2022 ඔක්තෝබර් 02 වන ඉරිදා

බිත්තරේ මිල සූත්තරේ!

 2022 ඔක්තෝබර් 02 වන ඉරිදා, පෙ.ව. 08:00 133

සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයට අනුව අද දිනයේ සුදු බිත්තරයක විකිණුම් මිල රු.50කි. රතු බිත්තරයක විකිණුම් මිලද රු. 50කි. එම සංගමයේ මිල ලේඛන අනුව ඉකුත් වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සුදු බිත්තරයක මිල රු. 16.50කටත් සහ රතු බිත්තරයක මිල රු. 17.50කටත් වාර්තා විය. පසුගිය මාසයේ වෙළඳපලේ බිත්තරයක් රු. 60කට දක්වා ඉහළ ගොස් තිබුණි. මෙ‍සේ කෙටි කලකින් සිදු වූ මිල වෙනස හේතුවෙන් බිත්තර මිල පාලනය කිරීමට රජය කටයුතු කළේ රුපියල් 45ක පාලන මිලක් ගැසට් කරමිනි. නමුත් ඊට බිත්තර නිෂ්පාදකයන්ගේ දැඩි විරෝධයක් එල්ල වූ අතර බිත්තර නිෂ්පාදකයන් පෙන්වා දුන්නේ නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂව බිත්තර මිල තවත් ඉහළ දැමිය යුතු බවයි. ඒ අනුව බිත්තරයක් රුපියල් 50කට අලෙවි කිරීමට රජය අනුමැතිය දුන්නේය. කෙසේ නමුත් බිත්තර නිෂ්පාදකයන්ගේ ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමට විශේෂ සාකච්ඡාවක් බිත්තර නිෂ්පාදනය හා විකිණීම් ආශ්‍රිත සංගම් සමඟ පැවැත්වීමට රජයේ පාර්ශ්ව කිහිපයක් ඉකුත් සැප්තැම්බර් 27දා කටයුතු කළේ පාරිභෝගික අවශ්‍යතා සැලකිල්ලට ගනිමිනි.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ නිලධාරීන්, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු නිලධාරීන්, පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන්, ලෝක කුකුළු විද්‍යා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිතායතනයේ සභාපති, කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදනයන්ගේ සංගමයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර බිත්තර මිල නැවත සමාලෝචන පිළිබඳ දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා විය. සත්ව ආහාර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම පිළිබඳවත් මව් කිකිලියන් ආනයනය පිළිබඳවත් අවධාන‍ය යොමු වූ අතර බිත්තර සඳහා නිශ්චිත මිලක් තීරණය නොකර මිල නැවත සමාලෝචනය කිරීමටත් එකඟ වී ඇත.

එම සාකච්ඡාවෙන් අනතුරුව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර ප්‍රකාශ කළේ මෙවන් අදහසකි. 

“සාකච්ඡාවේදී පශු සම්පත් අමාත්‍යංශයේ නිලධාරීන් සහ දෙපාර්තුමේන්තු නිලධාරීන් මේ පිළිබඳව නැවත ගණනය කිරීමක් කරන බව ප්‍රකාශ කළා. ඒ අනුව අපි ඉල්ලීමක් කළා පාරිභෝගික අධිකාරියෙන්, නිෂ්පාදන වියදමට අනුව ගැසට් කරන ලද බිත්තර මිල සංශෝධනය කරල දෙන්න කියන එක. මොකද අපි නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යන්ඩ ඕන. රටේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. රටේ ඉල්ලුමට අනුව අපි බිත්තර ලබාදෙන්න ඕන. දැනට තියෙන නිෂ්පාදන වියදමට අපි බිත්තර නිපදවන්න බෑ. ඒ නිසා මේක නැවත ගණනය කිරීමක් කරලා සාධාරණ මිලක් ගොවීන්ට දෙන්ඩ. ගොවීන්ට සාධාරණ මිලක් අවොත් තමයි ගොවීන් නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදෙන්නේ. නැත්තම් ඉස්සරහට බිත්තර නිෂ්පාදනය නොකළොත් බිත්තර ලබාදීමට නොහැකි වනවා."

බිත්තර නිෂ්පාදකයන් විසින් නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇතැයි පැවසුවද සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුරසිරි කුමාරසිංහ කියා සිටින්නේ මේ වන විට නිෂ්පාදන මිල පහත ගොස් ඇති බැවින් බිත්තර මිල තවත් අඩුකළ හැකි බවයි. නමුත් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක අවධාරණය කළේ බිත්තර මිලේ අඩු කිරීමක් කිසිසේත් සිදුකළ නොහැකි බවයි. ඒ  වෙනුවට බිත්තරයක මිල තවත් රුපියල් හතරකින් හෝ පහකින් ඉහළ දැමිය යුතු බවයි. බිත්තර ගොවියාට තම කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් මෙලෙස බිත්තරයක මිල රුපියල් හතරකින් හෝ පහකින් ඉහළ දැමීමට බලධාරීන්ගෙන් ආයාචනා කරන බව ඔහු කියයි.

සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්‍රයට එල්ල වී ඇති අභියෝග පිළිබඳව මහනුවර සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේද සාකච්ඡාවක් පැවැති අතර එහිදී විශේෂ කරුණු කිහිපයකට අවධානය යොමු කෙරිණි. කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන අංශයෙන් පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත තත්ත්වයට ළඟා වී තිබුණත් ආර්ථික අර්බුදයත් සමඟ සත්ව ආහාර සඳහා යොදාගන්නා ද්‍රව්‍යවල සහ ඖෂධවල මිල ඉහළ යාම හේතුවෙන් සහ කුකුළු පාලනයට අවශ්‍ය මව්සතුන් වාර්ෂිකව ආනයනය කරන ප්‍රමාණය 80,000 සිට 10,000 දක්වා පහත වැටීමත් විශාල ලෙස බලපා ඇත. මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී බිත්තර මිල තවත් ඉහළ යා හැකි බවට විශේෂඥයෝ අනුමාන කරති. බිත්තරයක සිල්ලර මිල රු. 75ක් දක්වා ඉහළ යා හැකි යැයි ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහචාර්ය එච්.ඩබ්ලිව්. සිරිල් ඉකුත්දා සඳහන් කර තිබුණි.

එච්.ඩබ්ලිව්. සිරිල් මහතා පෙන්වා දෙන්නේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තොරතුරුවලට අනුව බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රු.48ක් වියදම් වන බවයි. එනිසා පාලන මිලට බිත්තර අලෙවි කිරීම ගැටලුවක් වී ඇත. වෙළෙඳසලේ බිත්තරයක් රු.48 කට අලෙවි කිරීමට නම් ගොවිපොළෙන් බිත්තරයක් රු.36 කටවත් ලබාදිය යුතු බවත්, නමුත් සත්ත්ව ආහාර, ජල, විදුලි, කම්කරු ගාස්තු ඉහළ ගොස් ඇති නිසා, ගොවිපොළේ බිත්තරයක නිෂ්පාදන වියදම පමණක් රු.48 දක්වා ඉහළ ගොස් ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය. මෙම තත්ත්වය මත බිත්තර දමන සතුන් පවා මස්වලට අලෙවි කිරීමට ඇතැම් කුකුළු ගොවිපොළ හිමියන් කටයුතු කරන බවද පෙන්වා දුන් සභාපතිවරයා බිත්තර කර්මාන්තය කඩාවැටීම තුළ වෙළෙඳපොළට ලැබෙන බිත්තර ප්‍රමාණය අඩුවන බැවින්, අනිවාර්යයෙන්ම බිත්තර මිල ඉහළ යන බව සිය අනුමානය බව ප්‍රකාශ කළේය.

ප්‍රවාහන වියදම වැඩිවීම, විදුලි මිල වැඩිවීම සහ කම්කරු වැටුප් වැඩි කිරීමට සිදුවීම බිත්තර කර්මාන්තයට බලපෑ හේතුන් වුවද බිත්තර ගොවීන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට බලපෑ ප්‍රධාන හේතුව සත්ත්ව ආහාර මිල තුන් ගුණයකින් ඉහළ යාමය. සත්ත්ව ආහාර නිෂ්පාදනයට යොදාගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය බඩඉරිඟු වුවද ඉකුත් වර්ෂයේ බඩඉරිඟු ආනායනය තහනම් කරනු ලැබිණි. එමෙන්ම රසායනික පොහොර ආනයනය අත්හිටුවීම නිසා දේශීය බඩඉරිඟු නිෂ්පාදනයද කඩා වැටුණි. එම නිසා සත්ත්ව ආහාර නිෂ්පාදනය අර්බුදයකට ලක් වූ අතර විකල්ප අමුද්‍රව්‍ය වශයෙන් සහල් යොදා ගැනීමේ හැකියාව තිබුණත් වෙළෙඳ අමාත්‍යංශයේ ගැසට් පතකින් සත්ත්ව ආහාර නිෂ්පාදනයට සහල් යොදාගැනීම තහනම් කරනු ලැබිණි. මෙකී හේතූන් හිඟ වූ ආහාර නිසා ගොවීන් වැඩි පිරිසක් කර්මාන්තයෙන් දුරස් වී ඇත. ඒ අනුව බිත්තර මිල පාලනය කිරීම සිදුකළ නොහැකි කරුණක් බව පැහැදිලිය.

සත්ත්ව නිෂ්පාදකයන් අතර පවතින ප්‍රචලිත මතයක් වන්නේ, සාධාරණ හේතූන් තමන් සතුව පැවැතිය ද ආණ්ඩුවක් සෑමවිටම කර්මාන්තයේ සිටින සීමිත ප්‍රමාණයකට වඩා බහුතර ජනතාවගේ පැත්ත ගනිමින් කර්මාන්තය විනාශ කර දමන තීන්දු තීරණ ගන්නා බවයි. රට මුහුණපාමින් තිබෙන ආර්ථික අර්බුදයට පෙර සත්ත්ව ආහාර නිෂ්පාදනය ස්වයංපෝෂිත තත්ත්වයකට ළඟා වී තිබුණි. ඉකුත් අප්‍රේල් මාසය වනවිට කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 21ක් හා බිත්තර නිෂ්පාදනය මිලියන 220ක මට්ටමක පැවැතුණි. ඉන් මාස දෙකකින් බිත්තර නිෂ්පාදනය මිලියන 164 දක්වාත් කුකුළු මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 18 දක්වාත් පහත වැටුණි. මේ වනවිට බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනය ඊටත් වඩා විශාල ප්‍රමාණයකින් පහත වැටී ඇත. මෙවැනි කඩා වැටීමක් තුළ එළඹෙන නත්තල් සමයේ බිත්තර ඉල්ලුමට සරිලන සැපයුමක් වෙළෙඳපලට ලබාදීමට බිත්තර ගොවීන්ට නොහැකි වනු ඇත.

I සටහන - සකීෆ් සාම්

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04