2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා

රටම අන්දමන්ද කළ මන්දපෝෂණය

 2022 ඔක්තෝබර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 08:01 312

මේ වනවිට අපේ රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව විවිධ අපහසුතාවන්ට මුහුණ දී සිටිති. රටේ සමහරුන්ට නිසි ආහාර වේලක් නොලැබීමේ අවාසනාවන්ත තත්ත්වය දැන් රටපුරා නව අර්බුදයක් මතුකරමින් පැතිර යමින්  තිබේ. මේ අතර අපේ රටේ ආහාර හිඟය සහ ළමා මන්දපෝෂණය සම්බන්ධ කරමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයන්ද විවිධ පාර්ශ්ව වෙතින් මේ වනවිට ඉදිරිපත්ව ඇත. නමුත් තවමත් ඉදිරිපත්ව නැත්තේ රටේ ජනතාවට නිසි ආහාර වේලක් ලබාගැනීමට අවශ්‍ය ආර්ථික සවිමත්බව ලබාදෙන හෝ භාණ්ඩ මිල නියාමනය කෙරෙන වැඩපිළිවෙළය.

මෑතකදී ශ්‍රී ලංකාවේ UNICEF හි ප්‍රකාශක බිස්මාර්ක් ස්වන්ජින් කළ ප්‍රකාශයකින් දැක්වූයේ  දකුණු ආසියාවේ ළමා මන්දපෝෂණ අනුපාතය ඉහළ රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළම තැනක සිටින අතර, වත්මන් ආර්ථික අර්බුදය ළමා මන්දපෝෂණ අර්බුදය තවත් උග්‍ර කිරීමට පමණක් හේතු වී ඇති බවය. එසේම යුනිසෙෆ් සංවිධානයට අනුව, රටේ පවුල් 10න් 7ක්ම ඔවුන්ගේ ආහාර පරිභෝජනය මේ වනවිට අඩුකර තිබෙන බවද ස්වෙන්ජින් පැවසීය. ඒ අනුව වේල් තුනක් ගත් අය එය දෙක දක්වා අඩුකර ඇති අතර වේල් දෙකක් ගත් අය එය එකකට සීමාකර ඇති බව ස්වන්ජි පෙන්වා දෙයි.

ඔහු පෙන්වා දී තිබුණේ රටේ ආර්ථික අර්බුදය දරුවන් අතර අර්බුදයක් බවට පත්ව ඇති අතර මෙරට දරුවන් මිලියන 1.7ක් මේ නිසා පීඩාවට පත්ව ඇති බවය. යුනිසෙෆ් සංවිධානය මෑතදී ශ්‍රී ලංකාවේ ළමුන් මිලියන 1.7ක් සඳහා මානුෂීය ආධාර ලබාදීම සඳහා ඩොලර් මිලියන 25ක පරිත්‍යාග සඳහා ආයාචනයක් කරන ලද අතර, මන්දපෝෂණය හා සම්බන්ධ හේතූන් නිසා මියයාමේ අවදානමක් පවතින බවටද අනතුරු අඟවා තිබුණි.

ගුණාත්මක ආහාර අවශ්‍ය පරිදි නොලැබීම හේතුවෙන් උග්‍ර මන්දපෝෂණය සහිත වයස අවුරුදු 5ට අඩු ළමුන් ඉහළම අනුපාතයක් සහිත දකුණු ආසියාවේ රටවල් අතරින්  දෙවැනි තැන ශ්‍රී ලංකාවට හිමි බවටද, ගෝලීය ළමා මන්දපෝෂණ දර්ශකයේ 6 වැනි ස්ථානයට රට පත්ව ඇති අතර අවම වශයෙන් රටේ දරුවන්ගේන් 17%ක් මරණීය අවදානමක් පවා ඇති නිදන්ගත කෘෂවීම නිසා ඇතිවන අබල දුබල බවින් පීඩා විඳින බවද මෙහිදී පෙන්වා දී තිබුණි.   

මේ අතර ලෝක ආහාර වැඩසටහන පවසා ඇත්තේද, රටපුරා ආහාර මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් බොහෝ දෙනා විවිධත්වයෙන් අඩු ආහාර පරිභෝජනයට නැඹුරුව ඇති බවයි. ඉදිරියේදී මෙම තත්ත්වය තවත් අයහපත් තත්ත්වයට පත්විය හැකි බවට ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවා ඇත.

‍නමුත් මේ වනවිට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය ළමා මන්දපෝෂණය පිළිබඳ UNICEF විසින් නිකුත් කරන ලද වාර්තාව ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ වාර්තාව සඳහා යොදාගෙන ඇති දත්ත යල් පැනගිය ඒවා බවට හේතු දක්වා තිබේ. යුනිසෙෆ් වාර්තාව මගින් 2016 වසරේ සමීක්ෂණ දත්ත සලකා බලා ඇති බව ඔවුන් ඉදිරිපත් කර ඇති තර්කයයි.

වඩාත් මෑතක රැස් කළ දත්ත අනුව අවදානමක් තිබුණද රට මේ කියන මට්ටමටම දැඩි  අර්බුදයකට තවමත් පත්ව නැති බව ඔවුන් පෙන්වා දෙයි. ඒ සඳහා ඔවුන් ජාතික වෛද්‍ය පර් ෙය්ෂණායතනය සිදුකළ සමීක්ෂණයක සඳහන් දත්ත ඉදිරිපත් කර ඇත. එයට අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය සියයට 13.2 කින් අඩු වී ඇති බව තහවුරු වී තිබේ.

ශ්‍රී ලංකාවේ දරුවන් අතර කෙට්ටු වීම නිසා රෝගාබාධ හා මරණ ඇතිවීමේ අවදානමක් නොමැති අතර, මැරස්මස් හෝ ක්වාෂියෝකෝර් වැනි උග්‍ර මන්දපෝෂණ අර්බුදවලට ගොදුරු වීමේ අවදානමක්ද වාර්තා වී නොමැති බවත්,  දිගුකාලීන මන්දපෝෂණය සලකා බැලීමේදී ශ්‍රී ලංකාව පෝෂණය සම්බන්ධයෙන්, තවමත් අප්‍රිකානු රටවලට වඩා හොඳ මට්ටමක සිටින බවත් අපේ රට උසින් ඉහළම රටවල් 150 අතර 70 වැනි ස්ථානයට පත්ව ඇති බවත් සෞඛ්‍ය ලේකම්වරයාද පෙන්වා දී ඇත.

පසුගිය දෙසැම්බර් මාසයේ සිදුකළ සමීක්ෂණයකින් මෙරට දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ පෝෂණ මට්ටම අඛණ්ඩව අඩුවෙමින් පවතින බව හෙළිවූ බව පෝෂණවේදීන් පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාවට මේ වනවිට ඉලක්කගත ශක්තිමත් පෝෂණ මැදිහත්වීම් සහිතව සමස්ත ජනගහනය අතර පෝෂණ සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමුකරන හදිසි වැඩසටහනක අවශ්‍යතාව MRI වෙතින් ඉදිරිපත්ව ඇති Diet-adequacy වාර්තාවේ නිර්දේශ මගින්, අවධාරණය කර ඇත.

ඒ අනුව මේ වනවිට ගැබිනි මවුවරුන්ගේ සහ කුඩා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි පෝෂණ සැලැස්මක් සකස් කර තිබෙන අතර අනාගත ආහාර සුරක්ෂිතතාව සඳහා ක්‍රියාකාරි වැඩපිළිවෙළක් අරඹා ඇති බවද සෞඛ්‍ය ලේකම්වරයා පෙන්වා දී ඇත.

පාර්ලිමේන්තුවේද විවාදයට ලක්වූ මේ ආන්දෝලනය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබුණේ විවිධ පාර්ශ්ව විවිධ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළද මෙරට ජනතාව ප්‍රමාණවත් පෝෂණීය ආහාර සපයා ගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටින බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි බවය.

I සුගත් පී. කුලතුංගආරච්චි