතු විය. නමුත් මේ වනවිට රුපියල් දෙදහසේ ටිකට්පත ලබා නොදෙන අතර දේශීය වැඩිහිටියකු සඳහා රුපියල් පන්සීයක් සහ ළමුන් සඳහා රුපියල් දෙසීයක ප්‍රවේශ පත්‍ර ගාස්තු ලෙස අයකෙරේ.

"රුපියල් දෙදහසේ ප්‍රවේශපත්‍රයක් මේ වෙද්දී අලෙවි කරන්නේ නැහැ. ඒ මුදලකට ටිකට්පතක් ලබා දුන්නොත් ඔවුන් වෙනුවෙන් විශාල පහසුකමක් අපි සපයන්න ඕනේ. රුපියල් දෙදහසේ ටිකට් පත වෙනුවෙන් අපි සූදානම් කර තිබුණේ එම ටිකට් පත් ලබාගත් අයට පෝලිමේ නොසිට ඔවුන් වෙනුවෙන්ම වෙන්වුණ විදුලි සෝපානයෙන් මගීන් ඉහළට රැගෙන යාමටයි. නමුත් මේ වෙද්දී අපි බලාපොරොත්තු නොවුණ අන්දමට ජනතාව දිනපතා නෙළුම් කුලුන නැරඹීමට පැමිණෙනවා. පැය ගණනාවක් පෝලිමේ හිඳ රුපියල් පන්සීයක ටිකට් පතක් ගෙන ඉහළට යන්න බැරිවෙද්දී පෝලිමේ නොසිට තවත් කොටසක් රුපියල් දෙදහසක් වියදම් කොට පැමිණි විගසම ඉහළට යාමෙන් ජනතාවට වෙන්නේ අසාධාරණයක්. මාර්ගගත (Online) ක්‍රමයෙන් වෙන්කර ගැනීමේ ක්‍රමයක් සාදන තුරු රුපියල් දෙදහසේ ටිකට් පත නිකුත් කරන්නේ නැහැ." යැයි ප්‍රධාන පරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ වැඩිදුරටත් දේශයට පැවසීය.

නෙළුම් කුලුන ජනතාවට විවෘත වී දින අටක් ඇතුළත එය නැරඹීම සඳහා 45,300කට අධික පිරිසක් පැමිණ තිබුණි. ඒ කාලසීමාවේදී එහි ආදායම මිලියන විසි එකකට ආසන්න මුදලක් ලෙස සටහන් විය.

නෙළුම් කුලුන නැරඹීමට යාම සඳහා විදුලි සෝපාන හයක් පවතින අතර එයින් විදුලි සෝපාන තුනක් ලංකාවේ තිබෙන වේගවත්ම විදුලි සෝපානයි. ඒවා ජපාන තාක්ෂණය යටතේ නිර්මාණය වූවකි. 

සෑම දිනකම උදෑසන සිට නෙළුම් කුලුන නැරඹීම සඳහා විශාල ජන සංඛ්‍යාවක් එය ඉදිරිපිට පෙළගැසී සිටිති. මේ නිසාම නියමිත වේලාවට පෙර මෙම ජනතාව කොටස් වශයෙන් නෙළුම් කුලුනට රැගෙන යාම සිදුවේ. ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් අදාළ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමෙන් අනතුරුව විදුලි සෝපාන මගින් ජනතාව ඉහළට රුගෙන යාම සිදුවේ. පළමුව ඔවුන් රැගෙන යනු ලබන්නේ විසි නවවැනි මහලටය. ඉතා වේගයෙන් ඉහළ යන විදුලි සෝපානයෙන් ගමන් කිරීමත් එක්තරා සුවිශේෂී අත්දැකීමකි.

නෙළුම් කුලුනේ උස මීටර් තුන්සිය පනස් හයකි. එයින් විසිනව වැනි මහල පිහිටා ඇත්තේ උසින් මීටර් 244 මට්ටමේය. ඒ අනුව ඉතා වේගයෙන් ජනතාවට සෝපානය මගින් මීටර් 244ක් ඉහළට යාමට හැකිය. එය තත්ත්පර 49ක ගමනකි. විදුලි සෝපානය මගින් ඉහළට යන ජනතාවට මුළු කොළඹ නගරය මෙන්ම ඉතා විශාල අවකාශයක් දැකබලා ගැනීමට අවස්ථාව සැලසේ. බොහෝ ජනතාව මෙම කොටසේදී තම ජංගම දුරකථන මගින් ඡායාරෑප සිහිවටන ලබාගන්නට අමතක කරන්නේ නැත. විනාඩි විස්සක කාලයක් ජනතාව මෙම කොටසේ රැඳී සිටීමට ඉඩ පහසුකම් ලබා දී තිබේ. එහිදී විවෘත කොටසින් එහාට දෑතේ රඳවාගෙන ජංගම දුරකථනයෙන් ඡායාරූප ගැනීමේදී ජංගම දුරකථනය කෙරේ වැඩි අවධානයක් යොමුකළ යුත්තේ විවෘත කොටස ආවරණය කර ඇති රුහැන්පටවල වැදී ජංගම දුරකථනය බිමට වැටීමේ‍ අවදානමක් පවතින බැවිනි.

විනාඩි විස්සකට පසුව ඔවුන්ට යාමට අවස්ථාව උදාවන්නේ විසි හත්වැනි මහලටය. එය මීටර් 240ක් උසින් පිහිටා ඇත. එය කැරකෙන අවන්හලකි. මේ වෙද්දී එය අවන්හලක් ලෙසින් විවෘත නොතිබුණද එම කොටසටද ගොස් නැරඹීමට මෙන්ම ඡායාරූප ගැනීමටද ජනතාවට අවස්ථාව සලසා දී ඇත. එම අවන්හලේ එක් කොටසක් කැරකෙන ලෙසින් නිර්මාණය කර ඇති අතර නොබෝ කලකින් අවන්හල විවෘත කිරීමෙන් පසුව කැරකැවෙන අවන්හලේ අපූරු අත්දැකීම විඳ ගැනීමට අවස්ථාව ඇත. අද වනවිට එය නැරඹීමේ හැකියාව උදා වී ඇත.

"මෙම අවන්හල ඉදිරියේදී යම් ආයෝජන සමාගමකට ලබාදුන්නායින් පසුව සෑම ජනතාවකටම එය නැරඹීමේ අවස්ථාව උදාවන්නේ නැහැ. ඒ නිසයි එය නැරඹීමේ අවස්ථාව මේ වෙද්දී අපි ජනතාවට ලබා දුන්නේ. මේ වෙද්දී එම අවන්හල වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීමේ අවසන් දින තව සති තුනකට දීර්ඝ කරලයි තියෙන්නේ. මේ සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයන් කිහිප දෙනෙක්ම ටෙන්ඩර් ඉදිරිපත් කරලයි තියෙන්නේ. ඒ නිසා බොහෝ විට දෙසැම්බර් මාසයේදී පමණ කැරකෙන අවන්හල විවෘත කරන්නට හැකියාව ලැබේවි." යැයි විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

නෙළුම් කුලුනේ ඉදිකිරීම් 2012 වසරේදී ආරම්භ වූ අතර 2022 පෙබරවාරි මස මෙම ඉදිකිරීම් අවසන් කරමින් ලංකා රජයට බාරදීම සිදුවිය. ඉදිරියේදී නෙළුම් කුලුනේ බිම් මහලේදී අවන්හල් සහ සුඛෝපභෝගී වෙළෙඳසල් ඇතුළු වාණිජ බැංකු කිහිපයක්ද විවෘත කිරීමට සූදානම්ව පවතී. එමෙන්ම කාර්යාල සහ සමාගම්, කුලී පදනම් මත පවත්වාගෙන යාමට ඉඩ පහසුකම් සහිතය. ඩිජිටල් සිනමා ශාලාවක්ද විවෘත කිරීමට නියමිතය. නෙළුම් කුලුන නැරඹීමට ජනතාවගේ විශාල උනන්දුවක් තිබෙන අතර සී.සී.ටී.වී. කැමරා සහ ආරක්ෂක නිලධාරීන් මගින් ඔවුන් පිළිබඳව නිතර සෝදිසියෙන් සිටින අතර මෙය විනාශ නොකොට ආරක්ෂා කර ගැනීමේ අයිතිය ඇත්තේ ජනතාවටය. කිසිදු අයුරකින් ප්‍රවේශ පත්‍රයක් නොගෙන නෙළුම් කුලුන නැරඹීමේ අවස්ථාව උදාවන්නේ නැත.

පාසල් දරුවන්ට පාසල් මගින් නෙළුම් කුලුන නැරඹීම සඳහා අවස්ථාව උදා කර දී ඇති අතර 074 2012354 දුරකතන අංකය ඔස්සේ වේලාව වෙන්කර ගැනීමේ හැකියාව පවතී.

I දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ