2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

ඉස්සර ප්‍රශ්නෙ පිටින් කෑම: දැන් උයාගෙන කෑම

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 08:00 67

 

ශ‍්‍රී ලංකාවේ ජනතාව ආහාර නිසි පරිදි නොලැබෙන තත්ත්වයක සිටින බව ප‍්‍රකාශ වේ. ආර්ථික අර්බුදයක් පවතින රට තුළ ආදායම දුර්වල වී ඇත. රට වැටී ඇති ස්ථානය සතුටුදායක නැත. දරුවන්ගේ හා කාන්තාවන්ගේ පෝෂණ මට්ටම පහත වැටී ඇති බව සෞඛ්‍ය වාර්තා අනාවරණය කරයි. ගැබිණි මව්වරුන් සඳහා අතිරේක ආධාරයක් යෝජනා කළ ආණ්ඩුවේ අතුරු අයවැය, ප‍්‍රශ්නයට විසඳුම් සොයමින් සිටී. ඉකුත්දා කැබිනට් මණ්ඩලය විශේෂ යෝජනාවක් අනුමත කළ අතර එයට අනුව තවත් දරුවන් මිලියනයකට පාසල් සිසු දිවා ආහාරය සැපැයීම සඳහා රුපියල් මිලියන 1.08ක් වෙන් කරන ලද බව දැක්වේ.

 ආර්ථිකය නරක අතට හැරෙන විට වැඩකරන ජනතාවගේ අතට ලැබෙන ආදායම අඩුවේ. ජීවන වියදම විශාල ලෙස වර්ධනය වී ඇත. කිරිපිටි මිල නැවත වතාවක් වැඩි කර ඇත. මාළු මිල ගණන් ඉහළ නැග තිබේ. බිත්තරයක්, කරවල ස්වල්පයක් මිල දී ගැනීම පවා අපහසු ජන කොටසක් සිටින බව පැහැදිලිය. ශ‍්‍රී ලංකාව පමණක් නොව, ලෝකය පුරා රටවල් ආහාර මිල හා හිඟය විසින් කැළඹීමක් ඇති කර ඇත. ලෝක නායකයෝ විසඳුම් සොයමින් සිටින වකවානුවකි. 

• තෙල් මිල හා පොහොර ප‍්‍රශ්නය

පසුගිය සතියේ ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල සුළු වශයෙන් පහත වැටිණි. එහෙත් එය තාවකාලික බව පැවසේ. තෙල් මිල හා පොහොර, ආහාර මිල හා හිඟය අතර ප‍්‍රධාන සාධකයකි. කොවිඩ් වසංගත අවදානමෙන් ගැලවුණ ලෝක ප‍්‍රජාව ඉදිරි සංවර්ධන කටයුතු කෙරෙහි අවධානය යොමු කරමින් සිටියේය. රුසියාව හා යුක්රේනය අතර ගැටුමක් හටගන්නේ ඒ අතරතුරය. එම රටවල් තෙල් සහ පොහොර නිෂ්පාදනයේ ප‍්‍රධාන රටවල්ය. තිරිඟු නිෂ්පාදනය ද බහුලව කෙරේ. රුසියාවට බලපෑම් කරන බටහිර ප‍්‍රජාව තෙල් මිල දී ගැනීම සීමාකර ඇත. ඔවුන් සමග කරන විනිමය හුවමාරුවට බාධා සිදුවීම කුඩා රටවලට මහත් හිරිහැරයකි. යුක්රේනයේ ගොවියන්ට සිය නිෂ්පාදන විකුණා ගත නොහැකි වී ඇති අතර මෙම රටවල් දෙක කරන පොහොර අපනයනයද සීමාවීම අනෙක් රටවලටද සංකීර්ණ තත්ත්ව ඇතිකර තිබේ.

විශාල ජනගහනයක් සහිත ඉන්දියාව කෘෂිකර්මාන්තයට නැඹුරුය. විශාල ආහාර නිෂ්පාදකයෙකි. තෙල් මිල හා පොහොර ප‍්‍රශ්නය ඇති කරන පීඩනය මැද ඉන්දියාවද තිරිඟු අපනයනය නතර කර ඇත. ශ‍්‍රී ලංකාවට පවා එය නරක අතට බලපා තිබේ. අවශ්‍ය ආහාර මිල දී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක සහනයක් ප‍්‍රදානය කරන ඉන්දියාව තිරිඟු හා සීනි ශ‍්‍රී ලංකාවට පවා විකිණීම අත්හිටුවා ඇත. විශේෂ අවසරයකින් පසු සීනි සඳහා ලිහිල් පදනමකින් පසුගිය කාලයේ ක‍්‍රියාකරන නමුත් දැන් ඉන්දියාවේ සීනි නිෂ්පාදනය වැඩිවී ඇත. කෙසේ වෙතත් තිරිඟු අපනයනයට ඉඩ නොලැබෙන බව ඉන්දියාවෙන් ලැබෙන වාර්තා දක්වයි. සාමාන්‍යයෙන් පොහොර පිටරටවලට අලෙවි කරන ඉන්දියාව එයද නතර කර ඇත. මිත‍්‍රශීලී තීරණයක් ලෙස ඉන්දියාවට ගෙන්වන්නට කලින් ඇනවුම් කරන පොහොර නැව් ශ‍්‍රී ලංකාවට යවන්නට ඉන්දියාව අනුමත කරන ලද අතර එවැනි තීරණයක් නොවුණේ නම් ශ‍්‍රී ලංකාවේ ආහාර හිඟය හා මිල ගණන් තවත් දරුණු මුහුණුවරක් ගන්නා බව සඳහන් කළ යුතුය. 

• ආහාර මිල පසුගිය වසරට වඩා      ඉහළයි

ලෝක ආහාර සංවිධානය දක්වන පරිදි පසුගිය මාස පහ තුළ ලෝකයේ ආහාර මිල ගණන් ක‍්‍රමයෙන් අඩු වී ඇත. එහෙත් පසුගිය වසරේ අගෝස්තු මාසයට වඩා තවමත් මිල වැඩි බව දැක්වේ. තිරිඟු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන හතළිහකින් මෙම වගා කන්නයේදී අඩුවිය හැකි බව ප‍්‍රකාශ වී ඇත. සැපයුම අඩුවන පසු තවත් මිල වැඩිවන අවදානමක් තිබේ. ලෝකයේ සහල් නිෂ්පාදනය ද සියයට 2.1 කින් අඩුවනු ඇතැයි දැක්වේ. කිරි නිෂ්පාදනවල මිල අඩුවී ඇති නමුත් තවමත් පසුගිය වසරට වඩා සියයට 23.5ක මිල වැඩිවීමක් දක්වයි. එය මෙරටට ආනයනය කරන කිරි පිටිවල මිල සමග නිරීක්ෂණය කළ හැක. කෙසේ වෙතත් දේශීයව නිපදවන කිරිපිටි මිල වැඩිවීමට හේතුව පැහැදිලි නැත. ස්වදේශීකත්වය ගැන ඉහළින් කතාකරන පිරිස් ආනයනික කිරිපිටි නතරකර රට තුළ කිරි නිෂ්පාදනය දියුණු කළ හැකි බව දක්වයි. නමුත් දැන් ස්වභාවය අනුව ආනයනය කිරීම පාරිභෝගිකයන්ට වාසිදායකය. 

ලෝක වෙළඳ පොලේ මිල අනුව සීනි මිල වාර්තාගත ලෙස අඩු වී තිබේ. ඉන්දියාවේ හා බ‍්‍රසීලයේ නිෂ්පාදන වැඩිවීම එයට බලපා ඇත. මස් මිල ගණන් ද තරමක් පහත වැටී ඇති අතර කෙසේ වෙතත් පසුගිය වසරට වඩා සියයට අටකින් වැඩි බව දැක්වේ. ලෝක ආහාර සංවිධානය මිල අඩුවීම දෙස සුබවාදීව සලකා බලමින් සිටී. ඉදිරියේ දී නිෂ්පාදනය යහපත් වනු ඇතැයි අපේක්ෂා පළකරයි. කෙසේ වෙතත් ගැටුම්, කාලගුණ විපත්, ජනගහන වර්ධනය යනාදිය නිෂ්පාදන ක්‍රියාවලියට බාධා කරනු ඇතැයි සැලකේ.

ආහාර නිපදවන නමුත් බෙදාහැරීම ප‍්‍රශ්නයක් වී ඇත. තවමත් ලෝකයේ තරගකාරී වරාය හා ගුවන් ගමන් පුරුදු රිද්මයට පැමිණ නැත. ඉන්ධන මිල වැඩිවීම තියුණු ලෙස බලපා ඇත. සැපයුම වැඩිවන විට නැව් ගමන් සීමාවන අතර බෙදාහැරීම් අපහසුවේ. කොවිඩ් කාලයෙන් පසු ශ‍්‍රම වියදම් ඉහළ ගොස් ඇත. රක්ෂණ ගාස්තු ද වැඩිකර තිබේ. ශ‍්‍රී ලංකාව වැනි රටවලට විනිමය අනුපාතිකය ද අවහිරයකි. ආනයනය කරන සියලුම දේ මිල කිරීමේදී ඩොලරයේ අගය මත ක‍්‍රියා කරයි. ආනයනික ද්‍රව්‍ය මත වැට් බදු පනවන ආණ්ඩුව එය අවසානයේ දී පාරිභෝගිකයා අපහසුතාවයට පත් කර ඇති බවද මතක තබාගත යුතු කරුණකි.

• ආහාර ආරක්ෂිත බව හා පෝෂණය

ශ‍්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් ගැන අවධානය යොමුකරන ලෝක ආහාර සංවිධානය ආහාර මිල වැඩිම රටවල් දහයක් අතර පස්වැනි ස්ථානයේ පසුවන බව දක්වයි. එය කෙසේවත් යහපත් තොරතුරක් නොවේ. සැප්තැම්බර් මාසය වනවිට ආහාර උද්ධමනය පසුගිය අවුරුද්දට වඩා සියයට 90 ඉක්මවා තිබුණි. 2009 දී ශ‍්‍රී ලංකාවේ ගෘහ ඒකකවලින් සියයට අසූ අටක් ආහාර සුරක්ෂිත ස්ථාන සේ හඳුනාගෙන තිබුණ නමුත් අද වනවිට එම ප‍්‍රතිශතය සියයට දහයක් දක්වා පහතට වැටී ඇත. ආහාර නිෂ්පාදනය යුහුසුළු කරන ක‍්‍රමවේදද කොපමණ වෑයම් කරන නමුත් ස්වභාවය සාමාන්‍ය වී නැත. 

සහල් හා එළවළු මිල වැඩි වනවිට බත් පාර්සලයක මිල වැඩිවේ. අවුරුදු දෙක තුනකට කලින් රටට තිබුණ ප‍්‍රශ්නය අනෙකකි. පිටතින් ආහාර ගන්නා පිරිස දරුණු ලෙස වර්ධනය වී තිබිණ. රට පුරා ඇති එළිමහන් අවන්හල්වලින් ආහාර මිල දී ගැනීම අසීමාන්තික වූ අතර එය කාන්තාවන්ගේ හා දරුවන්ගේ බර වැඩිවන හේතුවක් බව කොළඹ නගර සභාවේ සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවූ පැත්තකි. දැන් අවහන්හල් වැසී ඇත. ජනතාව ඒවායේ මිල ගණන් වලින් පීඩාවට පත්ව සිටී. නිවසේ සිට රැගෙන එන බත් පාර්සලයේ පවා පෝෂණීය යමක් නැති තත්ත්වයට පත්ව තිබේ‍.

ආණ්ඩුව මෙම තත්ත්තවය තේරුම් ගෙන ඇත. රාජ්‍ය ආදායම දුර්වල වී ඇති අවස්ථාවක සහන සැලසීම ප‍්‍රශ්නයකි. ලෝක බැංකුව සපයන ලද හදිසි ආධාර පදනම් කරගෙන දුප්පත් ජනතාවගේ සමෘද්ධිය වැඩිකරන ලද අතර සහන අවශ්‍ය තවත් ජන කොටසකට ආධාර දෙන තීරණයකට පැමිණ තිබේ. ව්‍යුහය වෙනස් කරන්නට රජයේ ආදායම නංවන්නට අවශ්‍යය. බත් වේලක් සපයා ගන්නට පවා දුෂ්කර කාලයක ජනතාවට බදු පටවන්නේ කෙසේද? වහාම ප‍්‍රතිපත්ති වෙනස් කළ යුතුය. කර්මාන්ත හා ව්‍යාපාර සක‍්‍රීය කරන තීරණගත යුතුව ඇත. එමගින් අලුත් ආර්ථිකයක් සකස් වේ. නිෂ්පාදනය අඩුවීම ශ‍්‍රී ලංකාව පත්ව ඇති ඉරණමට එක හේතුවකි.

දිගින් දිගටම මෙම තත්ත්වය පැවැතුණහොත් නැවත වතාවක් දුප්පත් රටක් වශයෙන් වර්ගීකරණය කෙරෙන්නට ඉඩ තිබේ. දරුවන්ගේ හා මවුවරුන්ගේ පෝෂණය අඩුවීමෙන් සෞඛ්‍ය ප‍්‍රශ්න වැඩිවිය හැකි අතර එය මෙරට සෞඛ්‍ය හා සනීපාරක්ෂක වියදම් ඉහළ යන කාරණයක් විය හැක. දැන් සිට තීරණ ගතහොත් ස්වභාවය අනෙක් පැත්තකට ගමන කිරීම නතර කළ හැකි බව පැහැදිලිය. නිෂ්පාදනය නංවන අතර කාර්යක්ෂම ආර්ථික ක‍්‍රියාවලියක් සඳහා තීරණ ගැනීම වැදගත්ය.

I සාරා කන්දෙගොඩ