2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා

සිව්වැනි වරටත් ගිනිගත් කජීමාවත්ත!

 2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 52

කොළඹ, තොටළඟ, ෆර්ගියුෂන් පාරේ, මුවදොර උයන තට්ටු නිවාස සංකීර්ණයේ පසුපස පිහිටි කජීමාවත්තේ පැල්පත් නිවාස පෙළක පසුගිය 27දා හදිසියේ ඇති වූ ගින්නකින් එහි නිවාස 71ක් දැවී විනාශ වී තිබුණේ පුද්ගලයින් 306 දෙනකු අවතැන් කරමිනි. මෙහි නිවාස 60ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන අතර තවත් නිවාස 11කට අර්ධ හානි සිදුව තිබේ. අවතැන් වූවන් 306 දෙනා අතර 200 දෙනකු වැඩිහිටියන් බවත් සෙසු 106 දෙනා ළමුන් බවද කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වාර්තා කරයි.

කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාදම්පිටිය ග්‍රාමසේවා වසමේ පිහිටි කජීමාවත්ත පැල්පත් නිවාස ආශ්‍රිත ගින්න 27දා රාත්‍රියේ 7.30ට පමණ හටගෙන ඇත. එම ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 13ක් සමග ගිනි නිවන භටයන් 60 දෙනකු යෙදවූ බව කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව වාර්තා කළේය. අදාළ භූමියට පිවිසෙන මාර්ගය පටුවීම නිසා ගිනි නිවන රථවලට එහි ළඟාවීම ප්‍රමාද වී තිබුණි.

පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාව පොලීසිය ගිනි නිවන හමුදාව කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා හා සෞඛ්‍ය අංශ කැඳවා තිබුණේ ජනපතිවරයාගේ උපදෙස් පරිදිය. අවතැන් වූවන් මෝදර උයන ප්‍රජාශාලාවේ සහ කැලණි නදී විහාරස්ථානයේ පහසුකම් සහිතව රඳවා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කොළඹ මහ නගර සභාව, මාදම්පිටිය ග්‍රාම නිලධාරී, ග්‍රෑන්ඩ්පාස් පොලීසිය, ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීම හා සහයෝගය මත අවතැන් වූ පිරිස් සඳහා ආහාර පාන ඇතුළු මූලික පහසුකම් අඛණ්ඩව ලබාදීම සිදු කෙරේ. සර්වෝදය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක සහාය ඇතිව එම පවුල්වලට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ වියළි ආහාර සළාක පිරිනැමීමට කටයුතු කෙරිණ.
2007 වර්ෂයේ සිට තොටළඟ, කජීමාවත්ත අතරමැදි කඳවුරක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවත්වාගෙන ගොස් තිබෙන අතර, 2014 අවසන් වනවිට එහි සිටි සියලුදෙනාට නිවාස ලබා දී අවසන් කළ බව නාගරික සංවර්ධන අධිකාරිය  පෙන්වා දෙයි. නමුත් 2015 වසරේ සිට විටින්විට අනවසර පදිංචිකරුවන් විසින් මෙම ඉඩම අත්පත් කරගෙන ඇති බව වැඩිදුරටත් නාගරික සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. පසුගිය වර්ෂ දෙක ඇතුළත අවස්ථා 03කදී මෙම නිවාස ගිනි ගැනීමට ලක් වූ බවත් ඉකුත් (27) සිදුවීම සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් වහාම සිදු කළ යුතු බවට ජනපතිවරයා පත්කළ කමිටුව තීරණය කොට තිබේ. එසේම අවතැන්ව සිටින සියලුම පාසල් දරුවන් ලබන සඳුදා (03) සිට සුපුරුදු පරිදි පාසල් යැවීම සඳහා අවශ්‍ය පෙළ පොත්, අභ්‍යාස පොත්, නිල ඇඳුම් සහ පාවහන් ලබා දීමටත්, ගැබිණි මව්වරුන්, මව්වරුන් හා කාන්තාවන්ගේ සියලු සෞඛ්‍ය පහසුකම් සැලසීමටත්, පිසූ ආහාර අඛණ්ඩව සැපයීම සහ තාවකාලික නවාතැන්පළවල අත්‍යාවශ්‍ය සියලු මූලික පහසුකම් සැලසීමටත් තීරණය කෙරිණ.

නිවාස පෙළේ මැද එක් නිවෙසක ගිනිගැනීමක් ඇතිවූ බව ප්‍රදේශයේ පදිංචිකරුවකු දැක තිබුණු බවද ඔහුගේ කෑගැසීමට අසල්වැසියන් රැස්ව ගින්න නිවීමට උත්සාහ කළ බවද කියති. එහෙත් වේගයෙන් ගින්න පැතිරීම නිසා ග්‍රෑන්ඩ්පාස් පොලීසියට හා ගිනි නිවන හමුදාවට දැන්වූ බව ඔවුහු කියා සිටියෝය. මේ ආකාරයට ජීවිත හානි හා තුවාල රහිතව හානිය අවම කරගෙන ගින්න මැඬලීමට කොළඹ මහනගර සභාවේ ගිනි නිවන හමුදා නිලධාරීහු සමත්ව සිටිති.

ගිනිගත් නිවාස පෙළේ පංදිචිකරුවන්ට අමතරව වෙනත් පවුල් කිහිපයක්ද එහි තාවකාලිකව පදිංචිව ඇතැයිද පැවසේ. පොලීසිය පවසන්නේ කජීමාවත්ත තුළ පැල්පත් නිවාස 250ක් පමණ පැවති බවය. මේ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ කජීමාවත්ත පැල්පත්වල පංදිචිකරුවන් රැසකට ඒ ආසන්නයේම මුවදොර තට්ටු නිවාස සංකීර්ණයේ ස්ථිර නිවාස ලබාදී ඇති බවය. එහෙත් බොහෝ පිරිසක් තවමත් පැල්පත් නිවාසවල රැඳී සිටින බවද වාර්තා වේ. එනමුත් රාත්‍රී කාලයේ පැල්පත් නිවාසවල පදිංචිව සිටින බව ඇඟවීම සඳහා ලාම්පුවක් හෝ අනවසර විදුලි බල්බයක් දල්වා යන බවද කියති. මෙසේ ස්ථීර නිවාස ලැබී තිබුණද හෙරොයින් ගංජා හෝ නීති විරෝධී කටයුතුවල නිරත පිරිස් තට්ටු නිවාසවලින් බැහැරව පැල්පත් නිවාසවල ගතකරන බව වාර්තා වේ. ඔවුන් රාත්‍රියට පමණක් තට්ටු නිවාස භාවිත කරන බවද තතු දන්නෝ පවසති. නිතර නිතර ජාවාරම්කරුවන් සැරිසරන මෙම කජීමාවත්ත පැල්පත් නිවාසවල ස්ථීර පදිංචිකරුවන් හා අනවසර පදිංචිකරුවන් හඳුනාගැනීමත් අසීරුය. කෙසේ නමුත් පිරිස වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන නිවාස හානි වූ අයට නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික සංවර්ධන අධිකාරිය මගින් නිවාස ලබාදීමට ඇති හැකියාව සොයාබලන බව කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

2018 වසරේදී මෙම වතු නිවාස පෙළේ පදිංචිකරුවන් රැසකට තට්ටු නිවාස ලබාදී අනවසර පදිංචිකරුවන් සියල්ල එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි. එහිදී ආණ්ඩුව අනවසර පැල්පත් සියල්ල ගලවා දැමීමට කටයුතු කළේය. මෙහිදී කුපිත වූ පැල්පත්වාසීන් එහි පැමිණි බැකෝ යන්ත්‍රවලටද ගල් ප්‍රහාර එල්ල කර ඇති අතර පසුව තොටළඟ පාලම මතට පැමිණ මාර්ගය හරස්කර රථවාහන ගමනාගමනය අඩාල කර උද්ඝෝෂණයක නිරත වූහ.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇතැයි දැනට විශ්වාස කෙරේ. ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර