2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා

කොළඹ නගරය ඇතුළේ සූර්ය බල බෝට්ටු සේවය

 2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 71

කොළඹ නගරයේ දෛනිකව පවතින රථවාහන තදබදයට පිළියමක් ලෙසින් දියත උයනේ සිට වැල්ලවත්ත දක්වා සම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මගී බෝට්ටු සේවයක් පසුගියදා ආරම්භ විය. එය ලබන සතියේ සිට ක්‍රියාත්මක වෙයි. ලංකාවේ එලෙස සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මගී බෝට්ටු සේවයක් ආරම්භ කළ ප්‍රථම අවස්ථාව මෙය වේ. මීට පෙර ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක වන මගී බෝට්ටු සේවයක් දියත උයන සිට වැල්ලවත්ත දක්වා ආරම්භ වුවද කොරෝනා මෙන්ම විවිධ හේතු කාරණා හේතුවෙන් එම සේවය තාවකාලිකව නවතා දමා තිබුණි. කෙසේ වුවද ඉන්ධන වැයවීමකින් තොරව සම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෙම මගී බෝට්ටු සේවය රථවාහන තදබදයට මෙන්ම ඉන්ධන ගැටලුවට ද විසඳුමක් විය හැකි බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

උදෑසන පාසල් හා රාජකාරි ආයතන සඳහා ගමන් කරන ජනතාව හේතුවෙන් කොළඹ නගරයේ විශාල රථවාහන තදබදයක් පවතී. නැවතත් මෙම තදබදය ඇතිවන්නේ පාසල් අවසන් කාලයේ හා රාජකාරි කටයුතු අවසන් වන සවස් කාලයේදීය. මේ වේලාවලදී ජනතාව බොහෝ කාලයක් ගත කරන්නේ මාර්ගයේය. මෙයට විසඳුමක් ලෙස ඇරඹුණු මෙම මගී බෝට්ටු සේවය මගින් බත්තරමුල්ලේ සිට වැල්ලවත්ත දක්වා වූ ගමන විනාඩි තිහක කාලයකින් අවසන් කළ හැකි බව සඳහන් වේ. එය කාලය ඉතිරි කර ගැනීමට කදිම විසඳුමකි.

සියයට සියයක්ම සූර්ය පැනල මගින් බලගැන්වෙන මෙම බෝට්ටු සේවය පරිසර හිතකාමී මෙන්ම වඩාත් කාර්යක්ෂම ව්‍යාපෘතියක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සඳහන් කරයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව Genso Power Technology පෞද්ගලික සමාගම සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේය.

''එම පෞද්ගලික ආයතනය මේ ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණ වියදම දරමින් මෙය ආරම්භ කළා. සංචාරකයන්ට ආකර්ශනය වන වැඩපිළිවෙළක් ලෙස අපි මෙය හඳුන්වනවා. මෙම වැඩසටහනත් එක්ක රට පුරා සංචාරකයන් ආකර්ශනය වන ස්ථාන හඳුනාගෙන මෙම ව්‍යාපෘතිය එම ප්‍රදේශවලටද දියත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.'' යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

බත්තරමුල්ල දියත උයන සහ හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා ගමන් කරන මෙම බෝට්ටු සේවය මගින් විනාඩි තිහක් ඇතුළත ගමනාන්තය වෙත ළඟාවීමට හැකියාව පවතී. මෙහිදී බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා එක් මගියකුගෙන් රුපියල් දෙසීයක් ද, අග්ගොන, හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා එක් මගියකුගෙන් රුපියල් තුන්සීයක් ද අය කරනු ලබයි.

''මේක හොඳ ව්‍යාපෘතියක්. බත්තරමුල්ලේ ඉඳන් වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය දක්වා යන පාසල් දරුවන්ට වගේම රැකියාවට යන අපිටත් මේක හොඳ අවස්ථාවක්. හැබැයි මේ වගේම මගීන් බෝට්ටු සේවාවක් මීට අවුරුද්දකට පමණ පෙර ආරම්භ කළා. ඒක ඉන්ධනවලින් ධාවනය වන බෝට්ටු සේවාවක්. මාස කිහිපයකට පස්සේ ඒ සේවාව නතර වුණා. සූර්ය පැනලවලින් ඉදිරියේදී ක්‍රියාත්මක වන මේ මගී බෝට්ටු සේවාවත් ඒ විදිහට නතර නොවී දිගටම කරගෙන ගියොත් ඇත්තටම මේක ඉතා හොඳ ව්‍යාපෘතියක් වේවි.'' යැයි බම්බලපිටිය පෞද්ගලික ආයතනයක සේවය කරන නිමේෂ් මහතා දේශයට පැවසීය.

මෙලෙස ක්‍රියාත්මක වන මෙම බෝට්ටු සේවයේ එක් බෝට්ටුවක මගීන් අටදෙනකුට ගමන් කළ හැකිය. ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම ඒ අවට ඇති පාසල්වලට මෙන්ම නාවල විවෘත විශ්වවිද්‍යාලයට යන සිසු සිසුවියන්ට මෙම සේවාව මගින් අඩු කාලසීමාවකදී ඉතා පහසුවෙන් ළඟාවීමට හැකියාව උදාවනු ඇත.

සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන මෙම මගී බෝට්ටු සේවය ධාවනයේදී අධික ශබ්දයක් හට නොගනී. එමෙන්ම මෙය පරිසර හිතකාමී සේවාවකි. මෙයින් ජලයේ ජීවත්වන සතුන්ට ද හානියක් සිදු නොවන බව සඳහන් වේ. මේ වනවිට රට හමුවේ පවතින ඉන්ධන ගැටලුවට මෙය හොඳ විසඳුමක් බවත් පළමු අදියර යටතේ ආරම්භ කළ මෙම බෝට්ටු සේවයට අමතරව ඉදිරියේදී කොළඹ නගරයේ අභ්‍යන්තර ජල මාර්ගවලද මෙම සූර්ය පැනල මගී බෝට්ටු සේවය ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04