මහමග අප නිතර දකින රක්ත වර්ණ පුවරුවක සිට පන්දමක් අතින් ගෙන දිවයන මිනිසාගේ ප්‍රාණ වායුව නිරුද්ධ වෙමින් පවතියි. අපට එලෙස හැඟුණේ පසුගිය දිනෙක අසන්නට ලැබුණු පුවතක් නිසාවෙනි. සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වැසීයාමේ අවදානමක් පිළිබඳ එම පුවත හරහා කියැවුණි. මෙහි සත්‍ය අසත්‍යතාවය දැනගනු වස් ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතාව අපි සම්බන්ධ කරගතිමු.
''ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආරම්භ කළ මුල් වකවානුවේ ඉඳන් තිබුණ පහසුකමක් තමයි, ඉන්ධන තොග ඇණවුම් කරලා අදාළ තොග ලැබුණට පස්සේ මුදල් ගෙවීමේ පදනම.''
අප තොරතුරු විමසා සිටි විට සිපෙට්කෝ ඉන්ධන පිරහුම්හල් වැසීයාමේ අවදානම පිළිබඳ කපිල නාඔටුන්න මහතා සිය කතාව ආරම්භ කළේ එලෙසය.
''රට තුළ නිර්මාණය වුණු ආර්ථික අවපාතයත් සමඟ සංස්ථාව අපෙන් ඉල්ලීමක් කළා පසුව මුදල් ගෙවීමේ පදනම අවලංගු කරන්න. ඒ වගේම මුදල් ගෙවලා ඉන්ධන ලබාගන්න. දැන් මේ වෙනකොට ගෙවන මුදල් ගෙවල ලබාදෙන ඇණවුමටත් ඉන්ධන නොලැබෙන වටපිටාවක් නිර්මාණය වෙලා.''
වර්තමානයේ පෙට්‍රල් ලීටර් 6600ක තොගයක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 28කට අධික මුදලක් සංස්ථාවට ගෙවීමට සිදුව ඇති බව කපිල නාඔටුන්න මහතා පෙන්වා දෙයි. ඩීසල් ලීටර් 6600ක් වෙනුවෙන් ලක්ෂ 27.5කට අධික මුදලක් ගෙවිය යුතුව ඇති අතර පෙට්‍රල් 95 ලීටර් 6600ක් වෙනුවෙන් ලක්ෂ 35ක් ගෙවීමට සිදුව තිබේ.
''ඒ තරම් මුදලක් එකවර ගෙවීම අපහසුයි. බොහෝ බෙදුම්කරුවන් මේ හරහා අපහසුතාවයට ලක්වෙලා ඉන්නෙ. මේ මුදල් ගෙවීමේ පදනම ආරම්භ වනවිට බැංකු පොලිය තිබුණේ සියයට 8ත් 10ත් අතර ප්‍රමාණයක. දැන් බැංකු පොලිය සියයට 34 දක්වා ඉහළ ගිහින් තියෙනවා. බැංකු අයිරා ගැනීමේදී ගෙවන පොලී මුදල සලකන විට ඇණවුම් ඉදිරිපත් කිරීමට අපහසු වෙනවා. ඒ වගේම ඉදිරිපත් කරන ඇනවුම් සඳහා ඉන්ධන නොලැබීමත් ගැටලුවක්.''
දැවැන්ත අසාධාරණයක් මෙම තත්ත්වය මත කුඩා පරිමාණ සිපෙට්කෝ පිරවුම් හල්වලට සිදුව ඇතැයි ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා අප සමඟ කීය. අධික මුදලක් එකවර ගෙවීමට සිදුවීම නිසාවෙන් මෙම පිරවුම්හල් වැසීයාමේ තර්ජනයකට මුහුණ පා සිටින බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
''නගරාසන්න පිරවුම්හල්වලට වඩා නගරයෙන් පිටත පිරවුම්හල් බොහොමයක් මෙම තර්ජනයට මුහුණපාලා තිබෙනවා. අධික මුදලක් ගෙවලා තොග ලබාගත්තත් QR ක්‍රමය මත අලෙවියත් සීමාවෙලා තියෙන්නෙ. ඒ වගේම වර්තමාන ආර්ථික වටපිටාව මත ඉන්ධන මිල දී ගැනීමත් පාරිභෝගිකයන්ට ඉතා අපහසුයි. මේ නිසා ලක්ෂ 30ක් 35ක් ගෙවලා ඉන්ධන තොගයක් ලබාගත්තත් ඒ ඉන්ධන විකුණන්න දවස් තුන හතරක් යනවා නගරයෙන් පිටත පිරවුම්හල්වලට.''
කාලය සහ මුදල් අතර පවතින අන්තර් සම්බන්ධය පිළිබඳ කපිල නාඔටුන්න මහතා පහදා දෙයි. මෙම තත්ත්වය මත බැංකු අයිරාවන් වෙනුවෙන් අධික පොලියක් ගෙවීමට නගරයෙන් පිටත කුඩා පරිමාණයේ පිරවුම්හල්වලට සිදුව ඇති බව පැහැදිලිය. දැනටමත් සිය ව්‍යාපාර අඩපණ වූ පිරවුම්හල් පිළිබඳ වාර්තා ලැබෙමින් පවතියි.
තවත් පසෙකින් සිපෙට්කෝ ඉන්ධන ලැබීමද ඉතා සීමාසහිතව සිදුවන බව මෙම සංවාදයේදී හෙළිදරව් වේ. ඉන්දියන් ඔයිල් සමාගමේ පිරවුම්හල් වෙත ඇති පමණ ඉන්ධන ලැබෙමින් පවතී. ඇතැම් තැනක QR ක්‍රමයද නොසලකමින් ඔවුන් ඉන්ධන අලෙවිය සිදුකරන බවට පැමිණිල්ල ලැබී ඇතැයි කපිල නාඔටුන්න මහතා පෙන්වා දෙයි. මේ අතර උද්ගතව ඇති නවතම ගැටලු පිළිබඳවද නාඔටුන්න මහතා කරුණු පැහැදිලි කරයි.
''විශේෂයෙන්ම මහජන බැංකුව සිපෙට්කෝ ආයතනයේ ආරම්භයේ සිටම ගනුදෙනු සිදුකරපු ආයතනයක්. අපි බෙදුම්කවරුන් 1200 ගණනින් හාරසියයකට අධික බෙදුම්කරුවන් පිරිසක් ගනුදෙනු කරන්නේ මහජන බැංකුවත් සමඟ. පසුගිය 26 වැනිදා ඉඳලා මහජන බැංකුවේ ගිණුම් වලට මුදල් තැන්පත් කිරීම අත්හිටුවන්න කියලා සංස්ථාව නියෝග පනවල තිබෙනවා. මේ නිසාවෙනුත් බෙදුම්කරුවන් ලොකු අපහසුතාවයකට පත්වෙලා ඉන්නවා.''
මෑතකාලීනව සිපෙට්කෝ පිරවුම්හල් විදේශ සමාගම් වෙත විකුණා දැමීමේ අරමුණින් මේ ආදී කටයුතු සිදුවන බවට කතිකාවක්ද නිර්මාණය වී තිබුණි. ඒ සම්බන්ධව කපිල නාඔටුන්න මහතාගෙන් අපි විමසා සිටියෙමු. එහිදී ඔහු කියා සිටියේ එවන් කටයුත්තක් පිළිබඳවද මෙවන් වටපිටාවක සැකයක් උපදින බවයි.
''පසුගිය කාලේ ඉන්ධන අලවියෙන් පාඩු ලබනකොට අයි.ඕ.සී සමාගම ඉන්ධන නිකුත්කිරීම දැඩිව සීමා කළා. එම කාලය තුළ බොහෝ බෙදුම්කරුවන්ට තෙල් නොලැබෙන තත්ත්වයක් තිබුණා. නමුත් දැන් ලාබ තියන නිසා අයි.ඕ.සී සමාගමේ පිරවුම්හල්වල ඇතිතරම් තෙල් තියනවා. අනාගතයේදීත් යම් ගැටලුවක් මතුවුණාට පස්සෙ ඔවුන් සැපයුම් සීමා කළොත්, ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් තමා අපහසුතාවයට ලක් වන්නේ.''
රාජ්‍ය හා සම්බන්ධ දේශීය ආයතනයකින් පුරවැසියා කෙරෙහි දක්වන සානුකම්පිත බව කිසිදු විදේශීය ආයතනයකි බලාපොරොත්තු විය හැක. එම නිසාම මෙම දේශීය ව්‍යාපාර ආරක්ෂා කරගැනීම බලධාරීන්ගේ වගකීමයි. ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ හැක්කේ දේශීය ව්‍යාපාරිකයාගේ බොටුව සිර කිරීමෙන් නොවේ. ඔවුන් හා එක්ව ගමනක් යාමෙනි.
සංවාද සටහන: චමිඳු නිසල් ද සිල්වා