''වෙල් යායක ගොන් දෙන්නෙක් කකා වුනී
ඉන් එක් ගොනෙක් වලිගය නැතුව වැනි වැනී
වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී
දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනී”
හැමදාමත් අපේ රටේ පොඩි මිනිහාට වී ඇත්තේ වලිගය නැති ගොනාට වූ දෙයමය. පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට කෝටි 2ක ජනගහනයෙන් කෝටියකට එනම් රටෙන් භාගයකට සමෘද්ධි සහනාධාරය මේ වනවිට අවශ්‍ය වී ඇති බවට අප පුවත්පත ප්‍රධාන පුවතකින් අනාවරණය කළේය.
එවන් වූ සමාජ වටපිටාවක සමෘද්ධිය ඇතුළු සමාජ සුබසාධන ආධාර ලබන්නන් සහ පවුල් හඳුනාගැනීම සඳහා කිව්.ආර්. කේත ක්‍රමයක් හඳුන්වාදීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශයට පත්කළ නිල නිවේදනයේ එක් අංගයක් වූයේ වත්මන් අර්බුදයේ බලපෑම අවම කිරීමෙහිලා සමාජ ආරක්ෂණ වැඩසටහන්වල ආවරණය සහ ප්‍රතිලාභීන් ඉලක්ක කිරීම වැඩිදියුණු කිරීමය. අත්‍යවශ්‍ය කණ්ඩායම්වලට සහනාධාර ලබාදීමේදී ප්‍රමුඛතාව හිමිවිය යුතු බවට එහි අදහස පැහැදිලිය.
මේ වනවිට මහජනාධාර වැඩසටහන් වන සමෘද්ධි, වැඩිහිටි පුද්ගල, ආබාධිත පුද්ගල සහ වකුගඩු රෝගී ජීවනාධාර වැඩසටහන් යටතේ ප්‍රතිලාභ ලබන ප්‍රතිලාභීන් සහ එම සහනාධාරය අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින පවුල්වල ලක්ෂ 30කට ආසන්න පිරිසක් මෙහිදී ඉලක්කගතකර ඇත. මෙය අදියර 6ක් යටතේ ක්‍රියාත්මක වෙයි.
ව්‍යාපෘතියේ පළමු පියවර ලෙස වැඩසටහන සඳහා අයැදුම්පත් කැඳවීම සිදුවන අතර සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් 2022.08.30 අඟහරුවාදා ලංකාදීප පුවත්පතේ පළකළ දැන්වීමේ ඇමුණුම 1 සඳහන් ආදර්ශ ආකෘතියට අනුව සකස් කළ අයැදුම්පතක් අයැදුම්කරු විසින් පුරවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබාදිය යුතුය. දෙවැනි පියවර වශයෙන් තොරතුරු පරිගණක පද්ධතිගත කිරීමේදී තෝරාගන්නා ලද අයැදුම්පත්වලට වෙනමම කිව්.ආර්. කේතයක් හිමිවෙයි. තුන්වැනි පියවර ලෙස අයැදුම්කරුවන්ගේ නිවෙස්වලට ගොස් තතු සොයාබලා කිව්.ආර්. කේත පද්ධතිගත කිරීම සිදුකරයි. එසේම හතරවැනි පියවර ලෙස තෝරාගන්නා ලද කිව්.ආර්. කේත අයැදුම්කරුවන්ට අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථික මට්ටම, වත්කම්, නිවාස තත්ත්වය, පවුලේ ජන විකාශනය යන නිර්ණායක 6ට අදාළ දර්ශක 22ක් ඔස්සේ ලකුණු ලබාදීමත් සිදුවෙයි. තෝරාගන්නා ලද සහනාධාරලාභීන්ට එරෙහි විරෝධතා සහ අභියාචනා කැඳවීම පස්වැනි පියවරින් සිදුවන අතර ඉන්පසුව හයවැනි පියවරින් ප්‍රතිලාභී නාමලේඛනය ප්‍රසිද්ධ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න මහතා කියයි.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකුගෙන් අප කළ විමසීමේදී ඔහු පැවසූයේ මෙම ව්‍යාපෘතිය මුදල් අමාත්‍යංශය යටතේ පවතින සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සේවා මණ්ඩලය මගින් සිදුකරනු ලබන බවයි.
මෙම ව්‍යාපෘතියේ පාර්ශ්ව දායකත්වය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව සහ මහලේකම් කාර්යාලය, ආබාධිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය, ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ නියෝජිතායතනය දරයි.
රාජ්‍ය අංශයේ පරිගණක වැඩසටහන් පද්ධති නිමැවුම් සිදුකරන ප්‍රධානතම වගකියන රජයේ ආයතනය වශයෙන් සැලකෙනුයේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයයි. මෙම නව කිව්.ආර්. කේතය සම්බන්ධයෙන් අප කළ විමසීමේදී එහි ප්‍රකාශකයකු පැවසූයේ මෙම නව කිව්.ආර්. කේතය සම්බන්ධයෙන් අප විමසන අවස්ථාව වනතෙක් ආයතනය සම්බන්ධීකරණයක් කර නොමැති බවයි.
2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 7.1 වගන්තිය අනුව සුබසාධක ප්‍රතිලාභයට සුදුස්සන් තේරීමේදී කිසිදු වෙනස්කමකට භාජනය නොකළ යුතු බවත් ජාතිය, ආගම, භාෂාව, ලිංගිකත්වය සහ දේශපාලන මතය හේතුකොටගෙන කිසිදු තැනැත්තකු ප්‍රතික්ෂේප නොකළ යුතු බව දක්වා ඇත්තේය.
අපේ රටේ සෑම දෙයටම පාහේ ටොනික් පියන්වලට වඩා පියවරු සිටිති. බත් දුන් පියා, කොස් දුන් පියා, නිදහස් අධ්‍යාපනයේ පියා, ජනසවියේ පියා ආදී තොග ගණනින් පියවරු අපට සිටිති. ඒ බොහෝ පියවරු දුන් දායාද සර්වකාලීනය. ඒ අතරින් සමෘද්ධියේ පියා හිටපු අමාත්‍ය එස්.බී. දිසානායකය. එහෙත් සමෘද්ධියට නව ක්‍රමයක් හඳුන්වාදීමෙන් අලුතෙන් සමෘද්ධි පියාට අමතරව සමෘද්ධි කිව්.ආර්. පියෙක්ද අනාගතයේ අපට සිටී. වර්තමානයේ සිදුකිරීමට යන මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සමෘද්ධි ව්‍යාපාරයේ නිර්මාතෘ හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන එස්.බී. දිසානායක මහතා පැවැසුවේ මෙහෙම කතාවකි.
“සමෘද්ධිය හඳුන්වා දුන්නේ සහනාධාර දෙන්න නෙමෙයි. සමෘද්ධිය සංවර්ධන වැඩපිළිවෙළක් මිස සහනාධාර පැකේජයක් නෙමෙයි. අපි කළේ ඒ අතින් සහනාධාර දෙනකොට මේ අතින් ගත්තා. සමෘද්ධි සහනාධාරවලින් තමා සමාජ ආරක්ෂණ අරමුදල හැදුවේ. සමෘද්ධි සහනාධාරය අතට දුන්නේ නෑ අපි. මෙයට බැංකු 1126ක් තිබෙනවා. ඒ හරහා මිනිසුන් සවිබලගන්වන්නයි මෙය නිර්මාණය කළේ. කිව්.ආර්. කේතයක් මගින් සහනාධාර ලබාදෙන්න තෝරන්න යාම ඉතාම හොඳ වැඩක්. ලංකාවේ සංගණන වාර්තා අනුව සහනාධාර ලැබිය යුතු අය සිටින්නේ සියයට 6ක් 7ක් වැනි පිරිසක්. අඩු ආදායම්ලාභීන් සිටිනවා. ඔවුන් සමග ගණන් හදා තමයි මේ වනවිට ලක්ෂ 17ක් පමණ සිටින්නේ. සමෘද්ධිය මගෙන් පස්සේ හරියට වුණේම නෑ. මං අද හිටියා නම් රටේ තියෙන ප්‍රධාන බැංකුවක් සමෘද්ධිය යටතට ගන්නවා. සමෘද්ධි ලැයිස්තුව අතින් අත ගියා. පසුකාලයේ එය දේශපාලන ලැයිස්තුවක් වුණා. ඒ එක්ක සහනාධාර ලැයිස්තුවේ භාගයක් ඒ සහනාධාර ගන්න සුදුස්සන් නෙමෙයි. සමෘද්ධි ව්‍යාපෘතියේ ඒ කාලේ මුල් පිටපත ලිව්වේ විදෙස් රටවල සාර්ථක වූ ව්‍යාපෘති රැසක් ඇසුරෙන්. එහෙම ගොඩනගපු සමෘද්ධිය මේ වනවිට දේශපාලන වශයෙන් ගණිකා වෘත්තියේ යෙදවිලා තියෙනවා. නව කිව්.ආර්. ක්‍රමය යටතේ හෝ සමෘද්ධිය සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් නිවැරුදි විය යුතුයි .”
හාල් පොත, ජනසවිය, සමෘද්ධිය, දිවි නැගුම ආදී මොන නමින් හැඳින්වුවත් මෙම සියලු වැඩසටහන්වල ඉලක්කය වූයේ දිළිඳුකමේ රේඛාවෙන් පහළ සිටින ප්‍රජාවයි.
ඒ.ටී. ආරියරත්නයන් ඇරඹූ සර්වෝදය ව්‍යාපාරය බලා ඉන්පසුව මෙරට බොහෝ ව්‍යාපෘති වෙන වෙන නම්වලින් ඇරඹුවද අපේ රටට සර්වෝදයක් ගෙනෙන්නට වෙන කිසිවකට නොහැකි වූ බව තිත්ත ඇත්තය. එයට හේතු වූයේ දේශපාලනයෙන් තොර සමාජ සුබසාධනයේ කැපවීමයි. සමෘද්ධියටත් ඇත්තේ ඒ සරණමය. එසේ නොමැති වුවහොත් සමෘද්ධි කිව්.ආර්. කේතය යටතේත් වී 8, ප්‍රාඩෝ මග නවතා පයින් ඇවිත් සමෘද්ධිය අරගෙන යන නෝනලා මහත්තයලා මෙන්ම අල්ලපු ගෙදර කිව්.ආර්. කේතය උදුරාගෙන විත් සහනාධාර පෝලිමේ ලගින ඇම්බැට්ටයන්ද මේ මිහිපිට සිටින්නට පුළුවන. සමෘද්ධිය යනු ගමේ සමෘද්ධි නිලධාරීගේ සහ ග්‍රාම නිලධාරීගේ අධිකාරි බලය පෙන්වීමට ඇති ආයුධයක් නොවන්නේය. එදා මෙදාතුර දේශපාලකයන් අහිංසක ජනතාව බොහෝ අවස්ථාවල අතකොලුවක් කරගත්තේද සමෘද්ධිය කපනවා යන්න සිහිකරමින්ය.
දිළිඳුකම පිටුදැකීමේ ක්‍රමවේදයේදී අපේ රටේ මේතාක් ක්‍රියාවලිය ඵල රහිතය. රජයේ සහනාධාර ගන්නත් දස පනතකට යටත් වෙන්න සිදුවන බවත් මේ සියලු තර්ක දුප්පතුන්ට පමණක් වීම අරුමයක් බවත් බොහෝදෙනා පවසති.
මෙරට පවුල් ලක්ෂයක් ගතහොත් එම පවුල් ලක්ෂයෙහි ආර්ථික මට්ටම විවිධය. ශ්‍රී ලංකාව වැනි ඌන සංවර්ධිත රටක දිළිඳු බව පිටුදැකීමේ සාර්ථකම ක්‍රමය වනුයේ ඒකීය සමානත්මතාවයෙන් ඔබ්බට පවතින ස්ථරයෙන් ඉහළට එසවීමට, පවුල නගා සිටුවීමට අවශ්‍ය සහයෝගය ලබාදීම බව ලියුම්කරුගේ අදහසයි. මෙහි සරල අර්ථය වනුයේ රටේ සියලු දෙනාට එක හා සමාන මුදලක් ලබාදී දිළිඳුකම පිටුදැකිය නොහැකි බවයි. යම් දෙයක් වේ නම් එය සුදුස්සාටම අයිති විය යුතු බව හුණුවටයේ නාට්‍යයේ පෙන්වා දෙයි. එහෙයින් සමෘද්ධි කිව්.ආර්. කේතය මගින් හෝ සමෘද්ධිය ඇතුළු ජීවනාධාරවල සැබෑ උරුමකරුවන් හඳුනාගෙන ඔවුන්ට ඔවුන්ගේ ජීවිත ආලෝකවත් කරගැනීමට පහන්සිලක් විය යුත්තේය. මේ ලොව මතු දවසක දුප්පතුන් නැති ලෝකයක් වන්නේ එවිටය.
I සසංක චලන ගිම්හාන