2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා

තෙල් බවුසරේ ඉස්සූ කුඩ්ඩා

 2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 60

මහනුවර හන්තාන කඳු මුදුනේ ස්ථාපිත කළ දුරකතන සම්ප්‍රේෂණ තාක්ෂණ කුලුනු කිහිපයකි. පවතින විදුලිය අර්බුදය හේතුවෙන් ඒවා නිසි ලෙස පවත්වාගෙන යාම අසීරු කටයුත්තකි. මේ නිසා විදුලි ජනක යන්ත්‍ර භාවිත කිරීම අනිවාර්ය වී ඇති අතර ඒ සඳහා අධික පිරිවැයක් යොදා ඉන්ධන බවුසර ගණන් ඇණවුම් කිරීමට සිදුව තිබේ.

එසේ ඇණවුම් කළ ඉන්ධන බවුසරයක් රුපියල් ලක්ෂ 13 ක් ගෙවා සිපෙට්කෝ ආයතනය වෙතින් ලබාගෙන තිබුණේ ප්‍රසිද්ධ ජංගම දුරකථන සමාගමක් විසිනි. එම ඉන්ධන තොගය රැගත් බවුසර් රථය හන්තාන සම්ප්‍රේෂණ කුලුන වෙත ධාවනය වෙමින් තිබුණේ පසුගිය (24) වැනිදාය. බවුසර රථයට මගපෙන්වීම සඳහා අදාළ දුරකථන සමාගමට අයත් කැබ් රථයක් හා නිලධාරියකු ද ගමන් කොට තිබුණි.

පසුගිය 24 වැනිදා රාත්‍රියේ කොළඹින් පිටත් වූ බවුසර් රථය මහනුවර නගරයෙන් හන්තාන මාර්ගයට ධාවනය කොට තිබුණේ අලුයම 1.45ට පමණය. කඳු සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කැබ් රථය හා බවුසර් රථයට මග අසුරා ත්‍රිරෝද රථයක් හිටිහැටියේම පාර හරහා නවත්වා තිබුණේ හන්තාන ප්‍රසිද්ධ විහාරස්ථානයක් ආසන්නයේ පිහිටි ස්ථානයකදීය.

ත්‍රිරෝද රථයේ සිට තිබුණේ පුද්ගලයන් සිව්දෙනෙකි. පිරිසෙන් තිදෙනකු බැස බවුසර් රථයේ රියැදුරුටත් ගෝලයාටත් තර්ජනය කොට බවුසර් රථය ග්‍රහණයට නතු කර ගෙන ඇතැයි කියති. අනෙක් පුද්ගලයා කැබ් රථයේ සිටි නිලධාරියා බිය වද්දවා ඔහු හා රථය ග්‍රහණයට ගෙන තිබුණි. අනතුරුව හන්තාන මාර්ගයේ පසෙක පිහිටි හුළං පිට්ටනිය ලෙස ප්‍රසිද්ධ ක්‍රීඩා පිටිය වෙත බවුසර් රථය හා කැබ් රථය බලහත්කාරයෙන් රුගෙන ගොස් රියැදුරුට ගෝලයාට හා පෞද්ගලික දුරකථන සමාගමේ නිලධාරියාට පහර දී බවුසර රථයේ ඉන්ධන සඳහා ලබා දුන් මුදල් ඉල්ලා ඇතැයි කියති.

කොල්ල කල්ලිය සිතා ඇත්තේ ඉන්ධන සඳහා අදාළ මුදල බවුසර රථය වෙත ගෙවන්නට බවත් එම මුදල් එහි රියැදුරු හෝ කැබ් රථයේ නිලධාරියා සතුව තිබෙන්නට ඇති බවත්ය. මෙසේ පහරදෙන අතරතුර පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 අංකය අමතා තොරතුරු දන්වන්නට කැබ් රථයේ නිලධාරියා ක්‍රියා කර තිබුණි. එම තොරතුර මහනුවර පොලීසියේ හදිසි ඇමතුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක බණ්ඩාර මහතා වෙත ලැබුණු සැණින් ක්‍රියාත්මක වී පැයකට අඩු කාලයක් තුළදී පොලිස් යතුරුපැදි දෙකක් සහිත විශේෂ කණ්ඩායමක් අදාළ ප්‍රදේශය වෙත පිටත් කිරීමට පියවර ගැනිණ. එම නිලධාරීහු මහත් පරිශ්‍රමයක් යොදා කොල්ල කල්ලියෙන් පිරිස මුදාගෙන සැකකරුවන් දෙදෙනකු සමඟ ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගැනීමට සමත් වූහ. තවත් සැකකරුවන් දෙදෙනකු ඒ මොහොතේ පලා ගොස් තිබුණු අතර පහරකෑමට ලක්ව තුවාල ලබා සිටි අය රෝහල්ගත කිරීමට ද පොලීසිය පියවර ගෙන තිබිණි.

ඉන්ධන බවුසරය පැහැරගැනීමේ මහමොළකරු බෝගම්බර ප්‍රදේශයේ කුඩු ජාවාරම්කරුවෙකි. දැනට ඇප මත සිටින ඔහු විවිධ අපරාධවලට සම්බන්ධ බව කියැවේ. අනෙක් පුද්ගලයා හන්තාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොල්ලකෑම සහ පැහැරගෙන යාම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ඔවුහු 3 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූහ.

මහනුවර පොලීසියේ හදිසි ඇමතුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක බණ්ඩාර මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක වීරසේකර, උප පොලිස් පරීක්ෂක වීරසේන, පොලිස් කොස්තාපල්වරුන් වන 46150 ජෙස්ටින්, 37194 දිමුත්, 46973 සෝමරත්න ඇතුළු නිලධාරීහු පිරිසක් වැටලීමට දායක වූහ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර
ජේ.ඒ. ජයසිංහ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04