රජය නව නීති ගෙන එමින් අරගලයේ යෙදුණු පිරිස දිගු කාලයක් කඳවුරු තුළ රඳවා තබාගැනීමට සැරසෙන බවට විපක්ෂය හා සමාජ ක්‍රියාකාරීහු චෝදනා නගති. ඒ මේ වනවිට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙන අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට සැප්තැම්බර් 23 වැනිදා ඉදිරිපත් කළ පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත හරහායි.
විවිධ කණ්ඩායම් දැනටමත් කෙටුම්පතට එරෙහිව විරෝධතා දක්වා ඇති අතර සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මෙම කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ඉදිරිපත් කර තිබේ.
පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත
පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පතට අනුව පුනරුත්ථාපන කාර්යාංශය පිහිටුවීමේ පරමාර්ථය සමාජ - ආර්ථික ප්‍රමිතීන් සකස් කිරීම මාර්ගයෙන් සඵලදායී ප්‍රතිසංකලනය හා ප්‍රතිසන්ධානය සහතික කිරීම පිණිස, විවිධ ප්‍රතිකාර ක්‍රම යොදාගැනීමෙන් ඖෂධවලට ඇබ්බැහිවූවන්, පෙර සටන්කරුවන්, ප්‍රචණ්ඩකාරී, අන්තගාමී කණ්ඩායම්වල සාමාජිකයන් සහ ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය අවශ්‍ය වෙනත් තැනැත්තන් කණ්ඩායමක් පුනරුත්ථාපනය කිරීමය.
කාර්යාංශයේ බලතල හා කාර්යයන්ට අනුව මූලික වන්නේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන ඉල්ලා සිටින හෝ ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ලබා දිය යුතු යැයි නීතියෙන් නියම කර ඇති ඖෂධවලට ඇබ්බැහි වූ තැනැත්තන් සඳහා ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ලබා දීමය.
පෙර සටන්කරුවන්, ප්‍රචණ්ඩකාරී අන්තගාමී කණ්ඩායම්වල කණ්ඩායම්වල සාමාජිකයන් සහ ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ඉල්ලා සිටින හෝ ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ලබා දිය යුතු යැයි, නීතියෙන් නියම කර ඇති වෙනත් යම් තැනැත්තන් කණ්ඩායමක් පුනරුත්ථාපනය කිරීම මෙන්ම සමාජ ආර්ථික ආන්තිකකරණය අවදානම අවම කරමින් ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ලබාගන්නා සහ පුනරුත්ථාපනය ලබාගන්නා තැනැත්තන්ගේ රැකියා සොයා ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම එහි කාර්යයන් අතර වෙයි.
ඒ සඳහා ත්‍රිවිධ හමුදාව යොදාගැනීමට පනත් කෙටුම්පතෙන් යෝජනා කර ඇත.
කෙසේ වෙතත් මෙහිදී නැගෙන ප්‍රධාන චෝදනාව වන්නේ ජනතා අරගලයේ ක්‍රියාකාරීන්, පුනරුත්ථාපනය මුවාවෙන් දීර්ඝ කාලයක් කඳවුරු තුළ රඳවා ගැනීමට අවස්ථාව හිමිවන බවටය.
මේ හේතුවෙන් මෙම පනත් කෙටුම්පත මේ වනවිට දැඩි සංවාදයකට ලක්ව තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
පුනරුත්ථාපන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් සැප්තැම්බර් 30 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කළේ, මේ මගින් හමුදා කඳවුරු දමමින් ජනතාව බිය වද්දා පාලනය කිරීමට උත්සාහ කරන බවයි.
එමගින් පුරවැසි නිදහස සම්පූර්ණයෙන්ම අහිමිවන බවට ඔහු චෝදනා කළේය.
“මේ වගේම තමා දෙවැනි ලෝක යුද්ධය කාලයේදී අමෙරිකානුවන් ජපානයේ අයව මේ විදිහටම තමා කඳවුරුවල දාලා හිරකරලා තියාගෙන හිටියේ. අනික් පැත්තෙන් ජර්මනියේ හිට්ලර් මිලියන ගාණක් යුදෙව්වන්ව කඳවුරුවල දාලා මැරුවේ. මේ අරඅදින්නේ එවැනි හමුදා කඳවුරු දමමින් ජනතාව බිය වද්දලා පාලනය කරන්න." එස්.එම්. මරික්කාර් චෝදනා කළේය.
"දැන් මේකේ ඓතිහාසික කාරණාව ජපානයට යන්න කලින් තමා මේ ගැසට් එක ගහන්නේ, අධි ආරක්ෂිත කලාප ගැසට් එක ගහන්නේ. ජපන් ජනතාව මුහුණ දුන් සංවේදීම අත්දැකීම, එවැනි මානසිකත්වයකින් ඉන්න අය ගාවට තමා ණය ප්‍රතිව්‍යුගත කරන්න යන්නේ මෙවැනි ගැසට්ටුවක් ගහලා." ඔහු පෙන්වා දුන්නේය.
කෙටුම්පත පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ ද සිය දැඩි විරෝධය පළ කළේය.
"මේ වනකොට රනිල් රාජපක්ෂලා හදනවා අරගලකරුවන් පුනරුත්ථාපනය කරන්න. පුනරුත්ථාපනය කරන්න ඕනේ උන් කැබිනට් එකේ තියාගෙන, පාර්ලිමේන්තුවේ තියාගෙන දැන් අරගලකරුවෝ පුනරුත්ථාපනය කරන්න." ජනතා විමුක්ති පෙරමුණු හිටපු පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ පැවසීය.
"පුනරුත්ථාපනය කරන්න ඕනේ ඕගොල්ලෝ. ඕගොල්ලෝ හොරකමට ඇබ්බැහිවෙලා ඉන්නේ. දූෂණයට ඇබ්බැහිවෙලා ඉන්නේ. මර්දනයට ඇබ්බැහිවෙලා ඉන්නේ. මේ සමාජයයේ පුනරුත්ථාපනය කරන්න ඕනේ ඕගොල්ලෝ. අද ගෝඨාභය ගිය එක වැරදිද?, එහෙනම් රනිල් අයින්වෙලා ගෝඨාභය ආපහු ජනාධිපති වෙන්න එපායැ, අරගලය වැරදි නම්. ඔය කැබිනට් එක යවන්න ඕනේ මොළය පරීක්ෂා කරලා පුනරුත්ථාපනය කරන්න. මුං හොරකමට, දූෂණයට, වංචාවට, ඇබ්බැහි වෙච්ච උන්." ඔහු කියා සිටියේය.
රැල්ලට එක්වූ තරුණයන් සමාජගත කිරීමේ වැඩපිළිවෙළක්
අරගලය මෙහෙයවූ පිරිස අත්අඩංගුවට ගෙන රැල්ලට ඊට එක්වූ තරුණයන් සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය.
"අරගලයට සම්බන්ධ අහිසංක දරුවෝ ඉන්නවා ඒ දරුවන්ව රිමාන්ඩ් කරලා පොලිස් වාර්තා දීලා රුකියාවක් ගන්න බැරි තැනට කටයුතු කිරීම වැරදියි." ඔහු කියා සිටියේය.
"අපි කියන්නේ මේක මෙහෙයවපු අයට දඬුවම් දිය යුතුයි. හැබැයි රුල්ලට ආපු ළමයි නම් අත්අඩංගුවට අරන්නිකරුණේ බන්ධනාගාර ගත කිරීමෙන් ප්‍රතිඵලයක් නැහැ. මේක මෙහෙයවපු අය එළියේ බලාගෙන ඉන්නවා." නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කියා සිටියාය.
"එගොඩ කරන්න දරුවෙක් ඉන්නවනේ රනිල් රාජපක්ෂට. ඒ දරුවා මීට මාස කිහිපයකට කලින් කිව්වා මේ අරගලකරුවන් පුනරුත්ථාපනය කරන්න ඕනේ කියලා. රනිල් රාජපක්ෂ නාමල් දරුවට ඕන දේවල් දැන් ක්‍රියාත්මක කරනවා. මේ කරන්න හදන්නේ මේගොල්ලන්ව එක්තරා කඳවුරකට ගාල් කරන්න හදනවා. පුනරුත්ථාපනය කරනවා කියලා තරුණ කණ්ඩායම් ටික නිහඬ කිරීමේ රනිල් රාජපක්ෂගේ මෙහෙයුමයි මේ ආරම්භ වන්නේ." ඇය චෝදනා කළාය.
“විහිළුම සහගත වැඩේ නම්, මේ යෝජනාව ගේන්න මූලික වෙච්ච ජනාධිපති දැන් ජපානයේ ගිහිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියලා ජපාන නායකයන්ට පොරොන්දු වෙනවා. ජපානයේ මිනිසුන්ට මීට අවුරුදු ගාණකට කලින් මේ දැන් රනිල් රාජපක්ෂ කරපු වැඩේම අමෙරිකාව විසින් කළා."
අරගල ක්‍රියාකාරීන් මොකද කියන්නේ?
පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අරගල ක්‍රියාකාරීහු ද විරෝධය පළ කළහ.
කොස්වත්තේ මහානාම හිමි කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ජනතාවගේ අයිතීන් මෙවැනි අණ පනත් හරහා උල්ලංඝණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි.
මෙම මර්දන යාන්ත්‍රණ කිසි ලෙසකවත් අරගලකරුවන් මර්දනය සඳහා යොදාගත නොහැකි බව උන්වහන්සේ කියා සිටියහ.
බී.බී.සී.