2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

ක්‍රිකට් ශූරයන්ගේ කොළඹ ඉඩම් අර්ජුන ගන්න හදයි

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 08:00 313

ජාතික ක්‍රීඩා සභාවේ වර්තමාන සභාපති මෙන්ම ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වන අර්ජුන රණතුංග මහතා රටේ නීති රීති උල්ලංඝනය කරමින් සුපිරි මහල් නිවාස සංකීර්ණයකට අවසර ලබාගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ගැටුමක් නිර්මාණය කරගැනීම පසුගිය සතියේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය.

වර්තමාන රජයේ නාගරික සංවර්ධන අධිකාරිය භාර අමාත්‍යවරයා වන ප්‍රසන්න රණතුංග සිය සොයුරා වීම සහ වර්තමාන රජයේ ක්‍රීඩා අමාත්‍යවරයා ඔහුට ‘අර්ජුන අයියා’ ලෙස ආමන්ත්‍රණය කිරීම ඇතුළු දේශපාලන හයිය නිසා අර්ජුන මෙසේ හැසිරෙනවා විය හැකි බව කරළියේ කතාබහට ලක් වී තිබේ.

මෙම ගැටුමට ප්‍රස්තූතය බවට පත්ව තිබෙන ඉඩම 1996 ‘විල්ස්’ ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ට එවකට රජයෙන් ත්‍යාග ලෙස ප්‍රදානය කළ බත්තරමුල්ල, රොබට් ගුණසේකර මාවතේ ඉඩම් කැබලි 14 වීම වඩාත් කැපී පෙනේ.  

මීට වසර පහකට පමණ පෙර එනම් 2017 වසරේ අප්‍රේල් මස කොළඹ තරු පංතියේ හෝටලයක 96 ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ගේද සහභාගීත්වයෙන් සුපිරි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එම ඉඩමේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් ඉන්දීය සමාගමක් මගින් ඉදිකරන බව ප්‍රසිද්ධ කළද එම ව්‍යාපෘතියට කුමක් වූයේද යන්න පසුගිය සතිය දක්වා සොයා ගැනීමට නොහැකිව තිබුණි.

සෞන්දර්යාත්මකව නිර්මාණය කරන සුඛෝපභෝගී නිවාස 300 කට අධික සංඛ්‍යාවක් සමන්විත මහල් 69 කින් සමන්විත මෙම නිවාස සංකීර්ණය ඉදිකරන ඉන්දීය සමාගමේ නිලධාරීන් පිරිසක්ද එම මාධ්‍ය හමුවට සහභාගි වූහ. 

මෙම සුවිශේෂී ඉදිකිරීම බී.ඕ.අයි. අනුමත ව්‍යාපෘතියක් මෙන්ම එය 2013 වසරේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර සංස්ථාපිත කරන ලද ව්‍යවසායකයකු ‘විල්ස් රියර්ටර්ස් පෞද්ගලික සමාගම’ විසින් ඉදිරිකරනු ලබන බවද ප්‍රකාශ විය. එම මාධ්‍ය හමුව පැවැති දිනයේ සිට පසුගිය සතිය දක්වා ගතවූ වසර පහකට අධික කාලය තුළ අර්ජුන රණතුංග ප්‍රබල ඇමති ධූර කීපයක් දැරුවද මෙම නිවාස සංකර්ණය ගැන කථා නොකළේය.

එම විශේෂ මාධ්‍ය හමුවට ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 14 දෙනාගෙන් වැඩි පිරිසක් සහභාගි වී සිටි අතර මේ වනවිට එම ව්‍යාපෘතියෙන් රොමේෂ් කළුවිතාරණ සහ මාවන් අතපත්තු ඇතුළු ක්‍රීඩකයන් හයක් ඉවත්ව ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් අර්ජුන රණතුංග සිය නීතිඥාවරයා සමඟ පසුගිය සඳුදා (3 වැනිදා) බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාගේද සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවකදී ආවේගශීලීව හැසිරුණු බව දැනගන්නට තිබේ. නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියකු ‘දේශය’ කළ විමසුමකදී පැවසුවේ එම අධිකාරියට මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇති නීතිමය බැඳීම පිළිබඳව රණතුංග මහතා දැනුවත් කරද්දී ඒ මහතා ආවේගශීලීව අදහස් ප්‍රකාශ කළ බවයි. හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු වන එස්.බී. දිසානායක මහතා කැබිනට් පත්‍රිකාවක් මගින් මෙහිදී පර්චස් 10 බැගින් වන ඉඩම් කොටස් 14 ක්‍රීඩකයන්ට පවරා ඇති බවත් එම ඉඩම් වෙනත් පුද්ගලයකුට පැවරිය නොහැකි බවට කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව තිබීම නිසා මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිරිකිරීම පිළිබඳව ගැටලුවක් ඇති බවත් දැනුවත් කිරීමත් සමඟ රණතුංග මහතා ආවේගශීලී වූ බවත් එම නිලධාරියා කීය.

මෙම සිද්ධියෙන් දින දෙකකට පසු එනම් පසුගිය බදාදා (5 වැනිදා) නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය අගයමින් ක්‍රිකට් ක්‍රීඩකයන්ට රජයෙන් තෑගි දුන් එම ඉඩම් කොටස් කිහිපයක සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය ඉදිකිරීමට අර්ජුන රණතුංග මහතා කළ ඉල්ලීම ඉටුකළ හැක්කේ එම ඉඩම්වල වර්තමාන තක්සේරු මුදල ගෙවන්නේ නම් පමණක් බවයි. එහිදී අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

&96 ලෝක කුසලානය දිනාගත් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් 14 දෙනෙකුට පර්චස් 10 ඉඩම් ලබාදුන්නා. ඉන් ක්‍රීඩකයන් 8 දෙනෙකු මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට අවසර ඉල්ලා තිබෙනවා. මෙම ඉඩම් ලබාදී තිබෙන්නේ ක්‍රීඩකයන්ගේ පෞද්ගලික පරිහරණයටයි. එහිදී වෙනත් පාර්ශ්වයකට ඉඩම දෙනවා නම් නාගරික සංවර්ධන අධිකාරියේ අණපනත් අනුව කටයුතු කළ යුතුයි. ඒ අනුව කටයුතු කරනවා නම් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට ඒවා ලබා දිය හැකියි.

එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වු එස්.බී. දිසානායක මහතා 1997 වසරේ ජනවාරි 22 වැනිදා කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් මගින් මෙම ඉඩම් ලබාදී ඇත්තේ රුපියල් 1000 කටයි. අර්ජුන රණතුංග මහතා පසුව ‘විල්ස් රියර්ටර්ස් පෞද්ගලික සමාගම’ නම් සමාගමක් පිහිටුවා ඒ මගින් මෙම ඉඩමේ සුඛෝපභෝගි නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට අවසර ඉල්ලා ඇති අතර නාගරික සංවර්ධන අධිකාරිය අදාළ සමාගම පිළිබද විස්තර ඉල්ලා ඇතත් ඒ පිළිබඳ නිවැරදි තොරතුරු ඉදිරිපත් කර නෑ. 

අර්ජුන රණතුංග මහතා යහපාලන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු ලෙස කටයුතු කළ කාලයේදී මේ සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් සිදුකර නොමැති අතර මෙම ඉල්ලීම නැවත නාගරික සංවර්ධන අධිකාරියට ඉදිරිපත් කර ඇත්තේ පසුගිය වසරේ පෙබරවාරි 1 වැනිදායි. ඉඩම් කැබලි 14 ම මෙම සමාගමට පවරන ලෙස එමගින් ඉල්ලා ඇත. මෙම ඉල්ලීමෙන් පසු මාවන් අතපත්තු හා රොමේෂ් කළුවිතාරණ තම ඉඩම් මෙම සමාගමට පැවරීමට තමන්ගේ විරෝධය නාගරික සංවර්ධන අධිකාරියට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

අර්ජුනගේ සොහොයුරු ප්‍රසන්න රණතුංග මහතා විෂයභාර අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු මෙම වසරේ අගෝස්තු මස 23 වැනිදා මීට අදාළ ඉල්ලීමක් අර්ජුන රණතුංග විසින් නාගරික සංවර්ධන අධිකාරියට ඉදිරිපත් කර ඇත. එමගින් ඉල්ලා ඇත්තේ ක්‍රිකට් කණ්ඩායමේ 8 දෙනකුට ලබාදුන් ඉඩම් කැබලි 08ක් මෙම සමාගමට නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සදහා පවරා දෙන ලෙසයි” යැයි රණවීර මහතා කීය.
අර්ජුන රණතුංග මහතා මෙම ගැටලුව විසඳා ගැනීමට බලය පෙන්වීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නේද යන්න ජනතාව බලා සිටිති.

I සටහන: යොහාන් භාසුර