2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

පෙට්‍රල් 40ක් බැස්සට ගාස්තු අඩුකරන්නේ කො හොමද?

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 08:00 41

ඔක්තෝබර් මස 01 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල පහළ දමන බව ඛනිජ තෙල් සංස්ථාවෙන් නිවේදනය කෙරුණි. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 40කින්ද ඔක්ටේන් 95 ලීටරය රුපියල් 30කින්ද පහළ දැමුණි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් හාරසිය දහයක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය නව මිල රුපියල් පන්සිය දහයකි.

කෙසේ වුවද ඉන්ධන මිල මෙසේ පහළ දැමුවද ත්‍රිරෝද ධාවනයේදී මගීන්ගෙන් අයකර ගනු ලබන මිලෙහි අඩුවක් සිදු නොවන බව මගීහු චෝදනා කරති.

"පෙට්‍රල්වල මිල ඉහළ ගියපු ගමන් ත්‍රීවීල්වල මීටරේ හරි ඉක්මනට වෙනස් වෙනවා. හැබැයි පෙට්‍රල්වල මිල පහළ ගියාට ත්‍රීවීල්වල මීටරේ වෙනස් වෙන්නේ නැහැ. මේක හරි අසාධාරණයක්. අපි ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. හැම දෙයක්ම මිල ගණන්. ඉස්සර නම් කිලෝමීටරයටත් අපි ත්‍රීවීල්වලින් ගියා. දැන්නම් ගොඩක් වෙලාවට යන්නේ පයින්. සමහර ත්‍රීවීල්වල මීටරේ නැහැ. සමහරු මීටරේ තිබ්බට ගණන් කියන්නේ ගමන ගිහින් බැස්සට පස්සෙයි. දැන් බොහෝ ත්‍රීවීල් ගණන් කියන්නේ එයාලට හිතුණ හිතුන ගණන්වලටයි. ඇත්තටම පෙට්‍රල් මිල පහළ දැම්මා කියල ත්‍රීවීල්වලින් මගීන්ට නම් සතපහක ලාභයක් ලැබෙන්නේ නැහැ."

වැල්ලම්පිටියේ මදූෂ දේශයට අදහස් දක්වමින් එසේ පැවසීය.

කෙසේ වුවද මේ වනවිටත් ත්‍රිරෝද ධාවනයේ හිඟයක් පවතී. වෙනදා තරම් ත්‍රිරෝද සංඛ්‍යාවක් ධාවනය වන්නේ නැත. එයට ප්‍රධාන හේතුව ත්‍රිරෝද රථවලට QR කේත ක්‍රමයට අනුව ලබාදෙනු ලබන ඉන්ධන ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීමය.
"අපිට සුමානයකට තෙල් දෙන්නේ ලීටර් පහක් විතරයි. ලීටර් පහකින් මේ ත්‍රීවීල් එකක් හයර් කරගන්න පුළුවන්ද? ඒ නිසා මම සුමානයකට හයර් යන්නේ දවසයි දෙකයි. සමහර සුමානවලදී පෙට්‍රල් ලීටරයකට රුපියල් තුන්සීයක් හාරසීයක් විතර වැඩි මුදලක් වැය කරල අරගත්තු දවස් තියෙනවා. එහෙම වැඩි ගණනකට අරගෙන තේරුමකුත් නැහැ. හැබැයි එහෙම නොගෙනත් බැහැනේ. මේක අපේ රස්සාව. මේ රස්සාව නිසා තමයි අපි ජීවත් වෙන්නේ. පහුගිය කාලයේදී පැය ගණන්, දවස් ගණන් පෝලිම්වල ඉඳලයි අපි තෙල් ටික ගහගන්නේ. ඒ කාලයේදී අපි කෑවද බිව්වද කියලවත් මිනිස්සු බැලුවේ නැහැ. හැබැයි රුපියල් හතළිහකින් ලීටරයක තෙල් මිල අඩුවෙද්දී ත්‍රීවිල් ගාස්තු අඩු නැහැනේ කියල කෑගහල කියන අය නම් ඉන්නවා. සමහරුන්ගේ QR අංකයට ගත්තු පෙට්‍රල් ටික අපි වැඩි ගණනකට අරගෙන අපේ ත්‍රීවිල්වලට ගහගෙන හයර් ගියපු දවස් තිබෙනවා. මේ ගැන කතා කරල වැඩක් නැහැ. හැම වෙලාවෙම පොඩි මිනිහාගේ බඩට ගහන්නයි හැමෝම බලන්නේ."යැයි ත්‍රිරෝද රථ රියදුරකු වන බොරලැස්ගමුවේ දමිත් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

ත්‍රිරෝද රථ රියදුරන් චෝදනා කරනු ලබන්නේ මෙම ඉන්ධන මිල පහළ හෙලීමෙන් තම ත්‍රිරෝද රථ ධාවන ගාස්තුව කිසිසේත්ම අඩුකළ නොහැකි බවය.

ඉන්ධන මිල අඩු කිරීමෙන් පසුව මගීන් ත්‍රීවීල් ගාස්තුව අඩුකිරීම බලාපොරොත්තු වීමේ කිසිම අසාධාරණයක් නැත. ත්‍රීරෝද රථයේ රියැදුරකු ලෙසින් සේවය කරන තැනැත්තෙකු තම රාජකාරියෙන් පසුව ඔහු භාණ්ඩයක් මිලදී ගැනීමට යද්දී ඔහු පාරිභෝගිකයෙකි. ඔහු සාමාන්‍ය මිනිසෙකි. එහෙයින් ත්‍රීරෝද රථ රියදුරකුම ඔහුගේ සේවාවේ විඳින දුක මෙන්ම පාරිභෝගිකයකු ලෙසින් අද ජීවිතේ ගැට ගසා ගැනීමට විඳින දුක හොඳට දැනේ. අද වෙද්දී මේ සැවොම ජීවත්වන්නට ආර්ථිකයත් සමඟ විශාල අරගලයක නිරත වෙමින් සිටිති.

"මේක දරුණු විදිහට මිනිසුන් පීඩා විඳින කාලවකවානුවක්. හයර් දුවන ත්‍රීරෝදවලට ප්‍රධානවම බලපානු ලබන්නේ ඉන්ධනයි. ත්‍රීරෝද රථයක් තිබුණට, මගීන් සිටියට, රියදුරකු හිටියට ප්‍රධානවම අවශ්‍ය වන්නේ ඉන්ධනයි. අගෝස්තු පළවෙනිදා සිට අපේ රටේ සිස්ටම් එකක් හරහා සතියකට ලබාදෙන්නේ ලීටර් පහක් පමණයි. ඒක මොනතරම් නම් අසාධාරණද? ඉහළ නිලධාරීන්, බලධාරීන් මේ ත්‍රීරෝද රථ රියදුරන්ට වුණ අසාධාරණයට පිළියම් විදිහට ඉන්ධන ප්‍රමාණය වැඩිකර දීමේ වැඩපිළිවෙළක් හදල දෙන බවට කොයිතරම් කිව්වත් අද වනවිටත් ඒකට පිළියමක් නැහැ. අද මේ තීරණය නිසා ත්‍රීරෝද රථ රියදුරන් කී දෙනෙකුෙග් රස්සාවල් වක්‍රව අහිමි වුණාද? ඔවුන්ගෙන් යැපෙන ජීවිත කීයක් නම් අද මේ තීරණය නිසා වන්දි ගෙවනවාද?"
සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා දේශයට අදහස් දක්වමින් එසේ ප්‍රශ්න කළේය.

ත්‍රීරෝද රියදුරන් චෝදනා කරනු ලබන්නේ වර්තමානයේදී ලබාදෙනු ලබන ඉන්ධන ප්‍රමිතියෙන් බාල බවය. සාමාන්‍ය නව ත්‍රීරෝද රථයක මීට පෙර එක් ලීටරයකින් නගරයේ කිලෝමීටර් විසිපහක් පමණ ධාවනය කිරීමට හැකිවුවද වර්තමානයේදී ඉන්ධන ලීටරයකින් ධාවනය කළ හැක්කේ උපරිම වශයෙන් කිලෝමීටර් විස්සක් පමණක් බව ඔවුහු කියති. ඒ අනුව ඔවුන්ගේ කියන්නේ QR කේත ක්‍රමයට අනුව ලබාදෙනු ලබන ඉන්ධන ලීටර් පහකින් සතියකට ධාවනය කළ හැකිවන්නේ කිලෝමීටර් සියයක් වැනි දුර ප්‍රමාණයකට පමණක් බවය. මේ අනුව ත්‍රිරෝද රථ රියදුරන් රජයට චෝදනා කරනු ලබන තවත් කරුණක් වන්නේ, මෝටර් කාර් රථයකට ලීටර් 20ක් දීමත්, මෝටර් බයිසිකලයකට ලීටර් 4ක් දීමත්, ත්‍රීරෝද රථයකට ලීටර් 5ක් ලබාදීමත් අතර ඇති පදනම කුමක්ද යනුවෙනි. ඒ අනුව ඔවුන් චෝදනා කරන්නේ මෙය ත්‍රීරෝද රථ රියදුරන්ට කරනු ලබන දරුණු අසාධාරණයක් බවය. කුඩම්මාගේ සැලකිල්ලක් දක්වන බවය.

"ත්‍රීරෝද රථ රියැදුරකුට මේ ලීටර් පහ කොහොමටත් ප්‍රමාණවත් වන්නේ නැහැ. හැබැයි ජීවත්වන්නට වෙනත් ක්‍රමවේදයක් නැතිවෙද්දී බොහෝ ත්‍රීරෝද රථ රියදුරන් වැඩි මුදලක් ගෙවල පෙට්‍රල් මිලදී ගන්නවා. ඒක තමයි ඇත්ත. එහෙම නැතිව මේ ලීටර් පහෙන් සතියක් දුවන්න බැහැ. ඒ වැඩි ගණනකට ගන්නා ඉන්ධනවලට වැය කරන මුදල් ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. එහෙම නැතිව සමහරු කාගේ හරි QR එක පෙන්නල පෙට්‍රල් ටිකක් ලබාගන්නවා. හැබැයි ඒකටත් ඒ QR එක අයිති කෙනාට මුදලක් ගෙවන්න සිදුවෙනවා. මේ වගේ දුක් විඳින ත්‍රීරෝද රථ රියදුරන් ගැන මිනිස්සු කතා වෙන්නේ නැහැ." යැයිද ලලිත් ධර්මසේකර මහතා සඳහන් කරයි.

වර්තමානයේදී බොහෝ ත්‍රීරෝද රථ රියැදුරෝ තම හිතුමතේට ත්‍රීරෝද රථ ගාස්තුව තීරණය කරති. ඇතැම් මීටර් ටැක්සි පෞද්ගලික ආයතන පවා තමන් යටතේ සේවය කරන රියදුරන්ගේ ත්‍රීරෝද රථයේ මීටරය තම ආයතනයට අවශ්‍ය පමණ වෙනස් කරගනී. සාමාන්‍ය ත්‍රීරෝද රථ රියදුරකු පළමු මීටරය රුපියල් සියයක් අයකර ගනිද්දී ඇතැම් ත්‍රීරෝද රථ ආයතන පළමු මීටරය රුපියල් එකසිය විස්සක්, ඇතැම්හු එකසිය පනහක් අයකරති.

"සතියකට ලැබෙන පෙට්‍රල් ලීටර් ප්‍රමාණය වැඩි කිරීමෙන් ත්‍රිරෝද රථ රියැදුරන්ට සාධාණයක් ලැබුණද මගීන්ට සාධාරණයක් ලැබෙන්න නම් ත්‍රීරෝද රථවල මිල ප්‍රදර්ශනය කළ යුතු වෙනවා. ටැක්සියක් නම් බෝඩ් එකක් තියෙන්න ඕනේ. එහෙම නොකර ලීටරයකින් රුපියල් හතළිහක් අඩුවීම නිසා සතියකට ලීටර් විස්සකින් රුපියල් අටසීයක් වියදම අඩුවෙන අය ත්‍රීරෝද රථ රියදුරන්ගේ පුංචි මුදල ගැන "අසාධාරණයි" කියල කෑගහන එක හරි වැරදියි." යැයිද ලලිත් ධර්මසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

"පෙට්‍රල් මිල අඩුවුණා කියල අපේ ප්‍රශ්න අඩුවෙලා නැහැ. අපි මේ තෙල් ටික හොයාගන්නෙත් බොහෝම අමාරුවෙන් පුදුම දුකක් විඳලා. දවසකට ප්ලේන්ටියක් බීලා ත්‍රීවීල් පදින අය ඕන තරම් ඉන්නවා. කිරි තේ එකක් බිව්වොත් ඒක අපේ පර්ස් එකට දැනෙනවා. අපි හයර් එකක් ගිහින් එනකොට එන්න වෙන්නේ හයර් එකක් නැතිවයි. තෙල් ගහද්දී අපි රුපියල් හාරසීය පන්සීය වැඩිපුර ෂෙඩ් එකට දෙන්න ඕනේ. ඒ සල්ලි අපිට රජයෙන්වත් ඔය ලොකු මිනිස්සුන්වත් දෙන්නේ නැහැනේ. QR වැඩිකරනව කිව්වට තාම එහෙම වැඩිකිරීමක් වෙලා නැහැ. පාර්ලිමේන්තුවේ තඩි බඩවල් හදාගෙන කෑගහන දේශපාලනඥයන්ට පොඩි මිනිසුන්ගේ දුක තේරෙන්නේ නැහැ. ඒ අය හැමදාමත් අසාධාරණය කළේ මේ රටේ පොඩි මිනිසුන්ටයි. සිමෙන්ති රුපියල් සියයකින් අඩු කරලා කිරිපිටි රුපියල් එකසිය විසි පහකින් වැඩිකළා. දරුවන්ට සිමෙන්ති දියකරලද දෙන්න ඕනේ? මේක හරිම අසාධාරණ පාලකයන් ඉන්න රටක්. අඩුකරපු රුපියල් හතළිහ ගැන හිතනවාට වඩා ඒ ලීටරය ලබාගන්න ත්‍රීරෝද රථ රියදුරන් විඳින දුක තේරුම් ගන්න." යැයි මරදානේ සිසිර මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

I දිශානි ජයමාලි කරුණාරත්න
ෙස්යාරූ - සුමුදු ෙහ්වාපතිරණ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04