2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා

ඇමැති - සභාපති හැප්පෙන බාල බොරතෙල් හා ගල් අඟුරු අලකලංචිය

 2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 84

පසුගිය දිනවල පැයකට සීමාවී තිබූ විදුලිය කප්පාදුව මේ වන විට පැය 2 විනාඩි 20ක් දක්වා වැඩි කරන්නට විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ. තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන නොමැතිකම මත එම තත්ත්වය උද්ගතව ඇතැයි අසන්නට ලැබිණි. විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පසුගිය 26දා ට්විටර් පණිවිඩයක් මගින් ප්‍රකාශ කර තිබුණේ විදුලිය උත්පාදනය සඳහා ප්‍රමාණවත් දැවිතෙල් සහ ඩීසල් ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බවටය. විදුලිබල මණ්ඩලය තම උත්පාදන වියදම් අවම කර ගැනීම සඳහා ඩීසල් සහ දැවිතෙල් භාවිතයෙන් සිදුකරන විදුලිය උත්පාදනය අවම කර ඇතැයිද ඔහු සඳහන් කර තිබේ. එහෙත් වාර්තා වන අන්දමට මේ වන විට මෙගාවොට් 115ක් නිපදවන කැලණිතිස්ස බලාගාරය සහ මෙගාවොට් 172ක් නිපදවන කැලණිතිස්ස සොජිට්ස් බලාගාරයට අවශ්‍ය ඩීසල් අවසන් වී ඇති අතර මෙගාවොට් 165ක් නිපදවන කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය සඳහා අවශ්‍ය නැප්තාද අවසන්ව තිබේ.. කෙරවලපිටිය වෙස්ට් කෝස්ට් බලාගාරය  සතු ඉන්ධන සංචිතද ඉතාම අවම බවද, ඒස් ඇඹිලිපිටිය හා මාතර බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට මුදල් නොමැති බවද අනාවරණ වේ. මේ වන විට සියලු ජල විදුලි බලගාර උපරිම අයුරින් භාවිතයට ගන්නා අතර සමස්ත විදුලි අවශ්‍යතාවෙන් 70%ක් පමණ ලබාගන්නේ ජල විදුලියෙනි. 

ලංකාවට ආනයනය කර ඇති බොරතෙල් ප්‍රමිතියෙන් තොර වීම නිසා තෙල් පිරිපහදුවෙන් ලැබෙන දැවිතෙල් විදුලි ජනනයට යොදාගත නොහැකි වී ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ පසුගියදාය. ආනයනය කර ඇති බොරතෙල්වල ‘සල්ෆ’ ප්‍රතිශතය අධික හෙයින් ඒවා ප්‍රමිතියෙන් තොර බව කී රත්නායක මහතා ඒමගින් පරිසර දූෂණයක් සිදුවන බවද සඳහන් කළේය. සාමාන්‍යයෙන් බොරතෙල්වල ‘සල්ෆ’ ප්‍රතිශතය 2% ක් පමණක් තිබිය යුතු වුවද තෙල් පිරිපහදුවෙන් ලැබෙන දැවිතෙල්වල ‘සල්ෆ’ ප්‍රතිශතය 3% ක් පමණ වීම නිසා විදුලි ජනනයට යොදාගත නොහැකි බව ද සඳහන් කර තිබේ.. මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වයත් සමඟ විදුලි ඉල්ලුම ඒකක මිලියන 38 සිට ඒකක මිලියන 43 ක් දක්වා ඉහළ යෑම ද විදුලි කප්පාදුව ඉහළ යෑමට හේතු වී ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.

මෙම ප්‍රකාශය හේතුවෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා හා බලශක්ති ඇමැතිවරයා අතර කිසියම් මතභේදයක් මේ වන විට නිර්මාණය වී ඇති බවක් පෙනෙන්නට තිබේ. බොරතෙල් ප්‍රමිතියෙන් තොර බවට කළ චෝදනා සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ ඒ අනුවය.. ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තරම් ඉන්ධන පවතින අතර විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට ඉල්ලා ඇත්තේ ලක්ෂපාන බලාගාරයේ බිඳවැටීම හා ඩීසල් සහ දැවිතෙල් කළමනාකරණය සඳහා ප්‍රමාණවත් අරමුදල් නොමැති නිසා බවද ඔහු සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ වැරදි බොරතෙල් ආනයනය කොට ඒයින් නිපදවන දැවිතෙල් විදුලිබලාගාර සඳහා භාවිතයට ගැනීමට නොහැකි යැයි තමන් කළ චෝදනාව තවමත් වලංගු බවයි.   මෙම චෝදනාව තමන් පමණක් නොව වෘත්තිය සමිති සහ මේ සම්බන්ධයෙන් අවබෝධයක් ඇති පුද්ගලයන් පවා ප්‍රකාශ කර ඇතැයිද, ඇමැතිවරයා සොයා බැලිය යුත්තේ මෙම ප්‍රකාශයේ හරි වැරැද්ද නොව  මෙම ගැටලුව නිර්මාණය වූයේ කෙසේදැයි යන්න බවද ඒකිනෙකාට චෝදනා නොකර ගැටලුවට පිළියම් සෙවීමට පියවර ගත යුතු බවද ඔහු ප්‍රකාශ කළේය. ඒමෙන්ම මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඇමැතිවරයා නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නම්  ඒ සම්බන්ධයෙන් තමන් සතුටු බවත් මෙම බාල බොරතෙල් ගෙන ආවේ කොහෙන්ද, ඒවායේ මිල, සංයුතිය සහ ලැබෙන නිෂ්පාදනය පිළිබඳ සත්‍ය තත්ත්වය නීතිමය ක්‍රියාමාර්ගය තුළින් මහජනතාව දැනගැනීමට හැකිවන බවත් ඔහු සඳහන් කළේය..

මෙතෙක් ඛනිජ තෙල් සංස්ථාව රුපියල් 320ට විදුලිබල මණ්ඩලයට ලබා දුන් දැවිතෙල් ලීටරයක මිල පසුගිය 15දා සිට රුපියල් 385ක් දක්වා වැඩි කර ඇතැයි දැනගන්නට තිබේ.. මෙලෙස වැඩි කිරීමට හේතු වී ඇත්තේ ප්‍රමිතියෙන් තොර බොරතෙල් ආනයනය කිරීම මත දැවිතෙල් නිෂ්පාදන වියදම වැඩිවීම නිසා යැයි සපුගස්කන්ද පිරිපහදුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි..  සපුගස්කන්ද පිරිපහදුවට නොගැලපෙන ඌරල් නමැති බොරතෙල් වර්ගය ආනයනය කිරීම හේතුවෙන් අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් එහි සල්ෆර් ප්‍රමාණය අධික බැවින් එය අවම කිරීම සඳහා මිල අධික සුපර් ඩීසල් දැවිතෙල්වලට මිශ්‍ර කිරීමට සිදුවී ඇති බවත් පෙන්වා දෙන අභ්‍යන්තර ආරංචිමාර්ග. ඊට අමතරව භූමිතෙල්ද මිශ්‍ර කිරීමට සිදුවී ඇතැයිද සඳහන් කරයි. මේ තත්ත්වය මත බොහෝ කර්මාන්ත ශාලා දැවි තෙල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක්ද මතු ඇතැයි පැවසේ. කෙසේ වුවද මහජන උපයෝගිතා කොමිසම ඛනිජ තෙල් සංස්ථාවට දන්වා ඇත්තේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහත වැටී ඇති පසුබිමක් තුළ පැරණි මිලටම විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීමේ හැකියාව ඛනිජ තෙල් සංස්ථාවට ඇති බවයි.

සපුගස්කන්ද පිරිපහදුවේ මේ වන විට නිපදවන්නේ දැවිතෙල් පමණක් යැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක  ආනන්ද පාලිත මහතා සඳහන් කරයි. ''පිරිපහදුවට ඉන්ධන ගෙන්වන කමිටුව ඌරල් නමැති බොරතෙල් වර්ගය මෙරටට නොගෙන්වන ලෙසට අවවාද කළා. එම බොරතෙල් මගින් නිෂ්පාදනය පහත වැටෙන අතර එය පිරිපහදුවට අහිතකර බව පෙන්වා දුන් ඔවුන් අනුමත කළේ. මර්බන් නමැති බොරතෙල් පමණයි. මේ වන විට සපුගස්කන්ද පිරිපහදුව මගින්  62%ක් නිපදවන්නේ දැවිතෙල්. පමණයි. සපුගස්කන්ද පිරිපහදුවේ ටැංකි 6ක් තුළ ලීටර් ලක්ෂ 90කට වැඩි ප්‍රමාණයක ඔක්ටේන් 80 පෙට්‍රල් තිබෙනවා. මේ තත්ත්වය ඇතිවූයේ ආණ්ඩුවේ දූෂිත බොරතෙල් ගෙන්වීමේ ක්‍රියාවලිය මත කොමිස් ජාවාරමට පිරිපහදුව වහල  බාල බොරතෙල් ගෙනත්  නිෂ්පාදනය ආරම්භ කරන්න කටයුතු කිරීම නිසයි.  මේ නිසා මෙම  ඉන්ධන පිටතට යන එක වළක්වා ඒවා සීල් තබා ස්වාධීන පරීක්ෂණයක් සිදු කළ යුතුයි.  පිරිපහදුවේ නිපදවන දැවිතෙල්වල සල්ෆ අගය වැඩිවෙලා කර්මාන්තශාලා  ඒවා ප්‍රතික්ෂේප කරනවා. රටට අවශ්‍ය ඩීසල්, පෙට්‍රල්, නැප්තා, එල්පීජී ගෑස්, ගුවන් යානා ඉන්ධන, භූමිතෙල් කිසිවක් පිරිපහදුව මගින් නිපදවන්නේ නැහැ. දැන් මේ දැවිතෙල් විකුණාගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා. කොමිස් ජාවාරමට යටවෙලා බාල බොරතෙල් ගෙනත්  රටේ ආර්ථිකයට විශාල පාඩුවක් මේ අය සිදුකරනවා. මේ අතර බලධාරීන් විදුලිබල මණ්ඩලය පැත්තෙන් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා. ඔවුන් ගල් අඟුරු එන්නේ නැති කතාවක්. කියනවා. ඔවුන්ගේ අරමුණ මේ විකුණගන්න බැරිව තිබෙන දැවිතෙල් ටික වැඩිගාණට විදුලිබල මණ්ඩලයට ලබා දෙන්නයි.''

මේ වන විට නැව් දෙකකින් මෙම බාල බොරතෙල් ගෙන්වා ඇති බව පවසන ආනන්ද පාලිත මහතා. මෙම බාල  බොරතෙල්වලට කලින් ගෙන්වා තිබූ මර්බන් බොරතෙල් මිශ්‍ර කොට යම් ප්‍රමාණයක නිෂ්පාදනයක් සිදු කරන බව පවසයි.. '' කැලණිතිස්ස බලාගාරයට  අවශ්‍ය නැප්තා 6%ක්වත් පිරිපහදුවේ හැදෙන්නේ නැහැ. අනෙකුත් සියලු ඉන්ධන නිපදවන්නේ  12% වඩා අඩුවෙන්.මේ වන විට තවත් ඌරල් බොරතෙල් නෞකාවක් මුහුදේ නැංගුරම් ලා .තියෙනවා.'' යනුවෙන් සඳහන් කරයි. 
ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට තවත් අර්බුදයකට මුහුණ පා සිටී. ඒ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු සංචිත නොමැති වීමයි. මේ වන විට ලක්විජය බලාගාරය සතුව ඇත්තේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 260,000ක ප්‍රමාණයක් බව වාර්තා වේ.. 

ගල් අඟුරු නියමිත වෙලාවට ගෙන්වා නොගතහොත් විශාල අර්බුදයකට මුහුණ පෑමට සිදුවන බවට විවිධ පාර්ශ්ව විසින් අනතුරු ඇඟවූයේ මාස ගණනක සිටය.  එහෙත් අවශ්‍ය පරිදි ඇණවුම් කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වූයේ රටේ පවතින ඩොලර් හිඟය හේතුවෙනි කෙසේ නමුදු  නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා ගල්අඟුරු මිලදී ගැනීමට ටෙන්ඩර කැඳවන ලද අතර ඒ අනුව එම ටෙන්ඩරය හිමිවූයේ ඩුබායිහි බ්ලැක් සෑන්ඩ් නමැති ආයතනයටය.  එය ඔවුන් වෙත පසුගිය අගෝස්තු 25 වැනිදා ප්‍රදානය කෙරිණි. මෙම ටෙන්ඩරය පිරිනැමීමේදී ටෙන්ඩර් ක්‍රියාවලිය උල්ලංඝණය වී ඇති බවත් එමගින්  මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව පවසමින් ඕමල්පේ සෝභිත හිමියන් විසින් සැප්තැම්බර් 7 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණි.. ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම ඔක්තෝබර් මස 25 දින සලකා බැලීමට තීරණය කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය වෙත  පෙත්සමක් ඉදිරිපත්වීම හේතුවෙන් ගල්අඟුරු සැපයීමෙන් පසු තම සමාගමට මුදල් ලබාගැනීමේ අවදානමක් පවතින හෙයින් තමන් ටෙන්ඩරයෙන් ඉවත් වන බවට බ්ලැක් සෑන්ඩ් සමාගම බලශක්ති අමාත්‍යංශයට දැනුම් දුන්නේය. 

මේ සම්බන්ධයෙන් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ''මෙවර ලද ටෙන්ඩරය පසුගිය වසරේ ගල්අඟුරු ලබාගත් මිලට වඩා අඩු මිලකට ලැබී තිබුණා කිසියම් පිරිසක් ගල් අඟුරු නියමිත අවස්ථාවේ ලබාගැනීමට ඇති හැකියාව නැති කර ඒ තුළින් විදුලිය කප්පාදුව දිගු කිරීම සඳහා කිසියම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පෙනෙන්ට තිබෙනවා. හදිසි ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා ජනතාව පීඩාවට පත් නොවන ආකාරයට මිලදී ගැනීම් සිදු කිරීමට තීරණ ගැනීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට පියවර ගන්නවා'' යනුවෙනි.

දැනට පවතින ගල් අඟුරු ප්‍රමාණය ඔක්තෝබර් මාසය වන තෙක් පමණක් ප්‍රමාණවත් බවත්, ඔක්තෝබර් 28 වැනිදායින් පසු දිනකට පැය 8ත් 10ත් අතර ප්‍රමාණයකින් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවත් මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේය. එහි සභාපති ජනක  රත්නායක මහතා ප්‍රකාශ කළේ කඩිනමින් ගල් අඟුරු නොලැබුණහොත් ඔක්තෝබර් 28න් පසු බලාගාර තුනම වසා දැමීමට සිදුවන බවයි. ටෙන්ඩරය ලබාගත් සමාගම නීතිමය කටයුත්තක් ඇති බැවින් ඒම ටෙන්ඩරයෙන් ඉවත්වීම මත එම ටෙන්ඩරය අවලංගු කළ බවත්, දීර්ඝ කාලීන ණය පහසුකම් යටතේ ගල්අඟුරු සැපයිය හැකි සැපයුම්කරුවකු තෝරා ගැනීම සඳහා ලංකා ගල් අඟුරු සමාගම නව තරගකාරි ගල්අඟුරු ටෙන්ඩරයක් විවෘත කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව ජාත්‍යන්තර විවෘත ටෙන්ඩරයක් සහ ක්ෂණික ටෙන්ඩරයක් කැඳවීමට පියවර ගෙන තිබේ. ටෙන්ඩරය කැඳවීමෙන් පසු සතියක් තුළ ටෙන්ඩරය ප්‍රදානය කෙරෙන අතර ගල් අඟුරු ආනයනය සඳහා දින 60ත් 80ත් අතර කාලයක් ගතවන බව පැවසේ. තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ තම අමාත්‍යංශයේ ඉල්ලීම මත අගෝස්තු මස 25දා ප්‍රදානය කළ ගල් අඟුරු ටෙන්ඩරය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය පියවර ගත් අතර කඩිනම් ගල්අඟුරු අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරේ ලබාදුන් ටෙන්ඩරයෙන් ලබා නොගත්  ගල්අඟුරු නැව් 19 ක් සඳහා මුදල් ගෙවීමට පියවර ගන්නා බවයි.

විදුලි තාක්ෂණික හා ඉංජිනේරු අධිකාරි සංගමයේ ලේකම් ඒ.ජී.යූ නිශාන්ත මහතා සඳහන් කරන පරිදි පසුගිය සැප්තැම්බර් 02 වන විට මෙරට විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 43.45කි.  මෙම ඉල්ලුමෙන් 29.9%ක් සපුරා ඇත්තේ නොරොච්චෝලේ ලක්විජය බලගාරය මගිනි. ''යම් හෙයකින් අවශ්‍යතාවට සරිලන ගල්අඟුරු නොමැති වුවහොත් එය සමස්ත පද්ධතියටම විශාල ලෙස බලපානවා දූෂිත දේශපාලකයන්, කූඨ ව්‍යාපාරිකයන්  සහ අවස්ථාවාදී වෘත්තිකයන්ගෙන් සැදුම්ලත්  මාෆියාවක් ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වී සිටීම නිසා මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. යම් හෙයකින් ගල් අඟුරු නොමැතිකමින් නොරොච්චෝලේ ලක්විජය බලාගාරය අකර්මණ්‍ය වුවහොත් එයට විකල්ප ලෙස විදුලිය සැපයීමට කැලණිතිස්ස බලාගාරයට හැකියාවක් තිබේද යන ගැටලුව පවතිනවා.'' යනුවෙන් සඳහන් කරයි. 

අමාත්‍යවරයා මුදල් ගෙවීමට කටයුතු කරන බව පැවසූ  නැව් 19 මෙරටට ගෙන්වා ගැනීමට නියමිත වූයේ ලබන දෙසැම්බරයේ සිට වුවද පවතින තත්ත්වය මත එම නැව් කලින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යධිකාරි නාමල් හේවගේ මහතා සඳහන් කරයි මේ වන විට කැබිනට් අනුමැතිය යටතේ නැව් පහක් කලින් ගෙන එන බවද පසුගිය වසරේ ටෙන්ඩර් මගින් ඇණවුම් ලබා දුන් නැව් 19 සහ ක්ෂණික ටෙන්ඩරයක් මගින් තවත් නැව් 6කුත් මෙරටට ලැබීමට නියමිත බවද සාමාන්‍යාධිකාරිවරයා  සඳහන් කරයි. දැනට ඇති ගල්අඟුරු ප්‍රමාණවත් වන්නේ ඔක්තෝබර් 20 දා දක්වා පමණක් වන අතර, අලුත් ටෙන්ඩරයද කඩාකල්පල් වුවහොත් කවුරුන් හෝ ගෙනත් දෙන ඕනෑම මිලකට ගල් අඟුරු ලබා ගැනීමට සිදුවන බව පවසන සාමාන්‍යාධිකාරිවරයා  ජාත්‍යන්තරයේ සිටින ඕනෑම ගල් අඟුරු සැපයුම්කරුවකුට මෙම ටෙන්ඩර සඳහා සහභාගි විය හැකි වන ලෙසට විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා විවෘත ටෙන්ඩරයක් කැඳවීමට  කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇති බවද සඳහන් කරයි. ;ගල් අඟුරු අවසන් වීමට ප්‍රථම ඒවා ආනයනය කළ යුතු බවත්. මුහුදේ ඇතිවන රළු ස්වභාවය මත ගල් අඟුරු මෙරටට ගෙනඒමට ඇත්තේ දින 180ක පමණ කාලයක් බවත් සාමාන්‍යාධිකාරි වරයා පවසයි.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04