කොවිඩ් වසංගතයෙන් සහ ආර්ථික අර්බුදයෙන් සංචාරක කර්මාන්තයේ තරම් බැට කෑ තවත් කර්මාන්තයක් නොමැති තරම්ය. පතුලක් නොපෙනෙන අගාධයක ගිලීයමින් පවතින සංචාරක කර්මාන්තය පිළිබඳ අපට නිරන්තර අසන්නට ලැබෙන්නේ සතුටුදායක පුවත් නොවේ. සංචාරක නිකේතන දස දහසකට ආසන්න සංඛ්‍යාවක් වැසීගොස් ඇතැයි ඉකුත් සතියේ අපට අසන්නට ලැබුණි. මේ නිසා සංචාරක කර්මාන්තයේ වර්තමාන ඉරණම පිළිබඳ සොයා බැලීම අපි තීරණය කළෙමු.
මේ වනවිටත් සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නියුතු ලක්ෂ 5 කට පිරිසකට සිය රැකියා අහිමි වී ඇති බව දැනගැනීමට ලැබේ. හෝටල් සේවක වෘත්තීය සමිති පෙන්වා දෙන ආකාරයට තවදුරටත් ලක්ෂ දෙකක පමණ පිරිසක් රැකියා අවදානමට ලක්ව සිටිති. මේ වනවිට සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නියුතු වූ පිරිස විදේශගත වීමේ ප්‍රවණතාවද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
හෝටල් හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති, ගල්කිස්ස මහ හෝටලයේ සභාපතිවරයා ලෙස කටයුතු සනත් උක්වත්ත මහතා ගෙන් වර්තමාන තත්ත්වය පිළිබඳ අපි විමසා සිටියෙමු.
''පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව විශාල අභියෝගය ප්‍රමාණයකට මුහුණ දුන් ව්‍යාපාරය තමා සංචාරක ව්‍යාපාරය. සංචාරකයන් පනස් ගණනක් මියගියා. වසර 30කට අධික යුද්ධ කාලෙවත් සිදු නොවුණු දෙයක් එදා සිද්ධ වුණේ. ඉන් පස්සේ වසංගත සමයේ සංචරණ සීමා නිසාවෙන් සංචාරක කර්මාන්තය විශාල අභියෝගයකට මුහුණ පෑවා. වසංගතය අවසානයේ ලෝකය සංචාරක කර්මාන්තය යළි ආරම්භ වෙනකොට, අපි ආර්ථික අර්බුදයට මුහුණ දුන්නා...''
රට තුළ නිර්මාණය වූ දිගු තෙල් පෝලිම් ගෑස් පෝලිම් පිළිබඳ පුවත් ජාත්‍යන්තරයේ ප්‍රබල අවධානයට යොමු වූ බව සනත් උක්වත්ත මහතා තවදුරටත් පැහැදිලි කරයි. ඔහු පවසන පරිදි ශ්‍රී ලංකාවට පැමිණීමට සංචාරකයන් අධෛර්ය වූයේ මෙම ප්‍රචාරයන් හේතුවෙනි.
මේ වනවිටත් සංචාරකයන් ලොවපුරාම සංචාර කිරීම අරඹා ඇත. ඒ අනුව සංචාරක ව්‍යාපාරය මනාව පවත්වාගෙන යන අසල්වැසි රටවල් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යමින් පවතියි. නමුත් මෙරට සංචාරකයන් පැමිණීම තවදුරටත් සිදුවන්නේ ඉතා අල්ප වශයෙනි. ගෙවී ගිය මාසයේ කර්මාන්තයට එල්ල වූයේ මරු පහරකි.
''විදේශිකයන් හිතන්නෙ ලංකාවෙ පෝලිමේ තියෙනවා... ගෑස් නෑ... ඉන්ධන නෑ... කියලා. ඒ නිසා එම සංචාරකයන් ලංකාවට පැමිණීම කල් දමා තිබෙනවා. දැන් තෙල් ගෑස් ප්‍රශ්න සෑහෙන්න දුරකට විසඳිලා තියෙන්නෙ. නමුත් අපේ ප්‍රචාරණය දුර්වලයි. සංචාරකයන් අපි වෙත ආකර්ෂණය කරන ප්‍රචාරණ වැඩපිළිවෙළක් තිබිය යුතුයි.''
සනත් උක්වත්ත මහතා පෙන්වා දෙන ආකාරයට සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්වල ප්‍රබලතාව ගැටලු සහගතය. සියලුම රටවල් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ සංචාරක අනතුරු ඇඟවීම මේ වනවිටත් ඉවත් කරගෙන තිබේ. නමුත් එම රටවල්වල මෙරට තානාපති කාර්යාලය හරහා ඒ සඳහා පුළුල් ප්‍රචාරයක් ලබාදෙන්නේද යන්න ගැටලු සහගතය.
ඒ අනුව පසුගිය වසරේදී සංචාරක මණ්ඩලය සමඟ එකතුව සකස් කළ ගෝලීය ප්‍රචාරණ ව්‍යාපෘති කටයුතු ආරම්භ කළ යුතු බව උක්වත්ත මහතා පවසයි. කෙසේ නමුත් මේ වනවිටත් බොහෝ සංචාරකයන් ශීත සෘතුව සඳහා සංචාරක ගමනාන්ත තෝරාගෙන අවසානය. තවදුරටත් ලෝවටා ඉතුරු වුණු පිරිස් අප රට වෙත ආකර්ෂණය කර ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය.
පසුගිය කාලයේදී සංචාරක සංවර්ධන අධිකාරිය එවන් වැඩපිළිවෙළක් පිළිබඳ සාධනීය ප්‍රවේශයකින් සාකච්ඡා කරනු දක්නට ලැබුණි. Visit Sri Lanka වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක විය. කෙසේ නමුත් වර්තමාන තත්ත්වය සතුටුදායක නැත. එළඹෙන ශීත ඍතුවේදී ශක්තිමත් පිබිදීමක් සඳහා සංචාරක කර්මාන්තයේ අපේක්ෂා තිබුණත් කර්මාන්ත ඉකුත් මාසයේ සිට අනපේක්ෂිත පසුබෑමක් පෙන්නුම් කරමින් සිටියි.
ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම් අගෝස්තු මාසයට සාපේක්ෂව 2022 සැප්තැම්බර් මාසයේදී 21% කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) වාර්තා කරයි. 2022 සැප්තැම්බර් මාසය සඳහා සංචාරක පැමිණීම් 29,802ක් වාර්තා වී ඇති අතර එය අගෝස්තු මාසයේ 47,293 ට වඩා 21% පහත වැටීමකි. මේ අතර ගුවන් ටිකට්පත් සම්බන්ධ ගනුදෙනුවලදී ඇතිවන මූල්‍ය ගැටලු හේතුවෙන් ඇතැම් ගුවන් සමාගම්ද ශ්‍රී ලංකාව සම්බන්ධව නොසතුටින් පසුවන බව කියැවේ. ගුවන් ගමන වාර සීමා කිරීම ආදී කරුණු පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමුව ඇතැයි කියැවෙයි.
කෙසේ වෙතත් සනත් උක්වත්ත මහතා පෙන්වා දෙන්නේ රාජ්‍ය මැදිහත්වීමක් හරහා එවන් ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත හැකි බවයි.
මේ අතර විදුලි බිල වැඩිවීමද සංචාරක කර්මාන්තයට සෘජු බලපෑමක් ඇතිකර ඇති බව ඉකුත්දා අනාවරණය විය. ආහාර ද්‍රව්‍ය ඇතුළු විවිධ භාණ්ඩ මිල අහස උසට ඉහළ යෑමෙන් පාඩු ලැබීම නිසා රටපුරා තරු මට්ටමේ හෝටල්, විලා, ගෙස්ට් හවුස් ඇතුළු සංචාරක නිකේතන දස දහසකට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම වැසීගොස් ඇතැයි ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ උප සභාපති සහ කෑගලු දිස්ත්‍රික් හෝටල් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන සංවිධායක ප්‍රියන්ත තිලකරත්න මහතා ඉකුත්දා පවසා තිබුණි.
අප කළ විමසීමේදී සනත් උක්වත්ත මහතාද පවසා සිටියේ විදුලි බිල ඉහළ යෑම ඇතුළු විවිධාකාර අභියෝගය රුසක් සංචාරක කර්මාන්ත අභිමුව ඇති බවයි.
''සංචාරකයින් ලක්ෂ දහයක්, ලක්ෂ විස්සක් විතර මෙරට ආකර්ෂණය කරගත්තොත්, ඔය වැහිල තියෙන සංචාරක නිකේතන යළි විවෘත කරන්න පුළුවන්. විදුලි බිල ඇතුළු වියදම් ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඒක ඇත්ත. නමුත් සංචාරකයන් දිගින් දිගටම පැමිණෙනවා නම් ඒවා අපිට ගෙවීමේ හැකියාවක් තිබෙනවා. රටේ පුරවැසියන්, ව්‍යාපාරිකයන් විදිහට අපිත් දායක වෙන්න ඕන රට නැවත ගොඩගන්න. ඒ කාලයේදී අපිට යම්කිසි වැඩි වියදමක් දරන්න වෙනවා.''
කර්මාන්තය නගා සිටුවීමට ශක්තිමත් ප්‍රවර්ධන ව්‍යාපෘතියක අවශ්‍යතාවය ඔහු තවදුරටත් අවධාරණය කරයි. ප්‍රවර්ධන ව්‍යාපෘතිවල සාර්ථකත්වය නියත වශයෙන්ම මෙරට සංචාරක කර්මාන්තය තීරණය කිරීමේ තීරණාත්මක සාධකයයි. මේ වනවිටත් ආණ්ඩුව පැත්තෙන්ද විවිධ ව්‍යාපෘතිවල නම් ඇසෙමින් තිබේ. එහෙත් එම නම් ඇසූ පමණින් පතුළක් නොපෙනෙන අගාධයක ගිලී යමින් පවතින සංචාරක කර්මාන්තය නැවත ගොඩගත හැකිද? අවසානයේ අපට ඇති පැනය එයයි.
I චමිඳු නිසල් ද සිල්වා