පාසල් නිල ඇඳුමක් ඇඳ සිටින දැරියක් සිගරට් එකක් බොන වීඩියෝ පටයක් පසුගිය දින කිහිපය පුරාම සමාජ මාධ්‍ය තුළ සැරිසරන්නට විය. ඇතැම් අය එම සිදුවීම විවේචනය කර "අපෝ දැන් හැදෙන උන් නම් අන්තිමයි" කියන වචන වලින්ද, "කොහොමද දැන් හැදෙන කෙල්ලන්ගේ හැටි" කියන වචනවලින්ද අපහාස කරමින් එය බෙදා හදාගෙන තිබුණි. ඇතැම් අය එකී වීඩියෝ පටය ශෙයාර් කරමින් ධර්මයද දේශනා කර තිබුණේය.
කෙසේ වෙතත් එම සිදුවීමෙන් පසුදින කිහිපයකට ඉහතදී මාධ්‍ය මගින් එකී සිදුවීමට අදාළව ප්‍රවෘත්තියක් පළවිය. ඒ එම සිදුවීමට අදාළ පාසල් දැරිය සොයා පොලීසියත් බුද්ධි අංශත් රටම පෙරළමින් සිටින බවය.
එම පුවත දුටු සැණින් ලියුම්කරුට සිනහවක් සේම බියක් දැනුණේය. සිනහව පැමිණියේ මේ රටේ හොරු දූෂිතයන් පැටව් ගසා ඇති මොහොතක ඒ හොරු දූෂිතයන් හොයන්න බුද්ධි අංශ ඉක්මන් නොවීමත් මේ දුම්වැටියක් පස්සේ යාමත්ය. එසේම බියක් දැනුණේ මේ දරුවා සම්බන්ධයෙන් මාධ්‍ය සහ පොලීසිය විසින් සිදුකරන්නට යන අවදානම් සහිත බලපෑම ගැනය. ඒ නිසාම මේ සිදුවීම මූලික කරගනිමින් අපේ රටේ මාධ්‍යයත් පොලීසියත් දරුවන්ගේ ප්‍රශ්නවලදී හැසීරීම් සම්බන්ධයෙන් මෙම ලිපිය සටහන් කරමි.
විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මේ රටේ දරුවන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් වැඩිහිටියන්ගේ අසංවේදී හැසීරිම් ඉතාම ඉහළ තැනක ඇති බවයි. ඇතැම් වැඩිහිටියන් නොදැනුවත්ව හෝ ඔවුන් කරන ක්‍රියාවන් හරහා පවා දරුවන් අපයෝජනය වන බව දන්නේ නැත. උදාහරණයක් ලෙස දරුවකුගේ සිදුවීමක් උලුප්පා දක්වමින් සමාජ මාධ්‍ය තුළ බෙදහදා ගැනීමද අපයෝජනයක් බව බොහෝ වැඩිහිටියන් දන්නේ නැත. ඒ හරහා දරුවකුගේ ජීවිතය පවා රටට අහිමිවිය හැක.
විශේෂයෙන් බොහෝ වැඩිහිටියන් මුහුණු පොතේ සමාජ මාධ්‍ය තුළ දකින දේ අනෙක් අය සමඟ බෙදාගන්න රුසියෝය. එය නිකම් නොව විවිධ අර්ථ අදහස් කවි එකතු කරමින්ය. ඉහත කී පාසල් දැරියගේ වීඩියෝ පටයද විවිධ පුද්ලයන් අතින් අත මාරු කළේ එම දැරියගේ ළමා කාලයත්, හැදියාවත්, ලිංගිකත්වයත් ප්‍රශ්න කරමිනි. එහෙත් ඒ ප්‍රශ්න කළ කිසිවෙක් ඒ හරහා දැරියට වන හානිය ගැන සිතුවේ නැත.
දුම්පානය වයස 21ට වඩා කිසිවකුට නීතියෙන් අවසර නැත. විශේෂයෙන් පාසල් යන ළමයකුට සුදුසු ක්‍රියාවක් නොවේ. එපමණක් නොව සෞඛ්‍ය පැත්තෙන්ද විශාල අවදානමකි. එහෙත් දැනට සිටින වැඩිහිටියන්ද පාසල් කාලයේ විවිධාකාරයේ අත්හදා බැලීම් සිදුකර ඇත. එම අත්හදා බැලීම් වැරදි සහගත දේවල් වුණත් ළමයකු සාමාන්‍යයෙන් තවත් දෙයක් අත්හදා බලන්න උත්සාහ ගැනීම සාමාන්‍ය දෙයකි. එය වැරදි හෝ නිවැරදි බව සිතීමට වඩා ඔවුන් උත්සාහ ගන්නේ ඒ අත්හදා බැලීම හරහා ලැබෙන වින්දනය පිළිබඳවය. ඒ නිසාම දරුවන් කොතරම් උස් මහත් වුවත් යම් වැඩිහිටියෙක් දරුවකුගේ වැරදි ක්‍රියාවක් සඳහා මැදිහත් ෙවනවා නම් එය අපයෝජනයක් හෝ අපචාරයක් ගොන්නට එකතු වනු ඇත. ඒ නීතිය අනුවය. එපමණක් නොව ළමා කාලය ගැන මනෝවිද්‍යාත්මක සොයා බැලීම් මතය.
එහෙත් ඒ සියල්ල පසුකළ වැඩිහිටියන් මේ දැරිවිය හෝ ඕනෑම ළමයකුගේ වැරදි ක්‍රියාවක් විවේචනය කිරීමට හෝ උසුළු විසුළු කිරීමට යොදාගන්නේ එකී දරුවාගේ අනන්‍යතාවයද හෙළිකරමින් තම ළමා කාලය අමතක කරමිනි. ඒ හරහා දරුවකුට සමාජමය වශයෙන් එල්ලවන විරෝධය, ගැරහීම, විවේචන ඇතැම් විට දරන්නට නොහැකි වනු ඇත. අප ළමා කාලයේ වුවද උදෑසන රැස්වීමේ සභාව මැදට ගෙන දඬුවම් කළහොත් කාලයක් යනතුරු ඒ වේදනාව හිතේ නැති වෙන්නේ නැත. එවන් හැඟීමක් ඇතිවන දරුවකුගේ සිදුවීමක් රැගෙන සමාජයක් ඉදිරියේ එය පෙන්වමින් විවේචනය කිරීම ඒ දරුවාගේ මනසට කෙතරම් දැඩිව බලපාන්නේද යන්න වැඩිහිටියන් සිතිය යුතුය. ඇතැම් විට ඒ දරුවා ජීවිතය පවා නැතිකර ගැනීමේ අවදානමක් ඇත.
එසේම එවැනි සිදුවීමක් දුටු වහාම ඒ සම්බන්ධයෙන් කරන පරීක්ෂණ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් ලබාදෙන පුළුල් ප්‍රචාරය සම්බන්ධයෙන් මාධ්‍ය පවා මීට වඩා වගකීම් සහගත විය යුතුය. තම දරුවකු වුවද
එවැනි වරදක් කළ පමණින් ඒ සියල්ල මාධ්‍යයේ යනු දුටුවහොත් දෙමව්පියෝ සහෝදරයෝ ලෙස තමන් කෙතරම් අපහසුතාවයකට ලක්වෙන්නේද, දරුවගේ මානසිකත්වයට කෙතරම් හානියක් වේද යන්න පිළිබඳ අවධානය යොමුකළ යුතුය. ඇතැම් ප්‍රධාන මාධ්‍ය පවා එම දැරිය සම්බන්ධයෙන් පුවත් මවන විට දැරියට ඇතිවන මානසික තත්ත්වය අමුතුවෙන් කිවයුතු නැත.
පාසල් කාලයේ සිදුවන විවිධ අත්හදා බැලීම් සම්බන්ධයෙන් ඒවා නිවැරදි කිරීම බාරවන්නේ දෙමාපියන්ට සහ ගුරුවරුන්ටය. ඊටත් එහා ගියහොත් පොලීසියේ ළමා හා කාන්තා කර්යාංශයටය. පොලීසියේ පවා එවැනි ඒකක නිර්මාණය කර ඇත්තේ දරුවන් සමඟ ගනුදෙනු කිරීම සාමාන්‍ය පොලිස් නිලධාරීන්ට වඩා වෙනස් වන නිසාය. එහෙත් එලෙස විසඳිය යුතු ප්‍රශ්නයක් ප්‍රධාන මාධ්‍යයට ගෙනවිත් දරුවකුට නැවත පාසලට, සමාජයට මුහුණ දෙන්නට බැරි තැනට පත්කරනවා නම් ඒ දරුවාගේ ජීවිතේ වගකීම අදාළ මාධ්‍යකරුවන් විසින් බාරගත යුතුමය. සිගරුට්ටුවක් බීම වරදකි. එය අවවාද කොට නිවැරදි මාර්ගය කියාදීම වැඩිහිටියන්ගේ වගකීමකි. ඒ වගකීම මගහැර වැඩිහිටියන් තමන්ගේ ළමා කාලය අමතක කර දරුවන්ට මාර චරිත වීමට යාමෙන් සිදුවන්නේ දරුවන් විනාශ වීම පමණි.
යම් සුළු සිදුවීමක් වූ වහාම පොලීසියට යන්නත්, පොලිස් පරීක්ෂණ කරන්නත්, මාධ්‍යයේ දැමීමටත් හුරුකර ගැනීම ඉතාම බරපතළ තත්ත්වයක් වන අතර සදාචාරාත්මකවද ගැටලුවකි. විශේෂයෙන් ගෑනු දරුවන්ට ඒ හරහා සිදුවන මානසික බලපෑම සුළුපටු නැත.
එසේ නම් ඔබ කළ යුත්තේ කුමක්ද? එවැනි වීඩියෝ පටයක් ඔබට ලැබුණොත් එය තවත් අයකු වෙත බෙදාහැරීමෙන් වළකින්න. දෙවැනිවරට එසේ බෙදාහරින අයට දැනුම් දෙන්න ඔබ ඔය වරද සිදුකිරීමෙන් වළකින්න කියලා. දරුවා සම්බන්ධයෙන් වැරදි ප්‍රචාරයක් සිදුවනවා නම් ඔබේ මට්ටමින් වගකිව යුතු ආයතන, පුද්ගලයන් වෙත දැනුම් දෙන්න. විශේෂයෙන් සිතන්න ඔබ තව කෙනකුට එය යැවීම වැළකීමෙන් තව දහස් ගණනක් අතට යන සිදුවීමක් නවතින බව. එසේ නොකර එවැනි දෙයක් තවත් අයකු වෙත බෙදාගන්නේ නම් එසේ සිදුකරන්නාද අපරාධයේ හවුල්කරුවකු වනු ඇත.
I ගයාන් ගාල්ලගේ