• බිලියන 50කට සතයක් බදු නොගෙවන ව්‍යාපාරිකයා
• තේ අපනයනයේ ආදායම හංගන අයියා මලෝ
පසුගිය දිනවල මුදල් ඇමැති වශයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ලේඛනය මගින් අධික ජීවන බරෙන් පීඩා විඳින දුප්පත් ජනතාවට කිසිදු සහනයක් ලැබුණේ නැති බවට අදහස් පළ විය. මුළුමනින්ම බදු ලේඛනයක් වූ එම අයවැය තුළින් ජනතාවට තවදුරටත් බිත්තියට හේත්තු කිරීමක් සිදුවූ බවක් පෙනෙන්නට තිබිණ.
මෙතෙක් දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 8.2ක්ව පැවැති රාජ්‍ය ආදායම 2025 වනවිට සියයට 15 දක්වා වැඩිකර ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් පැවසීය. එහිදී ක්‍රම දෙකකින් බදු ආදායම වැඩිකර ගැනීමට අපේක්ෂා කෙරුණි. පවතින බදු ප්‍රතිශත සංශෝධනය කිරීම සහ අලුතින් බදු පැනවීම මෙම දෙආකාරය විය. මෙහිදී මුලින් සියයට 8ක්ව පැවැති වැට් බද්ද හෙවත් එකතු කළ අගය මත බද්ද ඔක්තෝබර් 01දා සිට සියයට 15 දක්වා ඉහළ නැංවීය. එසේම වැට් බදු ගෙවිය යුතු ආදායම් පරාසය වර්ෂයකට මිලියන 300 සිට 120 දක්වා අඩු කිරීමෙන් වැඩි සංඛ්‍යාවක් වැට් බද්දට ගොදුරු කර ගැනීමට කටයුතු කර ඇත.
සියයට 2.5ක් වූ සමාජ ආරක්ෂණ බද්දක් අලුතින් පනවා තිබේ. වාර්ෂික පිරිවැටුප රුපියල් මිලියන 120 සිට ඉහළට ආදායම් ලබන ව්‍යාපාරිකයන්ගෙන් මෙය අයකරන අතර, බිලියන 140ක වාර්ෂික ආදායමක් මෙමගින් අපේක්ෂා කෙරේ. මෙම බද්ද වක්‍ර බද්දක් ලෙස අය කෙරෙන නිසා මුළුමනින්ම පාරිභෝගිකයාගේ කර මත වැටේ. මෙය නිෂ්පාදකයා, බෙදාහරින්නා, වෙළෙන්දා ආදී කිහිප දෙනකුට ගෙවන්නට සිදුවන නිසා මුළු බද්ද සියයට 7.50ට වැඩියෙන් ඉහළ යනවා ඇත.
තවත් අතකට වර්ෂයකට රුපියල් ලක්ෂ 30ක්ව තිබූ බදු නිදහස ලක්ෂ 12 දක්වා අඩුකර ඇති අතර එමගින් විශාල පිරිසක් බදු දැලට කොටුකර ගැනෙයි. මෙහිදී කාණ්ඩ වශයෙන් මුල් ලක්ෂ 12ට සියයට 4ක් ඊළඟ ලක්ෂ 12ට සියයට 8ක් ඊළඟට යළිත් 12ක් ආදී වශයෙන් සියයට 32 දක්වා බද්ද ඉහළ දමා තිබේ.
ඔක්තෝබර් මස 01දා සිට ක්‍රියාත්මක ව්‍යාපාර පිරිවැටුප් බද්ද වසරකට කෝටි 12ක ව්‍යාපාර පිරිවැටුපක් ඇති ව්‍යාපාරිකයන්ට ගෙවීමට සිදුව ඇති අතර, ඒ අයට අවම වශයෙන් වසරකට ලක්ෂ 30ක බද්දක් ගෙවීමට සිදුවෙනවා ඇත. එය මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් අයකර ගන්නා බව රජය පැවසුවද කුඩා ව්‍යාපාරිකයන්ටද බලපාන අතර අවසානයේ එම බද්ද ගෙවීමට සිදුවන්නේද පාරිභෝගිකයාටය.
මෙලෙස වක්‍ර බදු නිසා ජනතාව පෙළෙන පසුබිමක රජය ඍජු බදු අයකර ගැනීමට දක්වන උනන්දුව ඉතා මඳය. නිතරම වක්‍රබදු පිළිබඳ වගකිවයුත්තන් උනන්දුවක් දක්වන්නේ එමගින් පහසුවෙන් බදු අයකර ගැනීමට හැකිවන නිසාය. වක්‍ර බදු අයකර ගැනීමක් සිදු නොවන අතර ඉන් සිදුවන්නේ බදු අයවීමක් පමණි. භාණ්ඩ පාරිභෝජනය කරන අය නිරායාසයෙන් භාණ්ඩ සමඟ බද්දද ගෙවයි. එසේ වුවද ඍජු බදු අයකර ගැනීමට විශාල ආයාසයක් ගතයුතු නිසාම ඒ පිළිබඳ ගන්නා උත්සාහය අඩුව පවතී. ඍජු බදු අයකර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නමින් වෙනම දෙපාර්තමේන්තුවක් පැවතියද, එහි පවතින අකාර්යක්ෂමතාව, වංචා හා දූෂණ නිසා ඍජු බදු අයකර ගැනීම සාර්ථක නොවන බවද නිතරම පෙන්වා දෙන දෝෂයකි.
එවැනි පසුබිමක හිටපු ඇමැතිවරයකු හා වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වන මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා රාජ්‍ය බදු යාන්ත්‍රණයේ අඩුපාඩු පිළිබඳ සුවිශේෂ කරුණු රැසක් පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. එපමණකින් නොනැවතුණු හේ මේ කරුණු විශාල වශයෙන් මාධ්‍ය මගින්ද හෙළි කිරීමට සමත් විය. එහිදී ඔහු ප්‍රකාශ කළේ ස්වකීය කරුණු දැක්වීමට අදාළ විස්තර තමාට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ලැබුණු බවකි. ඔහු පැවසූ කරුණු සත්‍ය නම් අපේ බදු ක්ෂේත්‍රය කඩා වැටීමකට ලක්ව ඇති බව පැහැදිලිය. මේ පිළිබඳ වගකීම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පමණක් පවරා ඇඟ බේරා ගැනීමට රජයට නුපුළුවන. මෙය මුල සිට අග දක්වාම නිවැරදි කළයුතු තත්ත්වයකි. ඇතැම් විට ඔහු පෙන්වන ගණන් මිනුම්වලට වඩා සත්‍ය තත්ත්වය පුළුල් විය හැකි යැයි සිතේ.
ඔහු පවසන පරිදි රාජ්‍ය වාර්ෂික බදු ආදායම රුපියල් බිලියන 2200ක් වන අතර, වියදම එයින් දෙගුණයකි. හෙවත් බිලියන 4400කි. රටේ ජනගහණය මිලියන 22ක් වන අතර එයින් බදු ගෙවන සංඛ්‍යාව මිලියන 5.8ක් වේ. ප්‍රධාන සමාගම් 1,50,000ක් ඇති නමුත් එයින් බදු ගෙවන ආයතන අඩකටත් අඩුවේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු දෙලක්ෂ අසූ දහසක් ඇති නමුත් එයින් සක්‍රියව පවතින ගොනු සංඛ්‍යාව එක් ලක්ෂ විසිදහසක් පමණ වේ. අඩකට වැඩි ගොනු ප්‍රමාණයක් අක්‍රියව පවතින්නේ වාර්ෂික ආදායම් විස්තර නොඑවන නිසාය. දෙපාර්තමේන්තුව එසේ නොලැබෙන ආදායම් විස්තර ලබා ගැනීමට උනන්දු වන බවක් පෙනෙන්නට නැති බව ඇමැතිවරයා කියයි. මේ නිසා 2021 වසරේ ආදායම් බදු ගෙවා ඇත්තේ 30,000 වැනි සුළු ප්‍රමාණයකි. ඒ අයද තම ආදායම නිවැරදිව අනාවරණය කර ඇතිදැයි සැකසහිතය.
ප්‍රධාන සමාගම් එක් ලක්ෂ පන්දහසක් අතරින් බදු විස්තර එවා ඇත්තේ හැට දහසක් පමණි. ඔහු පවසා සිටින අන්දමට 2020 වසරේ බදු ආදායම රුපියල් මිලියන 532ක් වන අතර 2021 බදු ආදායම මිලියන 623ක් වී ඇත. මෙම තත්ත්වයට හේතුව එම කාලයේ රටේ පැවැති කොවිඩ් 19 වසංගත තත්ත්වය වෙයි.
අධික ලාභ ලබන ඇතැම් ව්‍යාපාරිකයන් ආදායම් බදු නොගෙවීම විලාසිතාවක් බවට පත් කරගෙන ඇත. මෙහි එක් උදාහරණයක් වන්නේ රටේ ප්‍රධානතම වී මෝල් හිමියා පසුගිය වසර පහ තුළ ආදායම් බදු හෝ වැට් බදු සතයක්වත් ගෙවා නොමැති වීමය. ඔහුගේ වාර්ෂික ලාභය රුපියල් බිලියන 50ක් වන අතර, ඔහුට වඩා පහළ ආදායම් ලබන වී මෝල් ව්‍යාපාරිකයන් රුපියල් මිලියන 30ක බදු ගෙවන බව හෙතෙම පවසයි.
මේ වනවිට රජය කැසිනෝ බලපත්‍ර 5ක් නිකුත් කර තිබේ. ඒ අය බලපත්‍ර ගාස්තු පමණක් ගෙවන අතර සිරිතක් වශයෙන් බදු ගෙවන්නේ නැත. මේ අය පිළිබඳ සොයාබැලීමට නිලධාරීන් උනන්දු වී ඇති බවක්ද නොපෙනේ. ඔහු අනාවරණය කරන තවත් දෙයක් වන්නේ "රේස් බයි රේස්" කරන ආයතනයකට නොගෙවූ වාර්ෂික ආදායම ගණන් බලා රුපියල් බිලියන දෙකක දඩයක් පැනවුවද, එහි අයිතිකරු ආදායම් බදු දෙපාර්තමේන්තුවට පැමිණ ලක්ෂ 10ක් පමණක් ගෙවා සිද්ධිය අවසන් කළ බවයි.
ඔහු මෙසේද පවසයි.
"තේ අපනයනයෙන් යූ.එස්. ඩොලර් මිලියන 650ක් අවුරුද්දකට ආදායම් ලබනවා. මෙයින් සියයට 80ක් අපනයනය කරන්නේ එක් සමාගමක් මගින්. එම සමාගම අයිති අයියා කෙනෙකුටයි. මල්ලී කෙනෙකුටයි. ඒ අය යූ.එස්. ඩොලර් මිලියන 520ක් ආදායම ලබන නමුත් බදු සඳහා පෙන්වන්නේ මිලියන 150ක ආදායමක්. ඉතිරි ආදායමට බදු ගෙවන්නේ නැහැ. එපමණක් නොවෙයි, අමෙරිකාවට වැඩිම නිමි ඇඳුම් අපනයනය කරන එක්තරා සමාගමක් ලබන ආදායම යූ.එස්. මිලියන 150ක්. එහෙත් ඒ අය බදුවලට පෙන්වන ආදායම මිලියන එකයි. ඉතිරි 149ට බදු අයවන්නේ නැහැ. ඇතැමුන්ට රටපුරා ෂොපින් මෝල් 30-40ක් ඇති නමුත් ශත පහක්වත් බදු ගෙවන්නේ නැහැ."
එක්තරා සුපිරි වෙළෙඳ සලකට ශාඛා 424ක් ඇති නමුත් එම සමාගම 2020 වසරට ශතයක්වත් බදු ගෙවා නැති බව හිටපු ඇමැතිවරයා පවසයි. කුරුණෑගල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙක් උදේ පංතියේදී සිසුන් 3000කට උගන්වන අතර ඔහු හවසට ගාල්ලේ පංතියකදීද තවත් සිසුන් 3000කට අධ්‍යාපනය දෙයි. චොපර් එකක ගමන් කරන ඔහු කිසිදු බද්දක් නොගෙවන බව කියයි.
ඔහු පවසන තවත් දෙයක් වන්නේ දිවයිනේ ඇති මත්පැන් බාර් 5300ක දිනක එක බාර් එකක ශුද්ධ ලාභය පොදුවේ රුපියල් 50,000ක් බවයි. මාසයේ ලාභය ලක්ෂ 15කි. වසරක ආදායම රුපියල් මිලියන 180ක් වුවද බාර් හිමියා බදු ලෙස ගෙවන්නේ ලක්ෂ 2කි. ඔහු බදු ලෙස ගෙවන්නේ අවුරුද්දේ දින 4ක ලාභය පමණයි. ඔහු වසරේ දින 365ම ආදායම් ලැබුවාට ගෙවන්නේ දින 4ක ලාභය පමණකි. දිවයිනේ ඉන්ධන පිරවුම්හල් 1800ක් ඇති අතර දිනකට තෙල් බවුසර් අවම වශයෙන් 5ක් එකකට පැමිණෙයි. එක බවුසරයකින් රුපියල් 94,000ක් ආදායම උපයන නමුත් එක බවුසරයක ආදායම හෝ බදු ලෙස නොගෙවන බව හෙතෙම පෙන්වා දෙයි.
හිටපු ඇමැතිවරයා පවසන මෙම කරුණු අසත්‍ය නම් ඔහුට එරෙහිව පියවර ගත හැකිය. එහෙත් එවැන්නක් මෙතෙක් සිදුව නැත. එම තොරතුරු ව්‍යාජ නම් බලධාරීන් ඒ බව විවෘතව ප්‍රකාශ කළ යුතුව ඇත. එනමුත් මෙතෙක් කිසිවකු තොරතුරුවලට අභියෝග කර නොමැති විමෙන් ඒවා සත්‍ය බව සනාථ වෙයි. රුපියල් බිලියන ගණන් මහා පරිමාණ ආදායම් ලබා ගැනීමට උනන්දු නොවන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතා අපහසුවෙන් ව්‍යාපාර කරන සුළු පරිමාණ ව්‍යවසායකයන්ගෙන් බදු අය කිරීමට දක්වන්නේ පුදුම උනන්දුවකි. මෙලෙස කණ්ඩායම් දෙකකට දෙවිදියකට සැලකීම පුදුම සහගතය.
මේ අතර, දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම්වරුන් වන එච්.ඒ.එල්. උදයසිරි සහ අයි.පී. සේනාරත්න යන මහත්වරුන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියක් යවමින් මහා පරිමාණ බදු පැහැරහැරීම් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් සිදුකරන ලද ප්‍රකාශයක් තුළින් අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් කරනු ලැබ ඇත.
මෙරට මහා පරිමාණ ව්‍යාපාරිකයන් සහ ආයතන ගණනාවක් බදු පැහැර හැරීම සිදුකර ඇති බවටත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකී බදු මුදල් අයකර ගැනීමට අපොහොසත් වී ඇති බවටත් කරුණු දක්වමින් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් පසුගිය අගෝස්තු 31, සැප්තැම්බර් 8 සහ 21 යන දිනවලදී පාර්ලිමේන්තුවේ සිදුකරන ලද ප්‍රකාශයන් පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කඩිනම් අවධානය යොමුකළ යුතුව ඇතැයි එම ලිපියෙන් දන්වා ඇත.
විශේෂයෙන්ම මෙරට මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාර, ඔට්ටු සහ සූදු ව්‍යාපාර, ඇඟලුම් ව්‍යාපාර, තේ අපනයන කර්මාන්ත මත්පැන් අලෙවි ව්‍යාපාර සහ ඉන්ධන බෙදාහැරීම් ව්‍යාපාර සම්බන්ධයෙන් කරුණු රාශියක් ඉහත ප්‍රකාශය තුළින් හෙළිදරව් කර ඇති අතර ඇතැම් ව්‍යාපාර විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් ගෙවීම පැහැර හරිනු ලැබ ඇති ආකාරය සම්බන්ධයෙන්ද තොරතුරු හෙළිකර තිබේ. එසේම ඇතැම් ව්‍යාපාර හා පුද්ගලයන්ගේ ආදායම් බදු වාර්තා සහ ලිපිගොනු තමා ළඟ ඇති බවද ඔහු පවසා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශ තුළින් රාජ්‍ය බදු ආදායමට බරපතළ හානියක් සිදුවීමට හේතු වී ඇති බදු පැහැර හැරීම් ගණනාවක් සම්බන්ධයෙන් වූ කරුණු රාශියක් සහ දේශීය ආදායම් බදු පනතට අනුව රහස්‍යභාවය ආරක්ෂා කළයුතු සංවේදී ව්‍යාපාරික තොරතුරු හා පෞද්ගලික තොරතුරු රාශියක් ඔහු සතුව ඇති බව තහවුරු කර ඇතැයි මෙම ලිපියේ සඳහන් කර තිබේ. මේ නිසා කොමිෂන් සභාවේ කඩිනම් අවධානය යොමුකර විධිමත් පරීක්ෂණයක් සිදුකර රාජ්‍ය බදු ආදායම අහිමිකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.
බදු අය කිරීමේ විෂමතාව පිළිබඳ අදහස් දක්වන කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසන්නේ ආණ්ඩුව ඍජු බදු අමතක කර වක්‍ර බදු පැනවීමට කටයුතු කිරීම නිසා කිසිදු පරිහරණයක් නොකරන සාමාන්‍ය ජනතාවට පවා බදු ගෙවන්නට සිදුවන බවය.
"ඍජු බදු සහ වක්‍ර බදු අනුපාත අපේ රටේ තිබිය යුත්තේ සියයට 50-50 අනුපාතයට වුවද ලංකාවේ අයකරන ඍජු බදු අනුපාතය සියයට 15-20 පමණ මට්ටමේයි. එයට හේතුව ඍජු බදු අයකිරීමේ අකාර්යක්ෂමතාවයි. ඍජු බදු අයකිරීමට නූතන තාක්ෂණය භාවිත කළ යුතු නමුත් අවාසනාවකට වගේ අපේ රටේ බදු අය කරන්නේ පැරුණි සාම්ප්‍රදායික ක්‍රමටයයි. ආණ්ඩුව දන්නේ නැහැ ජනතාවගේ ආදායම් සහ වත්කම්. එය දැනගැනීමේ ක්‍රමවේදයක් නැහැ. ඒ පුද්ගලයන් කියන හැටියටයි පිළිගන්නේ. සඟවා ගත් ආදායම් නිරාවරණය වන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා ස්වකීය වත්කම් අනාවරණය කර නැහැ. උසස් රාජ්‍ය නිලධාරීන් ලක්ෂ ගණන් ඉපැයුවත් ඒ ප්‍රමාණය ගණනය කරන්නේ නැහැ. ආදායම් දෙන්නේ අතරමැදියන් (Deal Makers) මගින්.
අවුරුදු 18ට වැඩි අය ලියාපදිංචි කරනවා යැයි කීවද එය ප්‍රායෝගික නැහැ. ඍජු බදු වැඩිකර ගැනිමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. අලුතින් බදු පනවනවාට වඩා තිබෙන බදු නිසියාකාරව අයකර ගත යුතු වෙනවා. එය නොකර අලුතින් බදු පැනවීම, වක්‍ර බදු වැඩි කිරීම ප්‍රායෝගික නැහැ. අද පවතින ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වන්නේ මෙම බදු අය කිරීමේ විෂමතාවයයි. අපි බදු ගෙවන්නේ අතීතයේ ලැබූ ආදායම්වලටයි. වෙන රටවල එලෙස නැහැ. ආදායම් ලැබෙන විටම බදු ගෙවිය යුතුයි. මුහුණ බලලා බදු අයකරන ක්‍රමයක් තමා අපේ රටේ ඇත්තේ.
I යසවර්ධන රුද්රිගු