2022 ඔක්තෝබර් 02 වන ඉරිදා

බැංකු ණය පොලියෙන් හොඳ පණ යන බිස්නස්

 2022 ඔක්තෝබර් 02 වන ඉරිදා, පෙ.ව. 08:00 152

මේ කාලය සැමටම අමාරු කාලයකි. කඩ මුදලාලිලාගේ වචනයෙන් කිවහොත් වැලේ වැල් නැති මේ කාලයේ බැංකු ණයක් නොගත් වෙළෙඳ ව්‍යාපාරයක් සොයා ගැනීම නොමළ ගෙයකින් අබ මිටක් සෙවීම තරමටම අසීරු කාර්යයක් වන්නේය. සිය වෙළෙඳ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා වෙළෙඳුන් බැංකුවල සහාය පැතුවද මේ වනවිට පවතින අධික ණය පොලී අනුපාත හේතුවෙන් එය ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා හා සමානය. වෙළෙන්දකු බැංකුවකින් ණය මුදලක් ලබාගන්නේ පවතින අසීරු තත්ත්වයෙන් ගොඩයාමට වුවද එය වර්තමානයේ බැංකු පද්ධතියේ තිබෙන ක්‍රියාවලිය සමග කල්කදුරු තරමට එපා කරවන සුළුය. ස්වයං රැකියාවක නිරත වන පුද්ගලයකුට පහසුවෙන් ණයක් ගැනීමට තැනක් නැති තරම්ය. ව්‍යාපාර දිරිගැන්වීම් වෙනුවට ඇත්තේ ව්‍යාපාර එපා කරවීම්ය. මේ අතර ණයකරුවන්ගේ පොලිය දරාගත නොහැකි විදිහට වැඩිකර බැංකුවලින් තැන්පත්කරුවන්ට විශාල පොලියක් ගෙවන බවට ජනතාව චෝදනා කරති.

එසේම ඛනිජ තෙල් සංස්ථාව මගින් අත් පිට මුදලට ඉන්ධන ලබාදීමේදී බැංකුවලින් නිකුත් කරන අයිරා පහසුකම් සහ ණය සඳහා පොලී අනුපාත ඉහළ දැමීමෙන් පිරවුම්හල් පවත්වාගෙන යාමට නොහැකි වී ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය කියයි. බැංකු අයිරා සඳහා අයකරන පොලිය සියයට 34 ක් දක්වා ඉහළ දමා ඇති බවද මේ හේතුවෙන් පිරවුම්හල් පවත්වාගෙන යාම දුෂ්කර කාර්යයක් වී ඇතැයිද එම සංගමය පවසයි. නූල කැඩුණු සරුංගලයක් මෙන් ශීඝ්‍රයෙන් නියාමනයක් නොමැතිව ඉහළ යන පොලී අනුපාත හේතුවෙන් මෙරට සුළු පන්නයේ ව්‍යාපාර වැසී යන තත්ත්වයට පැමිණ තිබේ. ණය මෙන්ම ණය පොලියත් ජනතාවගේ හිස මත කඩාවැටී තිබේ. මේ සම්බන්ධයෙන් සුළු ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගෙන් අප කළ විමසීමේදී ඔවුන් පැවසූයේ පවතින දුෂ්කරතා මැද ව්‍යාපාර නවතා දැමීමට සිදුවන තරම් අපහසුතාවක් ඇති බවයි.

“මම කරන්නේ කඩදාසි නිෂ්පාදනාගාරයක්. අපි කෙසෙල්, මානා එසේත් නැතිනම් ඉලුක් ශාඛ පත්‍රවලින් කඩදාසි හදනවා. ඊට අමතරව ඉවත දමන කඩදාසි නැවත ප්‍රතිචක්‍රීකරණය කර කඩදාසි හදනවා. එසේ හදන කඩදාසි සංචාරකයන්ටත්, ආයතන මට්ටමිනුත්, බැංකුවලටත්, වෙළෙඳපොළටත් නිකුත් කරනවා. ව්‍යාපාරය අපි පුළුවන් විදිහට පාඩු විඳ දරාගෙන කාටවත් අත නොපා කරගෙන යනවා. බැංකුවලින් නම් සහාය ලබාගන්න කිහිප අවස්ථාවක උත්සාහ කළා. ඊටපස්සේ එම සහාය ඉල්ලා සිටීම නැවැත්තුවා. දැන් කාලේ බැංකු පොලියත් එක්ක ණයක් ගන්නේ කොහොමද? මේ බැංකු පොලිය දරාගන්න බෑ. පොඩි මුදලක් නම් පෞද්ගලික ඇප මත ලබාදුන්නත් ඊට වඩා යම් මුදලක් ගන්න ඇප ඉල්ලනවා. ඒ හේතු නිසායි බැංකුවලින් ණය ගන්න එපාවෙලා තියෙන්නේ."

එසේ පැවසූයේ පුත්තලම, කරුවලගස්වැව ප්‍රදේශයේ ‘නේචර්ස් පේපර්’ කඩදාසි නිෂ්පාදකයකු වන ගාමිණී ඇලෙක්සැන්ඩර් මහතායි. 

“මම කරන්නේ පොඩි කඩයක්. අද කාලේ පොඩි කඩයක් කරන්නත් ලෝන් නැතුව බැරිවෙලා තියෙනවා. කොරෝනා කාලේ ඉඳන්ම තවමත් හරියට බිස්නස් නෑ. අපිට කඩේට බඩු ගේන්න සල්ලිත් නෑ. මිනිසුන්ට බඩු ගන්න සල්ලිත් නෑ. හරි අමාරුවෙන් තමා රස්සාව කරලා දවසට කීයක් හරි හොයාගන්නේ. ලෝන් එකක් දාන්නත් බෑ මේ කාලේ පොලියත් එක්ක. ආයතනවලින් ණයට බඩු දුන්නත් ඒවා කවර් කරන්න ගියාම හිරවෙනවා. අපි ලෝන් එකක් ගන්න ගියාම බැංකුවල දහඅට නීති. රටේ නැති ප්‍රශ්න අහනවා. සල්ලි තියෙනවා නම් කවුරු වුණත් මෙහෙම දුක් විඳින්නේ නෑ.” අනුරාධපුරය ප්‍රදේශයේ සිල්ලර කඩ හිමියකු වන ආනන්ද සරත් මහතා එසේ කීය.

පොලී අනුපාත ඉහළ යාම සහ නියමිත ගෙවීම් කිරීමට නොහැකි වීමෙන් මිලියන 8 ඉක්මවූ ගනුදෙනුකරුවන් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ (CRIB) ලැයිස්තු ගත වී සිටිනවා යැයි  ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ 2021 වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි.

බැංකු ණය පොලිය සියයට 8.5 සිට 18 දක්වාත් ලීසිං අනුපාතය සියයට 12 සිට 34 දක්වාත් වැඩි වී තිබේ. ණය පොලී වැඩිවුවත් නිසි ආදායමක් නොමැති වීමෙන් ජනතාව අසීරුතාවට පත් වී සිටිති. මේ හේතුවෙන් ගනුදෙනුකරුවන් ලක්ෂ 25 කට වැඩි පිරිසක් බැංකු වාරික ගෙවාගත නොහැකිව සිටින බව ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා ඉකුත්දා අනාවරණය කළේය. 

“ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමය ආරම්භ කළේ මේ රටේ සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට වන අසාධාරණ හේතුවෙනුයි. බැංකු පද්ධතිය ගත්තත්, කල්බදු මූල්‍යකරණ පද්ධතිය ගත්තත් සාමාන්‍යයෙන් සියයට 10-12 ගත් ණය වාරිකවලට මේ වනවිට සියයට 32-34 පොලී අනුපාතද අය කරනවා. දිගින් දිගටම මේ ආකාරයට වැඩිවීමේදී අපි හිටපු මහබැංකු අධිපතිවරයා දැනුවත් කළත් ඔහු කිසිදු පිළිතුරක් මේ සම්බන්ධයෙන් ලබාදුන්නේ නෑ. අපි සංගමයක් විදිහට ඉකුත් ජූනි මස 9 වැනිදා තීරණයක් ගත්තා කිසිදු ලීසිං සමාගමකට හෝ බැංකුවකට සත පහක මුදලක් ගෙවන්නේ නෑ කියලා. එතකොට මේ රටේ ගනුදෙනුකරුවන් ලක්ෂ 25ක් පමණ ණය ගෙවීම අතහැර තිබුණා. ඉන්පසු මහබැංකුව 2022 අංක 1 චක්‍රලේඛය කල්බදු සමාගම්වලටත් 2022 අංක 2 චක්‍රලේඛය බැංකුවලටත් ලබාදෙමින් දැනුම් දුන්නේ ඒ ඒ කළමනාකරුවන්ගේ අභිමතය පරිදි සලකා බලන ලෙසයි. මහ බැංකුව මූල්‍ය ආයතනවලට සලකා බලන මෙන් ඉල්ලා චක්‍රලේඛ ඉදිරිපත් කරන්න ඕනෑ නෑ.

මහබැංකුවේ වගකීම විය යුතු වන්නේ තත් ප්‍රශ්නය නිසි ලෙස නියාමනය කරමින් මේ සඳහා නිසි විසඳුමක් හඳුන්වා දීම.

බලධාරීන් සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් දිහා බලා කටයුතු කරන්නේ නෑ. විදෙස් රටවල පවා කොවිඩ් සමයේ ව්‍යාපාරිකයන් කඩා වැටෙද්දී ඒ සඳහා නිසි ක්‍රමවේද මගින් විසඳුම් ලබාදුන්නා. සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයා කඩා වැටී සිටියදී කොහොමද මේ රටේ දළ දේශීය ආදායමට නිෂ්පාදන දායකත්වය ලබාදෙන්නේ. ඔවුන්ගේ ව්‍යාපාර සියල්ල කඩා වැටිලා. මිනිසුන් සියයට 70ක් අද වෙද්දී ණය ගෙවාගන්න බැරි තත්ත්වයකට පත්වෙලා ඉන්නවා. මහබැංකුව නිකුත් කළා චක්‍රලේඛයක් සියයට 5.5 සිට සියයට 11.5 වනතෙක් මොරටෝරියම්වලට පොලී අනුපාත අයකිරීමට. මෙහිදී සමහර කල්බදු ආයතන කළේ ඉහළම අගය වන 11.5ට පොලී අනුපාත අය කළා. මෙහිදීත් මෙරට අහිංසක ව්‍යාපාරිකයන්ගෙන් අසාධාරණ ලෙස පොලියක් අය කළා. මෙවැනි දෑ නියාමනයට වගකිව යුත්තන් අපේ රටේ නෑ. වැඩිහිටි ජනගහනයෙන් සියයට 70ක් මේ වනවිට ණය තොරතුරු කාර්යාංශයේ ලැයිස්තුවල සිටිනවා. අහිංසක ජනතාව මහපාරට වැටිලා.”

එසේ වැඩිදුරටත් කරුණු දැක්වූයේ  ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතාය. 

අප කළ විමසීමේදී පුත්තලම දිස්ත්‍රික්කයේ බිත්තර නිෂ්පාදකයකු පැවසූයේ ණය වාරික ගෙවාගැනීමට නොහැකිව තමන් දැඩි අසීරුතාවට පත් වී සිටින බවත් ණය වගේම ණය පොලියත් හිසරදයක් බවත්ය. එසේම  හාඩ්වෙයාර් භාණ්ඩ අලෙවිකරුවන් කිහිප දෙනකුම පැවසූයේ දෛනික බැංකු  ණයවලින්  ‘රෝල් ’ ගෙනයන ඔවුන්ගේ ව්‍යාපාර මේ වනවිට නන්නත්තාර වී ඇති බවයි. එසේම ව්‍යාපාරිකයන් කිහිප දෙනකුම අප සමග පැවසූයේ ණයක් ලබාගැනීමට තමන් බැංකු සමග ගනුදෙනු කිරීමේ කටයුතුවලින් හෙම්බත් වී සිටින බවයි. 

මෙරට බහුතරයකගේ හඩ මෙවැනි යැයි අපි විශ්වාස කරමු. ඉරිදා පොළේ කොහිල දලු මිටිය විකුණන්නා බැංකු ණය ලබාගැනීමට උනන්දු නොවන බව අපි දනිමු. ඔවුන් වෙනුවෙන් ණය ලබාදෙන ස්ථාන තිබේදැයි සැකසහිතය. එහෙත් ගමේ කඩේ මුදලාලිගේ සිට මෙරට බහුතර සාමාන්‍ය මට්ටමේ සුළු සහ මධ්‍යම වෙළෙඳුන් ව්‍යාපාරිකයන් බොහෝ දෙනා සිය ව්‍යාපාර පවත්වාගෙන යන්නේ බැංකුවලින් ණය මුදලක් ලබාගෙනය. එසේ තිබියදී ඔවුනගේ හිස් මුදුනටම හිර වන තැනට ණය පොලී අනුපාත වැඩි කිරීම කෙතරම් යුක්තියුක්තදැයි දෙවරක් සිතිය යුතු වෙයි. ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක් දියුණු කළ හැකි වන්නේ මෙරට තිබෙන ව්‍යාපාර නගා සිටුවීමෙන් විනා ව්‍යාපාර අහිමි කර ගැනීමෙන් නොවන බව පමණක් අපි විශ්වාස කරමු. දිය රෙද්දෙන් බෙල්ල කපන තියරි වෙනුවට විශ්වසනීය විනිවිද භාවයකින් යුතු සුළු පරිමාණ ව්‍යාපාරිකයාට ගැළපෙන ණය ගනුදෙනු ක්‍රමයක් සකස් කිරීමත් මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රය දියුණු කිරීමට අත්වැලක් සැපයීමත් මහබැංකුව ඇතුළු මෙරට ආර්ථික බලධාරීන්ගේ වගකීමක් වන්නේය.

I සසංක චලන ගිම්හාන