සමෘද්ධි ව්‍යාපාරය යනු අපේ රටේ දුප්පතුන් බලගැන්වීමේ ක්‍රියාවලිය සඳහා නිර්මාණය කළ වැඩසටහනකි. විවිධ හේතු නිසා මෙරට දිළිඳු ජනතාවට රටේ ජාතික සංවර්ධන ක්‍රියාවලියට කිසිදු දායකවීමක් නොමැතිව නිෂ්ක්‍රීයව සිටීමට සිදුව තිබේ. මෙම තත්ත්වය මත දිගින් දිගටම ඔවුන්ට සිදුව ඇත්තේ අනුන්ගෙන් යැපෙන්නටය. මේ නිසා ඔවුන්ගේ හැකියාවන්ගෙන් ඔවුන්ට හෝ රටට සිදුවන යහපතක් නොමැත.
එහෙත් මෙම සෑම පුද්ගලයකු තුළම සැඟවුණු විභවතා ශක්තියක් ඇත. මෙම විභවතාවන් සැඟවී ඇති බාධක දුරැකර ඔවුන්ගේ අභිවෘද්ධිය ළඟාකර ගත යුතුය. ඒ සඳහා ඔවුන් ස්වභාවිකව ශක්තිමත් කිරීම සඳහා ඇතිකර ඇති ප්‍රජාව බලගැන්වීමේ ක්‍රියාවලිය සමෘද්ධිය නම් වේ. මෙම ප්‍රජා මූලමය වැඩසටහන 1995 වසරේදී ඇරැඹුණු අතර පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද 1995 අංක 30 දරණ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරි පනත මගින් බල ගැන්වේ.
මෙම වැඩසටහනේ ප්‍රධාන අපේක්ෂාව වන්නේ දිළිඳුකම පිටුදැක ඒ මගින් දුප්පතුන් බලශක්තිකරණය කිරීමය. මේ සඳහා විශේෂයෙන් ක්‍රියාත්මක වන්නේ සමෘද්ධි බැංකු ව්‍යාපාරයයි. මෙමගින් කුඩා ගම්මාන තුළ සමෘද්ධි සමිති බිහිකර ගමේ සාමාජිකයන්ගේම අනුග්‍රහයෙන් ග්‍රාමීය ප්‍රජාව සංවර්ධනය කෙරේ. සමෘද්ධි සංවර්ධන සමිති සති දෙකන් දෙකට රැස්වී මේ පිළිබඳව අදාළ තීරණ ගන්නවා ඇත. රජයේ සංඛ්‍යාලේඛන අනුව දශ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට සමෘද්ධි සමිති ව්‍යාපාරය තුළ සංවිධානය වී ඇත. ඔවුන් හඳුන්වන්නේ සමෘද්ධිලාභීන් ලෙසටය.
එහෙත් මෙම සමෘද්ධි ව්‍යාපාරය තුළින් බලාපොරොත්තු වන අපේක්ෂා සාක්ෂාත් කරගෙන ඇතිද යන ගැටලුව මතුවේ. ගෙවී ගිය 27 වසර තුළ සමෘද්ධිලාභීන් නිසි මගට අවතීර්ණ වූවා නම් අද වනවිට මෙරට සමෘද්ධිලාභීන් සිටිය නොහැක. එයට හේතුව ඔවුන් සවිබල ගැන්වී රටට සමාජයට වැඩදායක කොටසක් බවට පත්ව තිබීමය. එහෙත් එය සිදුවී ඇතිද යන්න පිළිබඳ අපට කිසිලෙසකින්වත් සෑහීමකට පත්විය නොහැකිය.
එහෙත් එයට හේතුව සමෘද්ධිලාභීන් වසරක් පාසා අඩුවිය යුතුව තිබියදී එම සංඛ්‍යාව දිගටම වර්ධනය වෙමින් පැවතීමය. මෙය සමෘද්ධි ව්‍යාපාරයේ පරමාර්ථවලට පටහැනි ක්‍රියාවලියකි. දුප්පතුන් අඩු කිරීම වෙනුවට වැඩි කිරීම සිදුවන බැවිනි. පසුගිය 2021 වසර මුල්භාගය වනවිට සමෘද්ධිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 17ක් විය. එක පවුලක යැපෙන්නන් හතර දෙනා බැගින් ගත්විට මෙම ප්‍රමාණය ලක්ෂ 68ක් වේ. මේ වසරේ එම පවුල් ලක්ෂ 17ට අමතරව තවත් පවුල් හත් ලක්ෂ විසිහය දහසක් (7,26,000) සමෘද්ධි ආධාර ලබන පොරොත්තු ලේඛනයට ඇතුළත්ව සිටින බව මුදල් අමාත්‍යංශ වාර්තා අනුව පෙනී යයි. මෙය දිගටම වැඩිවෙමින් පවතී.
එක පවුලකට 4 දෙනා බැගින් ගත්විට තවත් සමෘද්ධිලාභීන් ලක්ෂ 19ක් සහනාධාර අපේක්ෂා කරන තත්ත්වයට පත්ව තිබේ. මේ අනුව සමෘද්ධි අපේක්ෂකයන්ගේ මුළු සංඛ්‍යාව ලක්ෂ 100කට ආසන්න වෙයි. යම් හෙයකින් පවුලේ සාමාජික සංඛ්‍යාව හතරදෙනකුට වැඩි වුවහොත් මෙම සංඛ්‍යාව ලක්ෂ 100ද ඉක්මවා යනවා ඇත. අපේ රටේ සමස්ත ජනගහණය ලක්ෂ 222ක් වේ. ඒ අනුව රටේ සමස්ත ජනගහණයෙන් අඩක් පමණ සමෘද්ධිලාභීන් වී සිටින්නේ යැයි කිවහොත් එය කොතරම් ශෝචනීය තත්ත්වයක්ද?
රටේ ඒකපුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 3815 බවට ගණන් බලා ඇති නමුත් එම ආදායම රටේ සමස්ත ජනගහණයට සාපේක්ෂව සමසේ බෙදී යන්නේ නැත. රටේ ජනගහණයෙන් සියයට 20ක් අන්ත දිළින්දන් බවද. තවත් සියයට 20ක් අති සුඛෝපභෝගී ජීවිත ගත කරන්නන් බවටද පත්ව සිටිති. ඔවුන් සොරාගෙන ඇත්තේ අනුන්ගේ ආදායමයි. මේ අන්ත දෙකටම නොගොස් මධ්‍යම තත්ත්වයක සිටින අයගෙන් ඇතැම් කොටස් වාර්ෂිකව අන්ත දිළිඳු තත්ත්වයට ඇද වැටේ. අද රටේ පවතින වාතාවරණය අනුව මෙම තත්ත්වය සීඝ්‍රයෙන් වර්ධනය වන්නේ කවරදාවත් නොවූ පරිදිය. රජය විටින් විට පනවන බදු නිසා මෙම ජනතාව වඩාත් විපතට වැටේ. බදු පනවන්නේ ව්‍යාපාරිකයන්ට යැයි පැවසුවද අන්තිමට මෙම බද්ද විතැන් වන්නේ අසරණ ජනතාව වෙතටය. ඒ නිසා සහනාධාර පවා යොදවා ජීවිතය ගෙනයාමට ජනතාවට සිදුව ඇත. මෙයින් සිදුවන්නේ සහනාධාරවලින් බලාපොරොත්තු වන ප්‍රතිඵලය නොලැබීමයි.
දිගින් දිගටම සමෘද්ධි සහනාධාර ලබන ජනතාවගේ සංඛ්‍යාව ඉහළ යාම සහ සමෘද්ධි සහනාධාරය වැඩි කිරීමට සිදුවීම පිළිබඳ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක් මෙසේ පැවසුවාය.
අපේ රටේ පවතින ක්‍රමය අනුව සමෘද්ධි සහනාධාරය යනු ජීවත්වීමට ලබාදෙන ජීවනාධාරයක් යැයි වැඩිදෙනා උපකල්පනය කරනවා. බොහෝ වගකිවයුතු අය ඒ අදහස ඔවුන් තුළ රෝපණය කරලා තියෙනවා. එහෙත් මෙය ලබාදෙන්නේ ජනතාව අනුන්ගෙන් යැපෙන තත්ත්වය නැතිකර තමන්ට ජීවත්වීමට යම් ක්‍රමයක් යොදාගැනීමට දිරිදීමක් වශයෙන්. එහෙත් එයින් ප්‍රයෝජනය ගන්නේ කීයෙන් කී දෙනාද? අපේ දෙපාර්තමේන්තුව මගින් ඔවුන් සඳහා හඳුන්වා දෙන ජීවනෝපාය ක්‍රමවේද තිබෙනවා. එහෙත් ඒවාට උනන්දුවක් දක්වන අය අඩුයි. මේ ගැන ජනතාවගේ ආකල්පමය වෙනසක් ඇති කිරීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විවිධ වැඩසටහන් හඳුන්වා දෙනවා.
මේවා ක්‍රියාත්මක වන්නේ සමෘද්ධි බැංකු සංගම් හරහායි. සමෘද්ධි බැංකු සංගම් ව්‍යාපාරය තුළ එවැනි උප පද්ධති හතරක් දක්නට තියෙනවා. පස්දෙනාගේ කණ්ඩායම එවැනි එක උප පද්ධතියක්. කුඩා ගම්මාන මට්ටමේ සමෘද්ධි සමිතිය තවත් එකක්. කලාප මට්ටමේ බැංකු සංගමය තවත් උප පද්ධතියක්. සමෘද්ධි මහා සංගමය තවත් එකක් වෙනවා. මෙම පද්ධතීන් හරහා සමෘද්ධි ව්‍යාපාරය අපේක්ෂිත ප්‍රතිඵල ළඟාකර ගැනීම සඳහා විවිධ ක්‍රමෝපායන් යොදාගෙන තිබෙනවා.
අපේ රටේ සමෘද්ධි සංවර්ධන වැඩසටහන පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ආර්.අයි.ආර්. ප්‍රසන්න පවසන්නේ අද පවතින දරිද්‍රතාව තුරන් කිරීමේ වැඩසටහන සම්පූර්ණයෙන් අසාර්ථක බවය. එයට හේතුව එය එදා සිටම දේශපාලනීකරණය වී තිබීම බව ඔහු පෙන්වා දෙයි.
මුලදී සමෘද්ධි සංවර්ධන වැඩසටහන අනුව පවුල් ලක්ෂ 17ක සාමාජිකයන් ලක්ෂ 68ක් නඩත්තු කළා. මෙම සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවිය යුතු නමුත් මේ වනවිට වැඩිවීමක් තමා සිදුව ඇත්තේ. මෙම වැඩසටහන පිළිබඳ ඉලක්කයක් නැහැ. මෙච්චර මුදලක් මේ සඳහා ආයෝජනය කරනවා. මෙපමණ කාලයකින් ප්‍රතිඵල ලබාගන්නවා ආදී වශයෙන් කිසිදු ඉලක්කයක් ඇත්තේ නැහැ. පසු විපරම් කිරීමක් සිදුවන්නේ නැහැ. එයයි වරද.
මෙම වැඩසටහන දියත් කරනු ලබන්නේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාල හරහායි. මේ සඳහා වින්නඹු මාතාව දක්වා රාජ්‍ය නිලධාරීන් රැසක් සම්බන්ධ වෙනවා. එහෙත් ඒ සා නිලධාරීන් සම්බන්ධ වෙලා කරන මෙම ව්‍යාපෘතියෙන් සිදුවෙන ප්‍රතිලාභ නොසෑහෙන බවයි කිවයුතු වන්නේ. මුලින්ම කාර්යසාධන වැඩසටහනක් තනා එහි ඉලක්ක සැමරිය යුතු වෙනවා. එහෙත් එවැන්නක් අපට පෙනෙන්නට නැහැ. මෙම වැඩසටහන පටන්ගෙන කල් යනවිට ක්‍රමයෙන් දරිද්‍ර පවුල් මෙම චක්‍රයෙන් පිටතට විසිවෙන්න ඕනෑ. එවැන්නක් සිදුව නැත්තේ වැඩසටහන එය ආරම්භ කිරීමේ පරමාර්ථයෙන් ඉවත්වෙලා දේශපාලනීකරණය වීම නිසයි. මෙය හුදෙක් අද දේශපාලනඥයන්ට ඡන්ද ලබාගැනීමේ ව්‍යාපාරයක් බවට පත්වෙලා. ඇතැම් දේශපාලනඥයන් ඡන්ද ලබාගන්නේ තමන් බලයට පත් වූ පසු ඡන්දදායකයන්ට සමෘද්ධි ප්‍රතිලාභ ලබාදෙන බවට පොරොන්දු දීලයි.
ඇතැම් දේශපාලනඥයන් වඩාත් කැමැති වන්නේ දුප්පතුන් සදාකාලිකවම එලෙස සිටිනවාටයි. තම පැවැත්ම පවතින්නේ දුප්පතුන් මත බව ඔවුන් දන්නවා. ඒ නිසා දුප්පත්කම නැති කරනවාට ඔවුන් කැමැති නැහැ. මෙම ආකල්පය තිබෙනතාක් කල් මෙම වැඩසටහනෙන් බලාපොරොත්තු වන ප්‍රතිලාභ ලබාගන්නට බැහැ.
රටේ ආර්ථිකය සියයට 8-9 පමණ මේ වනවිට සංකෝචනය වෙලා තියෙනවා. උද්ධමනය වැඩිවන විට මධයම පාන්තිකයන් පීඩාවට පත්වෙලා ඔවුන් දරිද්‍රතා මට්ටම දක්වා පහළ වැටෙනවා. එසේම පහළ ඉන්න අය වැඩිදුරටත් හිරිහැරයට පාත්‍රවෙනවා. අද රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව ජනතාව ජීවන බරෙන් දැඩිව පීඩා විඳිනවා. ආහාර උද්ධමනය සියයට 90 ඉක්මවා යාමට වැඩි කාලයක් ගත වන්නේ නැහැ. මෙවැනි කාලයක වැඩි දෙනෙක් සමෘද්ධිය ලබාගැනීමට ඉල්ලුම් කිරීම එතරම් අසාධාරණයක් නොවෙයි.තම ආදායමට වඩා වියදම දෙතුන් ගුණයකින් ඉහළ ගිය විට ඔවුන් සමෘද්ධිය වැනි රජයේ සහනාධාර සඳහා යොමුවීම වැළැක්විය නොහැකියි. මේ වනවිට වැඩිපුර ලක්ෂ 29ක් ජනතාව සහනාධාර ඉල්ලන තත්ත්වයට පත්වෙලා තියෙනවා කියන්නේ ඒ නිසයි. මෙය බලාපොරොත්තු විය යුත්තක්.
කිසිවකුටත් සහනාධාර සෑම දිනම ලබා දිය නොහැක. එය දෙන්නේ සීමිත කාලයකටය. ඔවුන්ට තම ජීවිතය යම් ජිවන රටාවකට හැඩ ගස්සවා ගැනීමට සහනාධාරය උපයෝගී කර ගත හැකිය. ඉන්පසු සහනාධාර නොලබා ජීවත්වීමට හැකියාව තිබිය යුතුය. සමෘද්ධි දීමනාවේ ප්‍රතිඵලය එයයි. එසේ නැතුව සමෘද්ධිය ලබාගෙන එයින් ජීවත් වෙන්න හදනවා නම් එය පරමාර්ථවලට පටහැනියි. මෙහිදී සමෘද්ධිලාභීන් නිසිමගට යොමු කිරීමේ වගකීම අදාළ නිලධාරියා බාරගත යුතුයි. ඒ පිළිබඳ පසු විපරම් කර වාර්තාවක් සැපයීම ඔහු කළ යුතු වෙනවා. එහෙත් අපේ රටේ එවැනි ක්‍රමයක් නැහැ. සමෘද්ධිලාභීන් අඩුකර ගැනීමේ ක්‍රමවේදයක් නැහැ. වසරක් තුළ කොතරම් සංඛ්‍යාවක් ස්වයංජීවන මාර්ගයකට යොමුකළාද යන්න පිළිබඳ අදාළ නිලධාරීන් වාර්තා කළයුතු වෙනවා. සමෘද්ධිලාභීන් අපේ ආර්ථිකයේ කොටස්කරැවන් කරවීමේ නිසි ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වෙනවා. එහෙත් අවාසනාව වන්නේ කාටවත් ඒ ගැන උනන්දුවක් නැතිවීමයි.
I යසවර්ධන රැද්රිගු