2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා

සැත්කමකින් නිහඬ කළ අලුත ගෙනා මනමාලිය

 2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 299

බුද්ධිකා හර්ෂණී ධර්මවික්‍රම... බලාපොරොත්තු බොහොමයක් සිතේ රඳවාගෙන අවසානයේ ඒ බලාපොරොත්තු එසේම තිබියදී සදහටම දෑස් පියාගත්තාය. නොසිතූ මොහොතක නොසිතූ ලෙසින් නික්ම ගිය බුද්ධිකා හර්ෂණීගේ ජීවිතය වෙනුවෙන් අද බොහෝ දෙනා හඬා වැටෙති.

බුද්ධිකා හර්ෂණී සුන්දර තරුණියක් වූවාය. දහසක් බලාපොරොත්තු ඇතිව ඇය විවාහ වූයේ රසික ජයතිලක සමඟය. ඒ අගෝස්තු මස 13 වැනිදාය. විවාහ වීමට දින කිහිපයකට පෙර බුද්ධිකාගේ උදරයේ හටගත් වේදනාවකට ඇය වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා තිබිණි. එම ප්‍රතිකාරවලින් බුද්ධිකාට සුවයක් ලැබිණි. සියලු බලාපොරොත්තු හීන සැබෑකර ගනිමින් ඇය අගෝස්තු 13 වැනිදා රසිකගේ සුන්දර මනාලිය වූවාය. දෙවියන් වහන්සේගේත් දෙමව්පිය නෑදෑ හිතවතුන්ගේත් ආශිර්වාදය ඇතිව විවාහ වුණු බුද්ධිකාත් රසිකත් දින කිහිපයක්ම සතුටින් කාලය ගත කළාය.

විවාහ වී ගතවුණේ දින කිහිපයක් පමණි. නැවතත් බුද්ධිකාගේ උදරය වේදනා ගෙන දුන්නේය. ඒ හේතුවෙන් රසික ඇතුළු පිරිස ඇයව පෞද්ගලික රෝහලකට රැගෙන ගියහ. බුද්ධිකාව පරීක්ෂා කිරීම සඳහා දිවයිනේ ඉතා ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරයකු  වෙත සම්බන්ධ කර තිබුණේ වැඩි පරිස්සමටය. ඇයව පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරයා පවසා ඇත්තේ පිත්තාශයේ ගල් හටගෙන ඇති බැවින් වහාම සැත්කමක් කළ යුතු බවය. ඒ අනුව වත්තල පෞද්ගලික රෝහලකට බුද්ධිකාව ඇතුළත් කර තිබුණේ අදාළ විශේෂඥ වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේය.

අගෝස්තු මස 31 වැනිදා බුද්ධිකා හර්ෂණීගේ සැත්කම සිදු කෙරුණි. නමුත් සියල්ල වෙනස් වූයේ එතැන් සිටය. විශේෂඥ වෛද්‍යවරයාට එය (සාමාන්‍ය) සැත්කමක් වුවත් එම සැත්කමින් බුද්ධිකා අසාධ්‍ය තත්ත්වයට වැටිණි. ඇගේ ඥාතීන් පවසන්නේ විශේෂඥ වෛද්‍යවරයාට එම රෝගී තත්ත්වය ගැන කිව්වත් ඔහු එතරම් ගණන් නොගත් බවය. ඔහු ඇය සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් නොදැක්වූ බවද බුද්ධිකාගේ ඥාතීහු චෝදනා කරති. ඇතැම් වෛද්‍යවරුන්ට රෝගියකු %සාමාන්‍ය^ තවත් එක් රෝගියකු වුවද ඕනෑම රෝගියකුට මෙන්ම රෝගියාගේ ඥාතීන්ට එය වටිනා ජීවිතයකි. ඇතැම් වෛද්‍යවරුන්ගේ දැනුම සීමා වී ඇත්තේ පොතපතෙන් ලබාගත් දැනුම් සම්භාරයට පමණි. මේ ඇතැමුන්ට රෝගීන්ගේ ජීවිත පිළිබඳ විශේෂත්වයක් නැත. බුද්ධිකාගේ මරණයට හේතුවක් වන්නට ඇත්තේ විශේෂඥ වෛද්‍යවරයාගේ වරදක් යැයි කීමට තවම අපි ඉක්මන් නොවෙමු. නමුත් මේ වන විටත් එකී විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු බොහෝ තැන්වලදී ආන්දෝලනාත්මක චෝදනා එල්ල වෙමින් පවතී.

බුද්ධිකාගේ ශල්‍යකර්මය සිදු කළ විශේෂඥ වෛද්‍යවරයා ඇගේ තත්ත්වය අසාධ්‍ය වීම සම්බන්ධයෙන් එතරම් තැකීමක් නොකළ බව බුද්ධිකාගේ ඥාතීහු චෝදනා කරති. ඇයව වහාම රාගම ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය. දින කිහිපයක්ම ඇය එම ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූවාය. අවසානයේදී සියල්ල අතහැර දමා බුද්ධිකා රාගම මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳක් මතදී තම අවසන් හුස්ම වා තලයට මුසු කළාය.
ඇය යන්නම යන්න ගියාය. ඇගේ මව, පියා, සහෝදරයා, ආදරණීය සැමියා තනිකොට දමා ඇය යන්න ගියාය. රසික සමඟ එක්ව ඇය අනාගතය ගැන හීන ඇහින්දාය. ඒ හීන සැබෑකර ගන්නට ඔවුන් එකට අත්වැල් බැඳගත්තා පමණි. ඔහුව හැරදා ඇය තනිවම යන්න ගියාය.

බුද්ධිකාගේ නිසල සිරුර නිවෙසට ගෙන එනු ලැබුවේ නෑදෑ හිතමිතුරන්ගේ සෝ සුසුම් මැදය. ඒ සැප්තැම්බර් මස 27 වැනිදාය. ඇයගේ උපන් දිනය ද එදිනට යෙදී තිබිණි. ඇයගේ නිසල දේහට තැන්පත් කර තිබූ තැනට මදකට එහා තැනක ඇය වෙනුවෙන් සෑදූ අපූරු උපන් දින කේක් එකක් ද විය. සියල්ලෝම හැඬූ කඳුළින් ඇගේ උපන් දිනයට සුබ පැතුවත් ඒ ඇගේ මුහුණේ වෙනදා රුඳි අපූරු හිනාව තිබුණේ නැත. ඒ වෙනුවට ඔවුන්ගේ මතකය දුවගියේ පසුගිය වසරේ ඇගේ උපන් දිනයට සුබ පතද්දී ඇගේ මුහුණේ රුඳී හිනාවත්, එහි වීඩියෝපට සහ ඡායාරෑපත් පමණි.

බුද්ධිකාගේ මරණය සම්බන්ධයෙන් බොහෝ දෙනා බොහෝ දෑ කියති. ඇගේ ඥාතීන් පමණක් නොව, තවත් බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කරති. ඒවා බොහොමයක් ආන්දෝලනාත්මක චෝදනාය. නමුත් තවමත් මෙම විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගෙන නැත. ඒ හේතුවෙන් ඔහු නිවැරදිකරු හෝ වැරදිකරු හෝ කිරීමට හැකියාවක් නැත. 

කෙසේ වුවද වෛද්‍යවරයකු සතු වගකීම ඉතා විශාලය. ඔහු හෝ ඇය ගනුදෙනු කරන්නේ මිනිස් ජීවිත සමඟය. එක් නිමේෂයකින් ජීවිතයකට හානිවීමට ඉඩ ඇත. වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් සදාකාලික ආබාධිත වුණු, අතපය අහිමි වුණු මෙන්ම මියගිය රෝගීන් ද සම්බන්ධයෙන් අතීතය සාක්ෂි දරයි. නමුත් ඔවුන්ගෙන් කී දෙනකුට නම් සාධාරණය ඉෂ්ඨ වී තිබේද? මියගිය කෙනකුගේ මරණ පරීක්ෂණය සිදු කරන්නේ ද වෛද්‍ය වෘත්තියේ නියැලෙන්නෙකි. තම වෘත්තීය සගයකු බේරාගැනීමට අවසානයේදී දෙනු ලබන මරණ සහතිකය ලියැවෙනවා විය හැක. ඒවා නිවැරදි නොවුණු අවස්ථා ද විය හැක. නමුත් විශේෂඥ වෛද්‍යවරයකුට වුවද තම හෘදය සාක්ෂියට කිසි ලෙසකින් එරෙහි විය නොහැක.

''මේක ඉතා කනගාටුදායක සිද්ධියක්. මේ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් යම් පරීක්ෂණයක් සිදුවිය යුතු වෙනවා. මේ ඥාතීන්ට මෙන්ම වෙනත් පිරිසට මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් චෝදනා ඇත්නම් මෙම විමර්ශනයක් මගින් ඒවා සොයා බැලිය යුතු වෙනවා. ඒ අනුව අපක්ෂපාතී පරීක්ෂණයක් වහාම ක්‍රියාත්මක විය යුතු වෙනවා.'' යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

කෙසේ වුවද මේ වන විටත් අදාළ විශේෂඥ වෛද්‍යවරයා සුපුරුදු රාජකාරියේ යෙදෙන අතර, අදාළ පෞද්ගලික රෝහල්වල තවමත් රෝගීන් පරීක්ෂා කිරීම සිදු කරන බවට ද බොහෝ දෙනා චෝදනා කරති. මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් නිසි පරීක්ෂණයක් සිදු කර අසාධාරණයට ලක්වූ පාර්ශ්වය වෙනුවෙන් යම් සාධාරණයක් ඉටු කළ යුතුය. වැරදිකරුවන්ට නිසි දඬුවම් ලැබිය යුතුය.

බුද්ධිකා හර්ෂණීගේ නිසල සිරුර සැප්තැම්බර් මස 29 වැනිදා මිහිදන් කෙරිණි. ඇගේ උපන් දිනය දා ඇගේ ආදරණීය සැමියා තම මුහුණුපොතේ ඉතා සංවේදී සටහනක් තබා තිබුණි.
 

Happy birthday my princess
My happiness, my strength, my motivator and my everything. Why you left me like this. I need you more and more my you so much baba. Love you. 

 දිශානි ජයමාලි කරුණාරත්න