2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

හොර අරක්කු අල්ලන ඇප් එක

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 08:00 148

විදෙස් මත්පැන් මිල අධික වීම මත පසුගිය කාලයේ ඒවා හොර පාරෙන් මෙරටට ළඟාවූයේ රජයේ ආදායමද අහිමි කරමිනි. ලොව ප්‍රකට මත්පැන් වර්ගවල ලේබලය සහිතව අලෙවි කළද ඒවායින් ඇතැමෙක් ව්‍යාජ ඒවා බවට පාරිභෝගිකයෝ චෝදනා කරන්නට වූහ.  එලෙස නීති විරෝධී ලෙස මෙරටට එන ප්‍රමිතියෙන් තොර ව්‍යාජ විදේශ මත්පැන් අලෙවි කිරීම වැළැක්වීමට හා ව්‍යාජ මත්පැන් හඳුනා ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතන සඳහා නව යෙදවුමක් හඳුන්වා දී තිබේ. EXCISE TAX STAMP VALIDATOR යනුවෙන් හැඳින්වෙන එම යෙදවුම මගින් මත්පැන් බෝතලය මත ඇති ස්ටිකරයේ ඇති QR කේතය ස්කෑන් කිරීමෙන් එය නීත්‍යානුකූල මත්පැන් බෝතලයක්ද නැතිනම් ව්‍යාජ එකක්ද යන්න පාරිභෝගිකයාට හඳුනාගත හැකිය. මෙම යෙදවුම මුලින් හඳුන්වා දී ඇත්තේ විදේශීය මත්පැන් සඳහාය. නුදුරේදීම එය දේශීය මත්පැන් සඳහාද භාවිත කළ හැකිවනු ඇත.

2021වසරේ ලීටර් මිලියන 215ක්ද, 2022 ජුලි මාසය වන විට ලීටර් මිලියන 120ක් පමණ ප්‍රමාණයක්ද මෙරට ජනතාව මත්පැන් පානය කර ඇතැයි ජාතික මත්දුව්‍ය නිවාරණ මෙහෙයුම් කාර්යාලය ප්‍රකාශ කර තිබේ. මෙම සංඛ්‍යාෙල්ඛණවලට නීති විරෝධී මත්පැන් ඇතුළත් නොවේ.

දෙස් විදෙස් මත්පැන් සම්බන්ධයෙන් පාරිභෝගිකයන් විවිධ අවස්ථාවල චෝදනා කරන්නට වූයේ ඒවා නිසි ප්‍රමිතියෙන් තොර හෙවත් ''කලවම් මත්පැන්'' බව ප්‍රකාශ කරමිනි.  මෙම තත්ත්වය මඟහැරවීමට හා දෙපාර්තමේන්තුවට අහිමි වන ආදායම යළි ලබා ගැනීම සඳහා  සුරාබදු ආඥා පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් සුරාබදු නිවේදන අංක 4/2019 යටතේ සියලුම මත්පැන් වර්ග සඳහා ආරක්ෂිත ස්ටිකරයක් හඳුන්වා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. මෙම ස්ටිකරය අලවා නොමැති මත්පැන් සන්තකයේ තබාගැනීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම හා විකිණීම සපුරා ඒ අනුව තහනම් විය. එහෙත් ඇතැම් පුද්ගලයන් එම ස්ටිකරය වෙනුවට ව්‍යාජ ස්ටිකරයක් යොදාගන ව්‍යාජ මත්පැන් අලෙවි කිරීමට කටයුතු කර ඇතැයිද වාර්තා විය. පසුගියදා හඳුන්වා දුන් ''එක්සයිස් ටැක්ස් ස්ටෑම්ප් වැලිඩේටර්'' යෙදවුම මගින් දැන් පාරිභෝගිකයන්ට තමන් මිලදී ගන්නා විදේශ මත්පැන් බෝතලය ප්‍රමිතියෙන් යුතු එකක්ද නැතිද යන්න පහසුවෙන් හඳුනාගත හැකිය.

මෙම යෙදවුම හඳුන්වාදීමට පියවර ගත්තේ විවිධ ප්‍රදේශයන්හි ජනතාවගෙන් ලද පැමිණිලි හේතුවෙන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා සඳහන් කරයි.  

''පාරිභෝගිකයන්ගෙන් ලද පැමිණිලි සම්බන්ධයෙන් සලකා බලා 2019 දී සුරාබදු දෙපාර්තමේන්තුව මෙම ස්ටිකරය හඳුන්වා දුන්නා. 2022 ජනවාරි 3 වැනිදා සිට එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණා. එම ව්‍යාපෘතියේ එක් අංගයක් ලෙස මහජනතාවට  තමන්ගේ දුරකතනය භාවිත කර අප විසින් ලබා දී ඇති ජංගම යෙදවුම මගින් විදේශයෙන් ආනයනය කර ඇති මත්පැන්වල වලංගුභාවය පරීක්ෂා කළ හැකියි. පාරිභෝගියන්ට මෙම යෙදවුම තම දුරකතනවලට ඇතුළත් කරගෙන මත්පැන් බෝතලයේ අලවා ඇති ස්ටිකරය වලංගු ස්ටිකරයක්ද,  මත්පැන්වල අඩංගු ද්‍රව්‍ය, ඒවායේ ප්‍රමාණය, ඒවා නිපදවා ඇති සමාගම, ආදී සියලු තොරතුරු පරීක්ෂා කළ හැකියි.   එමෙන්ම මත්පැන් බෝතලවල ව්‍යාජ ස්ටිකරයක් අලවා ඇත්නම් ඒවා අලෙවි කරන පුද්ගලයන්ට සුරාබදු ආඥා පනත හා මෙම ස්ටිකරය සම්බන්ධයෙන් ඇති ගැසට් නිවේදනය අනුව  නීති මගින් උපරිම ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නවා. දැනට මෙය ක්‍රියාත්මක වන්නේ නියමු ව්‍යාපෘතියක් ලෙසයි. ඉදිරියේදී ගූගල් සිතියම හරහා මෙම මත්පැන් බෝතල් ලබාගත් ස්ථානය හඳුනාගැනීමට, ඒවා නිෂ්පාදනය කළ දිනය හා කිසියම් පැමිණිල්ලක් කළ යුතු නම් ඊට අදාළ අංක ඇතුළත් කිරීමට අපේක්ෂා කරනවා. යම් හෙයකින් කිසියම් පාරිභෝගිකයකුට ව්‍යාජ මත්පැන් බෝතලයක් ලැබුණොත් ඒ සම්බන්ධයෙන් අපට පැමිණිලි කළ හැකියි. එවිට කඩිනමින් ඒ සම්බන්ධයෙන් සොයා බලනවා. මෙම නියමු ව්‍යාපෘතියේ අඩුපාඩු තිබේදැයි සොයා බැලීම සඳහා සති දෙකක පමණ කාලයක් අප විමසුම් කර අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කිරීමට පියවර ගන්නවා.'' යනුවෙන් සඳහන් කළේය.

මෙරටට විදේශීය මත්පැන් ආනයනය කරනු ලබන ආයතන 23ක් සහ ගුවන් තොටුපලෙහි ඇති බදු රහිත සාප්පු සංකීර්ණ සඳහා  විදේශ මත්පැන් ආනයනය කරන ආයතන දෙකක් ඇතැයි වාර්තාවේ. ඔවුන් ආනයනය කරන විදේශ මත්පැන් සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ස්ටිකරය රහිතව වෙළෙඳපොළට නිදහස් කිරීම නීති විරෝධීය. බදු රහිත සාප්පු සංකීර්ණ සඳහා ආනයනය කරන මත්පැන් බෝතල මත ආරක්ෂක ස්ටිකරය ඇලවෙන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා රේගුවේ අධීක්ෂණය යටතේ රේගු ගුදම් තුළදීය.

ඇතැම් මත්පැන් අලෙවිහල්කරුවන්  විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයන් මගින් එම තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් ලබා ගන්නා විදෙස් මත්පැන් වැඩි මිලට තම වෙළෙඳසල්හි අලෙවි කරද්දී අල්ලා ගැනීමට සුරාබදු නිලධාරීන්ට හැකි විය. ඇතැම් විට ගුවන් තොටුපල සේවකයන්ද මෙම ජාවාරම්වලට සම්බන්ධ බවට වාර්තා විය.

වෙළෙඳපළට ව්‍යාජ ලෙස පැමිණෙන්නේ විදේශීය මත්පැන් පමණක් නොවේ. දේශීය මත්පැන්ද ව්‍යාජ ලෙස නිපදවා වෙළෙපොළට පැමිණෙන අයුරු බොහෝ අවස්ථාවල දැකගත හැකිය. ඇතැම් විට කසිප්පු වැනි ද්‍රව්‍ය කලවම් කළ අරක්කුද වෙළෙද පොළේ ඇති බව පාරිභෝගිකයෝ ප්‍රකාශ කරති. පසුගිය දිනවල යාපනයේ තල් අරක්කු ලෙස හඳුන්වමින් ව්‍යාජ මත්පැන් අලෙවි කළ වෙළෙඳසලක් වැටලීමට සුරාබදු නිලධාරීහු පියවර ගත්හ. නව යෙදවුම ඉදිරියේදී සියලුම දේශීය මත්පැන් සඳහාද භාවිත කළ හැකි පරිදි සකස් කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

''දෙසතියක නියමු ව්‍යාපෘතියෙන් පසු දේශීයව නිපදවන සියලුම මත්පැන්වර්ග සඳහාද මෙම යෙදවුම භාවිත කිරීමට පියවර ගන්නවා. එවැනි පරීක්ෂාවකදී ව්‍යාජ ඒකක් බව හඳුනා ගත හැකි වුවහොත් වහාම ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකි පහසුකම මේ යෙදවුම තුළින් හඳුන්වා දී තිබෙනවා.'' යැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාර 23ක් හා ස්ප්‍රිතු ස්කාගාර 14ක් පමණ ඇතැයි පැවසේ. විවිධ මාදිලියේ මත්පැන් බලපත්‍රලාභී අලෙවිසැල් 4000 කට අධික  ප්‍රමාණයක්ද විවිධ ප්‍රදේශවල ඇත. මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම තවදුරටත් වැඩිකර ගැනීමට හැකිවන අතර සෞබ්‍ය ආරක්ෂිතව අනුමත ක්‍රමවේදයන් යටතේ නිෂ්පාදනය කරනු ලබන ප්‍රමිතියෙන් යුත් මත්පැන් පාරිභෝගික ජනතාවට ලබාදීම සුරාබදු දෙපාර්තමේන්තුවේ අරමුණය.

ආදායම වැඩිකර ගැනීමේ අරමුණින් පසුගිය කාලයේ මත්පැන් මිල වරින්වර ඉහළ දැමීමට ආණ්ඩුව පියවර ගත්තේය. මෙම ඔක්තෝබර් මස 1 දා සිට DCSL වර්ගයේ මත්පැන් මිලිලීටර් 750ක බෝතලයක මිල යළි රුපියල් 150කින් ඉහළ දමා තිබේ. 2021 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 139ක බදු ආදායමක් උපයා ඇතැයි වාර්තා වේ. 2022 වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 180ක් වූ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉල්ලා ඇත්තේ එය රුපියල් බිලියන 185 දක්වා වැඩි කරන ලෙසටය. පසුගිය දිනක සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා හා මත්පැන් නිෂ්පාදකයන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී මත්පැන් නිෂ්පාදකයන් පෙන්වා දී ඇත්තේ. මෙම වසර තුළ දෙවතාවක් වැට්බදු ඉහළ යෑම, සමාජ ආරක්‍ෂණ බදු පැනවීම, අධික ලෙස එතනෝල් සහ ඉන්ධන මිල ඉහළ යෑම වැනි කරුණු මත මත්පැන් මිල ඉහළ නැංවීමට සිදුවීමෙන් ඉල්ලුම අඩු වී මත්පැන් අලෙවිය පහත වැටී ඇති බවයි. නීත්‍යානුකූල මත්පැන් මිල ඉහළ යෑම හේතුවෙන් නීති විරෝධී මත්පැන් ඉල්ලුම ඉහළ යා හැකි බවටත්, මෙහිදී මත්පැන් නිෂ්පාදකයන් අනතුරු අඟවා ඇත. එහිදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දී ඇත්තේ මත්පැන් බෝතල් මත ආරක්‍ෂිත ස්ටිකරයක් ඇලවීම මගින් ව්‍යාජ මත්පැන් අලෙවියට ඉඩක් නොමැති අතර මත්පැන් නිෂ්පාදකයන්ට උපරිම ආදායමක් ලබාගත හැකි බවයි.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා