2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

ගහෙන් වැටුණු ඇඟලුම් කර්මාන්තයට කෝටාවෙන් ඇනීම

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 08:00 69

සංචාරක ව්‍යාපාරය, විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම හැරුණු විට මෙරටට විදේශ විනිමය ගෙන එන තවත් එක් ප්‍රධානම ක්ෂේත්‍රයක් වන්නේ ඇඟලුම් කර්මාන්තයයි. නිදහස් වෙළෙඳ කලාපය තුළ කර්මාන්ත ශාලා 290ක් පමණ ඇති අතර  ඉන් බැහැර ආයෝජන මණ්ඩලය මගින් අනුමත කම්හල් 1500ක් පමණ පවතී. ශ්‍රී ලංකාවේ මේ වනවිට නිර්මාණය වී ඇති ආර්ථික අර්බුදය හා ස්ථාවර ආණ්ඩුවක් නොපැවතීම මත විදේශ සමාගම් බියට පත්වීම නිසා මෙරට ප්‍රධාන පෙළේ ඇඟලුම් නිෂ්පාදන ආයතනවලට ලැබී තිබූ ඇණවුම්වලින් 30%ත් 50%ත් අතර ප්‍රමාණයක් මේ වනවිට අහිමි වී ඇතැයි නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා දේශයට ප්‍රකාශ කළේය. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට ඇඟලුම් සඳහා ඇණවුම් ලැබෙන්නේ එම නිෂ්පාදනයේ ස්වභාවය අනුවය. ඒ සාමාන්‍යයෙන් කාර්තුවකට, සය මසකට වැනි කාලයකටය. ඉදිරි ශීත සෘතුව සඳහා අවශ්‍ය ඇඟලුම් සඳහා වන ඇණවුම් මේ වනවිට ලැබිය යුතුය. එහෙත් ඉදිරි කාලය සඳහා ලැබී ඇති ඇණවුම් ප්‍රමාණය අවම වී තිබේ.

රුසියානු - යුක්‍රේන යුද්ධය හේතුවෙන් යුරෝපා රටවලට බලපා ඇති උද්ධමනකාරී තත්ත්වය හා ඇමෙරිකාවේ ඉන්ධන මිල ඉහළ යාම මත නිර්මාණය වී ඇති අර්බුදයද එම රටවලින් ලැබෙන ඉල්ලුමේ යම් අඩුවක් ඇතිවීමට බලපා තිබේ. ඇඟලුම් නිෂ්පාදනය කරන අනෙකුත් ආසියානු රටවල උද්ධමනය ඉහළ ගියද ශ්‍රී ලංකාවේ තරම් ඉහළ අගයක නොමැති හෙයින් ඇඟලුම් ආනයන සමාගම් එම රටවල් වෙත යොමු වී ඇතැයි ධම්මික ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කරයි. 
ශ්‍රී ලංකාවට වඩා අඩු මිලකට, කෙටි කාලයකින් ඇඟලුම් නිපදවා අපනයනය කළ හැකි රටවල් බොහෝ ඇත. ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය ඊට උදාහරණ කිහිපයකි. එමෙන්ම ශ්‍රී ලංකාවට තරගකාරී රටවල් කිහිපයක්ද මේ වනවිට ඉදිරියට පැමිණ තිබේ. අප්‍රිකාව, ඉතියෝපියාව, කෙන්යාව, ඊජිප්තුව වැනි රටවල් අපට වඩා ඉතාමත් අඩු මිලකට ඇඟලුම් නිෂ්පාදනය කරයි. එහෙත් එවැනි රටවලට ලැබෙන ඇණවුම් හා ශ්‍රී ලංකාවට ලැබෙන ඇණවුම් අතර වෙනසක් පවතී. අපේ නිමි ඇඳුම්වල තත්ත්වය ඉතා උසස් බව ලෝකයේ පිළිගැනීමයි. එමෙන්ම ලොව උසස්ම හා මිල අධිකම ඇඟලුම් සන්නාමයන් යටතේ වන බොහෝ ඇඟලුම් නිෂ්පාදනය කෙරෙන්නේ ශ්‍රී ලංකාවේය. ඒවා මිල අධික වෙළෙඳපොළ සඳහා වන අතර බංග්ලාදේශය වැනි රටවල නිපදවන්නේ කරන්නේ බල්ක් ගාර්මන්ට් හෙවත් ටීෂර්ට් වැනි ඇඟලුම්ය. ක්‍රීඩා ඇඳුම්, ලෝන්ජරි, කම්හල් සේවක ඇඳුම් වැනි ඇඟලුම් නොවන නිෂ්පාදන සඳහාද ශ්‍රී ලංකාවට ඇණවුම් ලැබේ.

මහා පරිමාණ ඇඟලුම් කම්හල් තමන්ට ලැබෙන ඇඟලුම් නිෂ්පාදන ඇණවුම්වලින් කොටසක් සුළු හා මධ්‍ය පරිමාණ උප කොන්ත්‍රාත් ඇඟලුම් කම්හල්වලටද ලබාදෙයි. ඇඟලුම් ඇණවුම් අවම වීම හේතුවෙන් එම කුඩා හා මධ්‍යම පරිමාණයේ ඇඟලුම් කම්හල්වලට ලබාදෙන ඇණවුම් ලබාදීමට නොහැකි තත්ත්වයක් උදාවීම මත මධ්‍යම හා සුළු පරිමාණ ඇඟලුම් කම්හල් අඩපණ වී තිබේ. වසර 15ක් පුරා ප්‍රධාන පෙළේ සන්නාමයක් (බ්‍රෑන්ඩඩ්) යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ඇඟලුම් ඇණවුමක් මෙරටින් ඉවත් කොට වියට්නාමයට හා බංග්ලාදේශයට ලබාදීමට එම සුප්‍රකට විදේශීය සමාගම පියවර ගැනීම නිසා මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ඇඟලුම් ආයතන 15ක පමණ නිෂ්පාදන කටයුතු ඇනහිට තිබේ  එලෙස ශ්‍රී ලංකාවට අහිමි වී ඇති ඇඟලුම් කැබලි ප්‍රමාණය වසරකට මිලියන පහක් පමණ වේ. එය විශාල ප්‍රමාණයක් නොවූවද ඉන් කුඩා හා මධ්‍යම පරිමාණ ඇඟලුම් කර්මාන්තශාලාවලට විශාල බලපෑමක් ඇති කර ඇතැයි ධම්මික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
වසර කිහිපයකට පසු වැඩිම අපනයනයක් සිදු වූයේ පසුගිය ජූලි මාසයේ බව පැවසේ. එය 53%ක පමණ ප්‍රමාණයකි. කර්මාන්ත හිමියන් පෙන්වා දෙන්නේ. රටේ ආර්ථික අර්බුදය නිර්මාණය වීමට පෙර ලැබී තිබූ ඇණවුම් අපනයනය කිරීමට හැකිවීම නිසා එලෙස වැඩිම අපනයනයක් සිදු වූ බවයි. එහෙත් ඉදිරි කාර්තුව සඳහා ලැබිය යුතු ඇණවුම් ප්‍රමාණය අවම වීම හේතුවෙන් බොහෝ කර්මාන්තශාලා ඉදිරියේදී විශාල අර්බුදයකට මුහුණ දීමට නියමිත බව ඔවුහු ප්‍රකාශ කරති. මේ වනවිටත් ප්‍රධාන පෙළේ විශාල කර්මාන්ත ශාලාවක් වැසී ගොස් තිබේ. විදුලි බිල සියයට 100කින් වැඩිවීමද ඉන්ධන අර්බුදයද ආයතනවල පිරිවැය 5%ත් 10%ත් අතර ප්‍රමාණයකින් ඉහළ දමා තිබේ. එවැනි ප්‍රතිශතයකින් පිරිවැය අධික වීම තම ලාභාංශවලට ඉතා විශාල බලපෑමක් ඇතිකරන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නිදහස් වෙළෙද කලාපයේ හා පොදු සේවක සංගමයේ සභාපති ඇන්ටන් මාකස් මහතා " එලෙස විශාල ප්‍රමාණයක අපනයනයක් සිදුකළේ අඩු සේවක සංඛ්‍යවකින්  කොවිඩ් අර්බුදය සමයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ සෙවකයන් එක්ලක්ෂ පනස් දහසකගේ සේවය අහිමි කළා. දැන් සිටින්නේ සේවකයන් 350,000ක් පමණයි. මේ තුන්ලක්ෂ පනස්දාහෙන් තමයි පන්ලක්ෂයක් සේවකයන් සිටින කාලයට වඩා වැඩි නිෂ්පාදනයක් ලබාගෙන තිබෙන්නේ." යනුවෙන් ප්‍රකාශ කරයි.

පසුගිය කොරෝනා කාලයේ ඇඟලුම් කර්මාන්ත ශාලා සේවක හිඟය නිසා අසීරුතාවට පත් විය. එහෙත් දැන් එවැනි තත්ත්වයක් නොමැති අතර ඇණවුම් අවම වීම මත සිටින සේවකයන්ටද රැකියා අහිමිවීමේ තර්ජනයක් නිර්මාණය වෙමින් තිබේ.  ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟයක් පවතින අතර ඒ හේතුවෙන් වැඩ නොමැතිවීම මත ආයෝජන ප්‍රවර්ධන කලාපවල ඇති ඇතැම් කර්මාන්ත ශාලා තම සේවකයන්ට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇතැයිද වාර්තා වේ.
"හාම්පුතුන් ප්‍රකාශ කරන්නේ ඇණවුම් අඩුවීමට හේතුව ලොව පුරා - විශේෂයෙන් ඇමෙරිකාවේ හා යුරෝපයේ නිර්මාණය වී ඇති උද්ධමනය නිසා එම රටවල පාරිභෝගිකයන් අතර අලෙවිය අවම වී ඇති බවටයි. එහි යම් සත්‍යතාවක් පැවතියද ලංකාවේ පවතින අර්බුදය ඇණවුම් අහිමි වීමට විශාල ලෙස බලපා තිබෙනවා. ඇණවුම්කරුවන් තම ඇණවුම් ලබා දෙන්නේ නියමිත වෙලාවට තමන්ගේ ඇණවුම ලබා දිය හැකිනම් පමණයි. එහෙත් ලංකාවේ පවතින ඉන්ධන, විදුලි අර්බුද හේතුවෙන් නියමිත වෙලාවට ඇණවුම් ලබා දීමේ හැකියාවක් නැහැ. එහි ප්‍රතිඵලය වී තිබෙන්නේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ශාලා වැසී යාමයි. ඇතැම් මහ පරිමාණ ආයතනවලට යම් බලපෑමක් ඇතිවී තිබෙන නමුදු ඒවා වසා දමා නැහැ. ඔවුන් සේවකයන් යම් ප්‍රමාණයක් අඩු කර තිබෙනවා.

සුළු හා මධ්‍යම පරිමාණයේ කම්හල් කිහිපයක්ම මේ වන විට වසා දමා තිබෙනවා. කිසියම් කර්මාන්ත ශාලාවක් වසා දමනවා නම් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තිබෙනවා. එහෙත් එම ක්‍රියාමාර්ග අනුගමනය වෙන්නේ නැහැ. කිසියම් ආයතනයක් වසා දමන්නට හැකි නමුදු සේවකයන් ඉවත් කිරීමට නම් සේවකයන් කැමැත්තෙන් ඉවත් විය යුතුයි. නැතිනම් කම්කරු කොමසාරිස්ගෙන් අවසර ගත යුතුයි. එවිට සේවකයන්ට වන්දියක් ලබා දිය යුතුයි. ඇණවුම් අවම වී ඇති බොහෝ ආයතන දැන් සේවකයන් අස් කරන්නේ නැහැ. සේවකයන්ට වැඩට ඒමට නොහැකි තත්ත්වයක් හෝ වැඩට පැමිණියත් කරන්නට දෙයක් නොමැති තත්ත්වයක් නිර්මාණය කරනවා. උදාහරණයක් විදිහට සේවකයන්ට ලබා දෙන ප්‍රවාහන පහසුකම් නවත්වනවා. අතිකාල හා අනෙකුත් දීමනා නවත්වනවා. බොහෝ සේවකයන් ජීවත්වන්නේ මූලික වැටුපට වඩා අතිකාල හා වෙනත් දීමනාවලින්. මේවා නවතා දැමූවිට ඔවුන්ට අතින් වියදම් කරගෙන රැකියාවට එන්නට සිදුවන තත්ත්වයක් නිර්මාණය ‍ෙවනවා. එවිට සේවයට වාර්තා නොකරන පිරිස් වන්දි ගෙවීමකින් තොරව ඉවත් කිරීමට හිමිකරුවන් කටයුතු කරනවා."

මෙම ක්‍රියාමාර්ගයම කෝවිඩ් වසංගතය පැවති කාලයේද ඇතැම් හාම්පුතුන් අනුගමනය කළ බව මාකස් මහතා පෙන්වා දෙයි. තමන්ට ඇණවුම් නොමැති හෙයින් සේවකයන් නඩත්තු කිරීමට අපහසු බවත් මූලික වැටුප පමණක් ලබාදීමට කටයුතු කරන බවත් හාම්පුතුන් ප්‍රකාශ කරන්නේ යැයි ඔහු පවසයි.

"එහෙම කිව්වට හාම්පුතුන්ට විශාල අර්බුදයක් ඇති වී නැහැ. ඩොලරයේ අගය වැඩිවීමේ වාසිය ඔවුන්ට හිමිවුණා. ඇණවුම් ලැබෙන කාලේ ඩොලරයේ අගය රුපියල් 220යි. දැන් 375යි. ඒ වාසිය සමාගම්වලට ලැබෙනවා නමුත් සේවකයන්ට නැහැ. සේවකයන්ට අසාධාරණයක් වනවා නම් අපි පෙනී සිටිනවා." යනුවෙන් සඳහන් කළේය.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා