2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා

ජීවිතය පරදුවට තබා කොල්ලකරුවන් මෙල්ල කළ තඹුත්තේගම පොලිස් යෝධයා

 2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 147

මහජනතාවගේ ජීවිත, දේපළ මෙන්ම සාමය ආරක්ෂා කිරීම සඳහා ඇවැසි පුහුණුව පොලිස් නිලධාරීන්ගේ ඇඟට කාවද්දා තිබේ. අසූ දහසකට අධික එවැනි පොලිස් නිලධාරීන් අතර පොලීසියට කීර්තියක්, ගෞරවයක් අත්කර දුන් ඔහු නිර්භීත නිලධාරියෙකි. රටේම ජනතාව කතා කරන තඹුත්තේගම පොලීසියේ සැරයන් (42313) බුද්ධික කුමාර මහතාගේ වික්‍රමාන්විත රාජකාරිය පොලිස් දෙපාර්තමේන්තුවට මෙන්ම රටටත් ආඩම්බරයකි.

ප්‍රධාන පෙළේ තොග ව්‍යාපාරිකයකු තඹුත්තේගම නගරයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන ආ රුපියල් දෙකෝටි විසිතුන් ලක්ෂයක මුදලක් කොල්ලකෑමට පැමිණි සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනකු මෙල්ල කර අත්අඩංගුවට ගැනීමට මෙම නිලධාරියා සමත් විය. දිවි පරදුවට තබා සිදු කළ වික්‍රමාන්විත රාජකාරිය පිළිබඳ සිදුවීම බිහිසුණු කතාවකි. 

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අල, ලූනු, පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳාමේ නිරත තොග ව්‍යාපාරිකයෙකි. සෑම දිනක් හැර දිනකදීම ව්‍යාපාරයෙන් ලබන ආදායම නගරයේ පෞද්ගලික බැංකු ගිණුමක තැන්පත් කිරීම ඔහුගේ පුරුද්දකි. පසුගිය 26 වැනිදා පස්වරු දෙකට පමණ ඔහු සිය මෝටර් රථයෙන් බැංකුව වෙත පැමිණියේය. මුදල් ඇසිරූ බෑගයද අතැතිව රථයෙන් බිමට බසිනවාත් සමඟම වේගයෙන් පැමිණි යතුරුපැදියකි. එහි පසුපැදිකරු ගිනිඅවියක් එල්ල කොට ව්‍යාපාරිකයා සතු මුදල් තොගය කොල්ලකා තිබුණේ අසුරු සැණෙකිනි. බියට පත් ව්‍යාපාරිකයා වහා දුවගොස් බැංකුව තුළට යන මොහොතේ කොල්ලකරුවන් අතින් මුදල් මිටි සීසීකඩ විසිරී ඇත්තේ කලබලයටය. වහ වහා ඒවා රැස් කරගෙන පලා යන්නට යුහුසුළු වුණු කොල්ලකරුවන් දෙන්නාට වැඩි මොහොතක් නොවීය.

තඹුත්තේගම පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ සේවය කරන සැරයන් බුද්ධික කුමාර මහතා සේවයට යමින් සිට තිබුණේ මංකොල්ලය සිදුවන බැංකුව ඉදිරිපිටිනි. සිය යතුරුපැදියට ඉන්ධන පුරවාගෙන එන අතරමගදී ඒ මහතා අහම්බයෙන් මෙම සිදුවීම දැක තිබිණි. බිම වැටී තිබෙන මුදල් මිටි අහුලාගන්නට උත්සාහ කරමින් සිටි දෙදෙනා දුටු සැරයන්වරයා සිතා ඇත්තේ බැංකුවෙන් ලබාගත් මුදල් බිම වැටෙන්නට ඇති බවය. එසේ නම් එය මීට වඩා ප්‍රවේශම් සහගත විය යුතු බවට උපදෙසක් දිය යුතු යැයි සිතා ඔහු යතුරුපැදිය බැංකුව ඉදිරිපිට නැවැත්වීය. බිම වැටී තිබූ මුදල් කන්දරාව අනුව යම් සැකයක් ඇතිවූයේ ක්ෂණිකවමය. පැමිණි මග දෙසටම වේගයෙන් යතුරුපැදිය හරවා නැවැත්වූ සැරයන්වරයා බිමට බහින්නට මත්තෙන් අසල සිටි කාන්තාවක ''සල්ලි හොරකම් කරගෙන යන්න හදන්නේ..'' යැයි කියනු ඔහුට ඇසී තිබිණි.

මෙවැනි මොහොතක පොලිස් දෙපාර්තමේන්තුවෙන් උගත් දෑ අනුව වහා ක්‍රියාත්මක නොවන්නේ නම් එය නිවටකමකැයි සිතූ සැරයන්වරයා කොල්ල කල්ලියේ පිරිස කොපමණදැයි නොදැන ඔවුන් වෙත කඩා පැන්නේය. ඒ මොහොතේ අයකු ගිනිඅවියක් සැරයන්වරයා වෙත දිගු කර ''මැරුං නොකා පලයං. මේක අපේ වැඩක්'' යැයි පවසා තිබිණි. එහිදී උපක්‍රමශීලීව මදක් පසුබසින්නට වූ සැරයන්වරයා මොහොතක් ඔවුන් දෙස බලා සිටියේය. අංක රහිත යතුරුපැදියකින් පලා යන්නට උත්සාහ කළ කොල්ලකරුවන් දෙදෙනා වෙත ඔහු යළිත් වරක් පැන යතුරුපැදිය බිම පෙරළා දමා ඔවුන් සමඟ පොර බදන්නට විය. මේ අතර ඔවුන් සතු ගිනිඅවිය උදුරාගත් සැරයන්වරයා එයින්ම කොල්ලකරුවන්ට පහර දී තරමක පාලනයකට යටත් කර ගන්නට සමත්ව තිබුණි. ඒ අතර ''පුළුවන් කෙනෙක් උදව් කරන්න. බය වෙන්න එපා. මුන්ට කරන්න පුළුවන් දෙයක් නෑ..'' කියමින් ඔහු අවට පිරිසගෙන් උදව් ඉල්ලා තිබිණි. එසැණින් අවට රැඳී සිටි විශාල පිරිසක් එතැනට රොක් වෙද්දී කොල්ලකරුවන්ට පලා යාමට ඉඩක් ලැබී නැත.

මේ මොහොතේ බැංකුව සතු ආරක්ෂිත නලා පද්ධතිය ක්‍රියාත්මක කොට ඇති අතර ක්ෂණයකින් මාර්ගයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් කිහිප පොළක් ද එතැනට පැමිණියහ. එහිදී කොල්ලකරුවන් දෙදෙනා සමඟ ඔවුන් පැමිණි යතුරුපැදිය, බෝර 12 ගිනිඅවියක් එම උණ්ඩ 1ක් සහ මන්නා පිහියක් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරුවන් අත්වැසුම්, හිස්වැසුම් පැළඳ මිරිස්කුඩු පාර්සලයක් ද රැගෙනවිත් තිබුණේ කොල්ලය සිදු කරන මොහොතේ අවශ්‍ය වුවහොත් භාවිත කිරීමටය. එහෙත් ව්‍යාපාරිකයා වැඩි කලබලයක් නොකළ හෙයින් ව්‍යාපාරිකයාට මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කිරීම සිදු කර නැත.

ග්‍රහණයට ගත් කොල්ලකරුවන් දෙදෙනාගෙන් අයකු එම බැංකුවේ ආරක්ෂක නිලධාරියකු බවට තහවුරු කර ගැනිණ. ඔහු ඊට පෙර දින රාත්‍රියේ සේවය නිමකර ගොස් තිබුණේ එදින උදෑසනය. 48 හැවිරිදි ඔහු යුද හමුදාවේ විශ්‍රාමිකයෙකි. එදින ඔහු නිවාඩු ලබා සිට ඇති අතර සේවයට පැමිණ ගතව ඇත්තේ මාසයක පමණ කාලයක් බවද වාර්තා වේ. සෙසු සැකකරු 50 හැවිරිදි අයකු වන අතර විවිධ අපරාධ කිහිපයකට සම්බන්ධ වූවෙකි. මොවුන් දෙදෙනාම රාජාංගණය පාර, කලුන්දෑගම පදිංචිකරුවෝ වෙති. 

කොල්ලකරුවන් කොල්ලය සඳහා සති කිහිපයක් සැලසුම් කොට තිබෙන අතර ව්‍යාපාරිකයා මෙදින පැමිණෙන තෙක් නගරයේ රුඳී සිට ඇති බව හෙළි විය. පසුව හෙළි වූයේ කොල්ලය සඳහා භාවිත කළ යතුරුපැදිය රාජාංගණය ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රී සුරංග මහේෂ් සූරියආරච්චිට අයත් වන බවය. ඒ අනුව එම පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීමට පියවර ගැනිණ. ඔවුන්ගේ සැලැස්මකට අනුව ව්‍යාපාරිකයාට අයත් රුපියල් දෙකෝටි විසිතුන් ලක්ෂයක් කොල්ලකා පලා යාමට කොල්ලකරුවන් උත්සාහ දරා ඇතැයි කියති.

පොලිස් දෙපාර්තමේන්තුවේ නිර්භීත නිලධාරියකු මැදිහත්වීමෙන් වැළැක්වුණු කොල්ලය පිළිබඳව තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි. දරු තිදෙනකුගේ පියකු වන පොලිස් සැරයන් බුද්ධික කුමාර මහතා එප්පාවල, කටියාව යාය - 2 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු සිදු කළ මෙහෙය සලකා සිය නිවෙසේ ඉදිරි වැඩ කටයුතු නිම කරදීම, මුදල් ත්‍යාගයක් ලබාදීම හා ඉදිරි තනතුර සඳහා උසස්වීමක් ලබා දීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කොට තිබෙන බව වාර්තා විය.


I සමන්ත විල්තෙර