2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා

රුපියල පිරිහීමේ රිදී රේඛා

 2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 59

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය පවතින ස්ථානය සතුටුදායක නැත. ණය ගෙවීම තාවකාලිකව නතර කර ඇති අතර ජාත්‍යන්තරයෙන් සංවර්ධන සහාය ලබාගැනීම සඳහා තීරණාත්මක සාකච්ඡා පවත්වමින් සිටී. උද්ධමනය ඉහළ අගයක් ගෙන ඇත. විනිමය අනුපාතිකය ගැටලු සහගත බව දැක්වෙන අතර ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සෑහෙන පිරිහීමක් වාර්තා කොට තිබේ. විදේශ වත්කම් වර්ධනය කර ගැනෙන පියවරකට අවතීර්ණ වන තෙක් විනිමය අනුපාතිකය සම්බන්ධ අඛණ්ඩ උච්ඡාවචනයක් අපේක්ෂා කළ හැක.

ජාත්‍යන්තර මාධ්‍ය පසුගියදා වාර්තා කළ පරිදි ලෝකයේ worst-performing  එනම් නරකම සක‍්‍රීයත්වයක් දක්වන ලද විනිමය විශේෂ අතර ශ‍්‍රී ලංකාවේ රුපියලද ඇතුළත් කර ඇත. ශ‍්‍රී ලංකාවේ රුපියල මෙම වර්ගීකරණ ලැයිස්තුවේ තුන්වැනි තැනට පත්ව තිබුණි. ලෝකයේ පවතින ආර්ථික විෂමතා නිරීක්ෂණය කරන පසු එය සංකීර්ණ තත්ත්වයක් බව පෙනේ. විනිමය හුවමාරුව අනුව එහි උස් පහත්වීම් සිදුවේ. ඒවායෙන් ඇතිකරන පීඩනයක් තිබේ. නිවැරදි ප‍්‍රතිපත්ති අනුව කළමණාකරණය කරගතහොත් ආර්ථිකයට එල්ල වන බලපෑම අවම කර ගැනීමට හැකියාවක් ලැබේ.

නොහොඳ තැනක නැති විනිමය ඇති රටක් නැත

කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසු නැවත අවදි වන ලෝක ප‍්‍රජාව අනපේක්ෂිත තත්ත්වවලට මුහුණ දෙමින් සිටී. ආහාර සපයා ගැනීමේ අපහසුතාව එක පැත්තකි. අනෙක් පැත්තෙන් බලශක්ති ප‍්‍රශ්නයක් පැන නැගී ඇත. මෙම අංශ දෙකටම රුසියාව හා යුක්‍රේනය සමඟ ඇති ගැටුම් බලපා තිබේ. ජාත්‍යන්තර ප‍්‍රවෘත්ති සේවාවලට විශේෂඥ අදහස් පළ කරන විද්‍යාර්තීහු මෙම කරුණු විග‍්‍රහ කරමින් සිටින අතර බටහිරට නැඹුරු ඇතැම් මාධ්‍ය දක්වන පරිදි රුසියාව සිය ප‍්‍රහාරවලදී ලෝක ප‍්‍රජාව පාලනය කරන්නට බලශක්තිය අවියක් සේ භාවිතා කරයි. ගෑස් සැපයුම පාලනය කරන රුසියාව එය ලෝක ආර්ථිකය සොලවන්නට හේතු කරගෙන තිබේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍යයේ උද්ධමනය කිසිම කාලයක නොතිබුණ පරිදි සියයට දහයකින් වර්ධනය වී ඇත. බ්‍රිතාන්‍ය පවුමක වටිනාකමද අවප‍්‍රමාණය වී ඇති බව දැක්වේ. 1985 වසරට පසු වැඩිම අවප‍්‍රමාණය බව බ්‍රිතාන්‍ය මුල්‍ය වාර්තා දක්වයි. චීනයේ යුවාන් මුදල් ඒකකය 2008 වසරට පසු ඇමරිකානු ඩොලරයකට සාපේක්ෂව අවම තැනකට වැටී ඇති අතර ඩොලර් එකක් රැගෙන චීනයට යන සංචාරකයකුට යුවාන් හතක් ලබා ගැනීමට හැකි බව ප‍්‍රකාශ වේ.

ඉන්දියානු රුපියල ඉතාම නරක පිරිහීමක් වාර්තා කළ මුදල් විශේෂයක් බව ප‍්‍රචාරය වූයේ පසුගිය ජූලි අවසානයේදීය. එයට කලින් පකිස්තානය එම තැන අත්පත් කරගෙන සිටියේය. පකිස්තානයේ රුපියල සියයට 16.5 කින් අවුරුද්ද මුල පිරිහීමකට ලක්විය. පසුගිය වසරේ මුල හොඳම විනිමය බවට අර්ථ දක්වන ලද පකිස්තානයේ රුපියල එයින් මාස දහ තුනකට පසු නරකම අගය සහිත විනිමය බවට නම් කෙරී තිබේ. මූල්‍ය අරමුදලේ සහාය ලබාගත් පකිස්තානය සිය විනිමය හසුරුවාගත් නමුත් තවමත් අර්බුදය විසඳී නැත. ශ‍්‍රී ලංකාව ඉකුත් අප්‍රේල් මාසයේදී නරකම පිරිහීම සහිත විනිමය ඇති රට ලෙස වාර්තා කළ අතර පසුව එය ස්ථාවර වූ බව සඳහන් කළ යුතුය. කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කරගෙන යන සාකච්ඡා සහ බාහිර පාර්ශ්වවලින් ලබාගත් ණය ආපසු ගෙවීම අත්හිටුවීම සමඟ ශ‍්‍රී ලංකාවේ රුපියල නතරවන තැන ගැන ලෝක ප‍්‍රජාව බලා සිටිති. ආර්ථිකය අපහසු තැනක පවතින නමුත් ලෝකයේ විනිමය අනුපාත පිරිහී ඇති තරම සලකන පසු ශ‍්‍රී ලංකාවට එම පසුබිම තුළ නරකම තැනක් හිමි වී නැත.

මෑත කාලීන විනමය ප‍්‍රවණතා

සැප්තැම්බර් මාසයේ මැද වනවිට ආසියානු කලාපයේ රටවල් අතර ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව විනිමය අනුපාතිකය පිරිහීම වැඩිම ප‍්‍රතිශතයකින් වාර්තා කරන්නේ ශ‍්‍රී ලංකාවයි. ලාඕසය, පකිස්තානය, ජපානය, බංගලාදේශය සහ දකුණු කොරියාව වැනි රටවලද පසුගිය වසරට වඩා සියයට පහළොව ඉක්මවන ප‍්‍රතිශතයකින් ඔවුන්ගේ විනිමය අවප‍්‍රමාණය වී ඇති බව දක්වයි. අලුත්ම වාර්තා අනුව ලාඕසයේ තත්ත්වය ශ‍්‍රී ලංකාව හා සමාන තැනට පත්වෙමින් තිබේ. උද්ධමනය වසර විසි පහකට පසු වැඩිම අගයක් ගෙන ඇත. රට පුරා ඉන්ධන පෝලිම්ය. ජනතාව අධික භාණ්ඩ මිල ගැන වෛරයකින් පසුවෙති. පකිස්තානය, ජපානය පවා මිනිසුන් පාරට බැස අරගල කරන රටවල්ය. හිටපු අගමැතිවරයාගේ අවසන් කටයුතු සඳහා වැයකරන ලද මුදල ප‍්‍රශ්න කරන ලද ජපන් වැසියන් වෙනදා පෙන්වන සාමකාමී බව පසෙක තබා විරෝධය පළකරන අයුරු මාධ්‍ය මගින් වාර්තා කරන ලදී. ලෝකයේ සෑම රටකම පාහේ ඇති ප‍්‍රවණතා මේවායින් පෙන්වයි.

විනිමය අගය අවප‍්‍රමාණය වූ පසු අපනයනවලට අවස්ථාවක් ඇති බව සඳහන් කළ යුතු කරුණකි. ලෝකයේ වැඩිම අසාමාන්‍ය දුර්වලතා පෙන්වන මූල්‍ය අගය හමුවේ අපනයනයටද සංචාරක ව්‍යාපාරයටද අවස්ථාවක් ලැබේ. සංචාරක කටයුතු වේගයෙන් වර්ධනය වන අංශයකි. විනිමය වාසි සලකා රටින් රටට යන්නට උත්සාහ කරන සංචාරකයෝ අඩුම මුදලකින් වැඩිම දින ගණනක් නතරවිය හැකි ස්ථාන සොයති. ශ‍්‍රී ලංකාව ඉදිරියට පැමිණීම සමඟ මෙතෙක් නතර කර තිබුණ ගුවන් ගමන් ඇරඹෙන බවට වාර්තා ලැබේ. එය අපේක්ෂා කළ යුතුය. එයාර් ඉන්දියා සමාගම අත්හිටුවන ලද සේවා ඔක්තෝබර් 01 සිට අරඹයි. එයරොෆ්ලොට් සමාගමද සිය සේවා අරඹන බව නිවේදනය කර තිබේ. එයාර් චයිනා ගුවන් සේවාව ගමන් වාර වැඩිකරන බව දක්වා ඇත. ඩොලර් රැගෙන ලංකාවට එන සංචාරකයෝ වැඩිම රුපියල්  ප‍්‍රමාණයක් ලබාගෙන මෙරට විනිමය සංචිතයට උපකාර වන බව මෙහිදී සඳහන් කළ යුතු කරුණකි.

වඩාත්ම අක‍්‍රීය හා වැඩිම අවප‍්‍රමාණය වූ විනිමය අනුපාතිකය සේ සඳහන් කරන නමුත් ඒ සමඟ රටට ඩොලර් රුගෙන එන ශ‍්‍රී ලාංකිකයන්ටද විශාල රුපියල් ප‍්‍රමාණයක් ලැබේ. මැද පෙරදිග ඇතුළු රටවල සේවය කරන ලාංකිකයන් එවන විනිමය සඳහා වැඩි රුපියල් ප‍්‍රමාණයක් ලැබීම ඔවුන්ගේ පවුල්වලට වාසියකි. විදේශ රැකියා පතා පිටත්ව යන සියලුම දෙනා එවන විනිමයවලින් පවතින කර්කෂ තත්ත්වය පාලනය කරනු ඇත. විනිමය අනුපාතිකය පිරිහීම ගැන කරන විවේචන හා සමානව එහි ඇති රිදී රේඛාවද අමතක කළ යුතු නැත.

විනිමය උච්ඡාවචනය සාමාන්‍ය තත්ත්වයකි

නිදහස් ආර්ථික ප‍්‍රතිපත්ති පවතින ඕනෑම රටක විනිමය අනුපාතිකය තුළ උස් පහත්වීම් සිදුවේ. එවැනි වෙනස්කම්වලින්ද වෙළඳපොළක් බිහිවේ. රට තුළ ගනුදෙනු සඳහා විනිමය හිඟවන ස්වභාවය තුළ අධි ඉල්ලුමක් ඇතිවිය හැක. එයට සාපේක්ෂව ඩොලරයේ වටිනාකම වැඩිවේ. මෙම පිරිහීම සිදු වනවිට ලබාගත හැකි වැඩි රුපියල් ප‍්‍රමාණය සලකා ඩොලර් වෙළඳපොළට නිකුත් කරන අතර එය කරන්නේ, විදේශ විනිමය සන්තකයේ තබාගෙන සිටින පිරිස් බව සඳහන් කිරීම අවශ්‍යය. අපනයනයකරුවන්, විදේශ ගමන්වල නිරතවන පිරිස් මුදල් රඳවාගෙන සිටී. සමහර අවස්ථාවල රටට පේ‍්‍රශණය නොකරන අතර එයට හේතුව වැඩිම මිලක් ඉදිරියේදී ලැබෙන බව ඇතිකරන ඇඟවීමය. ආර්ථිකය ශක්තිමත්ව තවදුරටත් විනිමය අනුපාතිකය දුර්වල නොවන බව පැහැදිලි වනවිට විනිමය ආරක්ෂා කරගැනීම පලක් නැති බව දන්නා පිරිස ඒවා මුදා හරිති. එය ඉල්ලුම හා සැපයුම අනුව සිදුවන සාමාන්‍ය ක‍්‍රමය බව සඳහන් කළ යුතුය. මෙවැනි ක‍්‍රම මගින් වාසි ගැනීම ආර්ථිකයක ලක්ෂණයකි. 

ශ‍්‍රී ලංකාවේ දැනට පවතින විනිමය හිඟය මත රුපියලේ අගය ගැන පුරෝකථන නැගෙන නමුත් ඉදිරි කාලයේ සමහරවිට රුපියලේ අගය ස්ථාවර විය හැකිය. එයට කලින් අපනයන අංශ ක‍්‍රියාශීලීවිය යුතුය. ආනයනයේදී වැඩි මිලක් ගෙවන නමුත් අපනයනය වාසිදායක විය හැක. අඩු විනිමය අනුපාත හේතුවෙන් විදේශ ගැනුම්කරුවන්ගේ ඉල්ලුම ඉහළ යන්නට ඉඩ තිබේ. ඇඟලුම් කර්මාන්තයට එය විශේෂ අවස්ථාවකි. ශ‍්‍රී ලංකාවේ සම්පත් උපයෝගී කරගෙන කරන නිෂ්පාදනවලට තවත් අතිරේක වාසි හිමිවන අතර එය ක‍්‍රමෝපායික ලෙස හැසිරවීම බලධාරීන්ගේ වගකීමකි.

භාණ්ඩ හා සේවා සම්බන්ධ ප‍්‍රචාරයට ප‍්‍රදර්ශන, වෙළඳ සල්පිල හෝ රෝඩ් ෂෝ පැවැත්වීම අවශ්‍යම නොවේ. තාක්ෂණය භාවිත කළ හැක. රජයේ ආයතන හා නිලධාරීන් අපනයනය වර්ධනය කරගැනීම හා සංචාරකයන් ගෙන්වා ගැනීමට පැරණි සම්ප‍්‍රදායික වෙළඳ ප‍්‍රදර්ශන රටාවෙන් ඉවත්ව සමාජ මාධ්‍ය හා පුද්ගලාන්තර සන්නිවේදනයට නැඹුරු විය යුතුව ඇත. එයින් ලබාගත හැකි අවස්ථා විනිමය අවප‍්‍රමාණය, වඩාත්ම අක‍්‍රීය විදේශ මුදල් ඒකකය වැනි මාධ්‍ය මතවලින් ගැලවෙන්නටද හේතුවකි.

සාරා කන්දෙගොඩ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04