2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

ඝාතනය වූ අලි සමරන ගල්ගමුවේ ස්මාරකය

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 08:00 116

ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය ඔක්තෝබර් 09 ඉරුදින පෙ.ව.10.00ට කොළඹ-අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව, සෙනරත්ගම, පූලංචිය වැව අද්දර ඇති ගිමන්හල පරිසර උද්‍යානයේදී නිරාවරණය කිරීමට නියමිතය. ''අහිංසා ශ්‍රී ලංකා'' සත්ව හිමිකම් සහ සුබසාධක සංගමය මඟින් තනවන ලද මෙම ස්මාරකය 2010 සහ 2018 යන වසරවල ගල්ගමුව ආශ්‍රිතව දිවි ගෙවන ලදුව ඛේදනීය අකල් මරණවලට ලක් වූ සියඹලන්ගමුවේ ඇතා සහ දළ පූට්ටුවා යන හස්තීන්ගේ සජීවී ප්‍රතිමා දෙකකින් සහ ක්ෂීරපායි, පක්ෂි, උරග, මත්ස්‍ය, සමනල යන සත්ව ප්‍රජාව නියෝජනය කෙරෙන බිතු කැටයමකින්ද සමන්විතය. ස්මාරකය විවෘත කිරීමෙන් පසු මෙම උද්‍යානය අනුරාධපුර බලා යන වන්දනාකරුවන්ගේ සහ සෙසු මහජනතාවගේ විවේකස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමටද ගල්ගමුව ප්‍රාදේශීය සභාව කටයුතු යොදා තිබේ.

පසුගිය වසර පහක කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ මිනිස් ජීවිත 558ක් මිනිස්-අලි ගැටුම හේතුවෙන් රටට අහිමි වී ඇති අතර එම ප්‍රමාණය වසරකට 112ක් පමණ වේ. මෙම වසරේ ගතවුණු මාස අටක කාල සීමාව තුළද මිනිස් ජීවිත 76ක් රටට අහිමි කිරීමට මිනිස්-අලි ගැටුම හේතු වී ඇත. මෙරට ඉතිහාසය තුළ මිනිස්-අලි ගැටුම හේතුවෙන් වැඩිම මිනිස් ජීවිත සංඛ්‍යාවක් රටට අහිමි වන්නේ ඉකුත් 2021 වසරේය. එම සංඛ්‍යාව 142කි. මිනිසා තුළ සහ ළමා පරපුර තුළ අලි ඇතුන් ගැන ආදරයක් ජනිත කිරීමද මෙම ස්මාරකය ඉදිකිරීමේ අරමුණකි.

ලෝකයේ බොහෝ රටවල සතුන් වෙනුවෙන් තැනූ ස්මාරක දැකගත හැකි වුණත්  ලංකාවේ එවැනි ස්මාරකවලට උනන්දුවක් නැත. එම අඩුව පුරවාලමින් ඉදිවුණු මේ ස්මාරකයේ මූර්ති නිර්මාණය කළේ මේ ඇතුන් දැකපුරුදු ප්‍රදේශවාසී චිත්‍රකලා ගුරු උපදේශක සියඹලන්ගමුවේ ජේ. රත්නායක විසිනි. කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිතකලාවේදී පශ්චාත් උපාධි අපේක්ෂකයකු වන ජේ. රත්නායක ශිල්පියා විසින් නවීන පරිගණක මෘදුකාංග ඇසුරින් එම හස්තීන්ගේ සජීවී රූපකායන් පිළිබඳ නිවැරදි මිනුම් සහ පරිමාණයන් ලබාගෙන මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකර තිබේ. 

මෙම ස්මාරකය ඉදිකිරීමට මුල්ගල තැබුවේ 2019 පෙබරවාරි 0 දාය. ස්මාරකය මුල්කොටගත් පාරිසරික උද්‍යානය මගින් අවට විශේෂ පාරිසරික කලාපයක් නිර්මාණය කරමින් පවතින අතර සාමාන්‍ය ජනතාවට සහ පාසල් සිසුන්ට පාරිසරික දැනුම ලබාදෙන අංග එක් කිරීමටද ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ ඉදිරි අරමුණු අතර වේ.

තේජාන්විත පෙනුමක් තිබුණු “සියඹලන්ගමුවේ ඇතා” ගල්ගමුව, සියඹලන්ගමුව, මීගල්ලෑව, කෝන්වැව, ජුසේවාස්පුර, මහගල්ගමුව, උස්ගල මිනිස්සුන්ගේ ආදරය, කරුණාව ලබපු හස්තියෙකි. අවුරුදු 30ක් 35ක් වයසැති “සියඹලන්ගමුවේ ඇතාට” ඒ නම ලැබුණේ මතක ඇති කාලයක ඉඳලා සියඹලන්ගමුව අවට දිවි ගෙවූ නිසයි.   සියඹලන්ගමුවේ ඇතා අඩි 8 1/2ක් විතර උසය. දළ දෙක දිගින් අඩි 5කි. හැමදාමත් හවසට ඇතා සියඹලන්ගමුව වැව් තාවුල්ලට පැමිණීම උගේ සිරිත විය.

ගමේ මිනිස්සුන්ටත් මේ ඇතා හොඳට හුරුපුරුදුය. හොඬ අතගාලා, කන්න මොනවාවත් දෙන්නත් ගමේ මිනිස්සු පුරුදුව සිටියහ. ඇතාට දිග දළ දෙකක් තිබුණු හින්දම සමහර ජාවාරම්කාරයන් ඇතාගේ දළ ගන්න උත්සාහ කළ බවත් පැවසේ. මේ අතර මිනිසාගේම කුරිරුකම් නිසා මේ ඇතා ප්‍රචණ්ඩ හස්තියෙක් වී ඇත. ඉන්පසු උගේ පහරදීම්වලින් එක් පුද්ගලයෙක් මරණයට පත්ව තිබේ. ඇතා අල්ලා උඩවලවේ වනෝද්‍යානයට ගෙනයාමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කළේ ඉන් පසුවයි. ඇතා ඇල්ලීමෙන් පසු අලි ප්‍රවාහන ලොරි රථයක ගෙන යාමේදී ලොරි තට්ටුව කඩා වැටී මියගියේය. ඒ 2010 නොවැම්බර් 23 වැනිදාය. ඇතාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පශු වෛද්‍ය නිලධාරියා කියා සිටියේ ඇතාගේ ඉදිරි පාදය ලොරියේ සිදුරට වැටෙන විට උගේ හදවත ලොරි තට්ටුව වැදීමෙන් මියගිය බවයි. එහෙත් බොහෝ පරිසරවේදීහු එය ප්‍රතික්ෂේප කළහ. කෙසේ නමුත් මෙම සිදුවීම ආන්දෝලනයට ලක් වූ නිසා මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරකෙරුණි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව එහි සඳහන් වූයේද මරණය අනපේක්‍ෂිත අනතුරක් නිසා සිදුවූවක් බවයි. පසුව සියඹලන්ගමුවේ ප්‍රදේශවාසීන් විසින් එම ග්‍රාමයේ විහාරයේ ඇතා වළ දැමුණු අතර ඇතා වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක්‌ද සූදානම් කර තිබුණි.

2017 නොවැම්බර් 29 දින කහල්ල පල්ලෙකැලේ අභයභුමියට අයත් තිබ්බටුවැව ප්‍රදේශයේ තිබී තවත් වන අලියෙකුගේ මළ සිරුරක් සොයා ගැනිණි. එදිනම ගජමුතු සමඟ තවත් සැකකරුවන් 04 දෙනෙක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් සතුව තිබී ගිනි අවියක් සහ දළ කැපීමට යොදාගත් බවට සැක කෙරෙන කියත් පටි කිහිපයක්ද පොලිසිය බාරයට ගනු ලැබිණි. 2017 නොවැම්බර් 30දා අලි මළ සිරුර ගල්ගමුවේ දළ පූට්ටුවාගේ බව මරණ පරීක්ෂණයේදී තහවුරු විය. විමර්ශන සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක්ද එදින අත්අඩංගුවට ගනු ලැබූහ. 2017 දෙසැම්බර් 09 දා ගල්ගමුවේ දළ පූට්ටුවා වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමේ උත්සවයක් ප්‍රදේශවාසීහු සංවිධානය කළහ. ඒ අවට තවත් වෙහෙර විහාරස්ථානවල මේ ඇතා වෙනුවෙන් පින්කම් කටයුතු සංවිධානය කෙරිණි. බොහෝ ස්ථානවල ඇතාගේ රෑපය ප්‍රදර්ශනය කරමින් ඇතා‍ගේ ගුණ වර්ණනා කරමින් ඇතා වෙනුවෙන් ශෝකය පළකර තිබෙනු දක්නට ලැබිණි. මේ අතර දළ පූට්ටුවාගෙන් කපාගත් ඇත් දළ යුගලද පසුව සොයාගනු ලැබුණු අතර සැකකරුවෝද අත්අඩංගුවට ගනු ලැබූහ.

වයස අවුරුදු 35-40 අතර වයසේ පසු වූ දළ පූට්ටුවා දඩයම්කරුවන්ගේ ගොදුරක් බවට පත් නොවූයේ නම් තවත් වසර 15-20 අතර කාලයක් ජීවත්වනු ඇති බව අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ එකල පවසා සිටියේය. අදටත් ගල්ගමුවේ දළ පූට්ටුවාගේ මතකය මෙරට වන සත්ව ලෝලීන්ට මෙන්ම ගල්ගමුව අවට ජනතාවටත් අමතක නොවේ. වෙඩි ප්‍රහාර නිසා දෑස් අන්ධව සිටි මේ ඇතාගේ සිරුරේ යකඩ මුනිස්සම් රාශියක් තිබුණු බව මරණ පරීක්ෂණයේදී හෙළි විය.
ලංකාවේ සමස්ත හස්ති පරපුරටම අත්ව පවතින ඛේදනීය ඉරණම හෙළිකරන මෙම හස්ති ස්මාරකය තුළ ලියැවී ඇත්තේ දුක්බර කඳුළු කතාවකි.

 කුසුම්සිරි විජයවර්ධන

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04