රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත යනු මේ රටේ වැඩියෙන්ම කතාබහට ලක්වන දේශපාලනඥයෙකි. ඇතැම් අවස්ථාවලදී ඔහු කරන කියන දේවල් රටේ පමණක් නොව පක්ෂ විපක්ෂ සියල්ලගේ ද විවේචනයට ලක්වෙයි. ඔක්සිජන් කතාවෙන් ඇරැඹි සනත් නිශාන්ත මහතාව විවේචනය කිරීම අද වන විට ඔහු කියන කරන හැමදේටම මොනවා හෝ කීම දක්වා හැමදෙනාගේම පුරුද්දක් වී ඇත. ඒ නිසා සනත් නිශාන්ත යන නම සමාජ මාධ්‍යවල ඉහළින්ම කියැවේ.
අද කතාව ද සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා විසින් මාධ්‍යයට කී ප්‍රකාශයක් සම්බන්ධයෙනි. එය සමාජ මාධ්‍ය තුළ වැඩියෙන්ම කතාබහට ලක්වන කරුණක් බැවින් ඒ ප්‍රකාශයේ දිග පළල, සත්‍ය අසත්‍යතාවය අපි ඔහුගෙන්ම අසා දැනගැනීමට අදහස් කළෙමු.
ඒ මැයි 9 වැනිදා රාත්‍රියේ ඔහුගේ නිවෙස ගිනිබත් වූ මොහොතේ නිවෙසේ තිබුණු පොත් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් ගිනිබත් වී විනාශ වූ බවට කළ ප්‍රකාශයයි. මෙය විශේෂ වන්නේ කාරණා කිහිපයක් හේතුවෙනි. පළමු කරුණ නම් ගිනිබත් වී විනාශ වූයේ පොත් වීමය. යාපනය පුස්තකාලයේ සිට පුත්තලමේ සනත් නිශාන්තගේ නිවෙස දක්වා පොත් 10000 ක් නොව පොත් 10 තිබුණද ඒවා ගිනිබත් කර ඇත්නම් එය වැරදිය. එයට පොත් කියවන පාඨකයකු ලෙස මම ද විරුද්ධ වෙමි. දෙවැනි කරුණ නම් 9 වැනිදා ගිනිබත් වූ නිවෙස්වලින් මෙතරම් ප්‍රමාණයක පොත්පත් තිබුණු එකම නිවෙස ලෙස දැනට අසා ඇත්තේ මොහුගේ නිවෙස වීමය. ඒ නිසා රටේ එකදු හෝ දේශපාලඥයකු පොතක් පතක් බලනවා යැයි දැනගැනීම ද සතුටු වීමට කරුණකි. තුන්වැනි කරුණ නම් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසේ පොත් ගිනිබත් වීමෙන් පසුව හෝ මෙවැනි සිදුවීමක් ඊට පෙර සිදුවූ බවට දැනගැනීමට හැකිවීමය. ඒ රාජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශය හේතුවෙනි.
“ඇමැතිතුමා මොකක්ද මේ පොත් 10,000 ක් ගිනිබත් වුණු කතාව. හැමෝම ඒක විහිළුවට අරන් තියෙනවා." යනුවෙන් අසමින් මම සනත් නිශාන්ත මහතා සමඟ සංවාදය ආරම්භ කළෙමි.
“මෙහෙමයි. රටේ ඕන කෙනෙක්ගේ ගෙදරක පොත් තියෙන්න පුළුවන්. සනත් නිශාන්තගේ ගෙදර තිබුණම ප්‍රශ්නයක්. රටේ නීතිඥවරුන්ගේ ගෙවල්වල පොත් තියෙන්න පුළුවන්. ඒත් අධි නීතිඥවරියක් ඉන්න මගේ ගෙදර පොත් තිබුණම ප්‍රශ්නයක්. ඒක දේශපාලන ඉරිසියාව. වෙන දෙයක් නෙමෙයි. මම කිව්වේ මගේ නිවෙසේ තිබුණු පොත් රැසක් ගිනිබත් වුණා. දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. අධි නීතිඥවරියක් මගේ බිරිඳ. මම දේශපාලනඥයෙක්. අපේ ගෙදර පොත් තියෙන්න බැරිද?”
ඔහු එවැනි කතාවක් කීම සාධාරණය. සනත් නිශාන්තගේ නිවෙසේ පමණක් නොව, මේ රටේ හැම නිවෙසකම පොත්පත් තිබිය යුතුය. ඒ නිසා නිවෙසක පොත් තිබීම පුදුමයක් නොවේ. එහෙත් මෙය බොහෝ දෙනාගේ විවිධ කතාබහට සහ විහිළුවට ලක්වීම ප්‍රශ්නයකි. මේ සම්බන්ධයෙන් ඔහු දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයකි.
“මෙහෙමනේ. මැයි 9 වැනිදා නිවෙස ගිනිබත් කරලා රටේ දේපළ විනාශ කරලා කරපු අපරාධය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස මම මුල ඉඳලා විවේචනය කළා. ඒ විවේචනය ඒ ත්‍රස්තවාදී ක්‍රියාව කරපු කණ්ඩායම්වලටයි ඒ අයගේ ගෝලයන්ටයි ප්‍රශ්නයක්. අන්න ඒ අය මේ නිසා මට විවිධ මඩ අවලාද නගනවා."
බොහෝ අයගේ විවේචනය වී තිබුණේ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා වැන්නවුන් පොත් කියවනවාද? ඒ කියවන පොත් මොනවාද යන්නය. ඒ පිළිබඳව ඔහු දැක්වූයේ මෙවන් අදහසකි.
“මම පොත් කියවන්න පටන් ගත්තේ 2001 දෙසැම්බර් 05දා මමත් දිවංගත ද.මු. දසනායක මහතාත් සිරගත වුණු වෙලේ. ඒ වෙලාවේ බන්ධනාගාරයේ ඇතිවුණු හුදෙකලාවත් එක්ක පොත් කියවන්න පුරුදු වුණා. ඊට පස්සේ පොත් කියවන්න ඇබ්බැහි වුණේ මමත් බිරිඳත් සරසවියේ හම්බවුණාට පස්සේ."
“ඔබ ගිය සරසවිය මොකක්ද?”
“නෑ. මම සරසවි ගියේ නෑ. බිරිඳ සරසවියේ නිසා මම නිතර ගැවසුණේ සරසවියත් එක්ක. ඒ නිසා ඇයගේ සම්බන්ධයත් එක්ක මම පොත් කියවීමට ඇබ්බැහි වුණා. ඒක අදටත් එහෙමමයි. සාමාන්‍යයෙන් දේශපාලනඥයන් පොත් කියවනවා."
පොත් කියවීමට ඇබ්බැහිවූවකු ප්‍රිය කරන පොත් වර්ග ද තිබිය යුතුය. ඒ නිසාම මම ඔහුගෙන් ඔහු ප්‍රිය කරන පොත් වර්ගය ගැන විමසුවෙමි.
“මම වැඩියෙන්ම කැමැති චරිත කතාවලට. මම සිරගත වුණු මොහොතේ ඉඳලා කියෙව්වේ චරිත කතා."
ඔහු චරිත කතා රුචියකු නම් ඔහුගේ ජීවිතේ කැමැතිම චරිතයක් ද තිබිය හැක. එම චරිතයට කැමැති වීමට හේතු ද තිබිය හැක.
“මම කැමැතිම චරිතය තමා මහත්මා ගාන්ධි. ඔහුගේ තිබුණු අවිහිංසාවාදී ගුණයට මම කැමැතියි."
''ඒ කියන්නේ ඔබේ පරමාදර්ශී චරිතය ගාන්ධි.''
“නෑ. මගේ පරමාදර්ශී චරිත දෙකක් ඉන්නවා. එක්කෙනෙක් මහින්ද මහත්තයා. අනෙක් කෙනා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහත්තයා. ඔවුන් සමීපයෙන් වැඩ කළ නිසා මම දන්නවා ඔවුන් ජනතාව එක්ක කොච්චර සමීපද කියලා"
සංවාදය නිම කිරීමට පෙර අවසන් වශයෙන් මම ප්‍රශ්න දෙකක් විමසුවෙමි. ඒ පොත් 10,000 ක පුස්තකාලයේ තිබුණු පොත් ගැන සහ ඒවා ගිනිබත් වීම සම්බන්ධයෙන් කුමක් කරන්නේද යන්නය.
“ඔය පොත් 10,000ක විතර ගොඩේ මගේ බිරිඳගේ පොත්, මගේ පොත්, දරුවන්ගේ පොත් තිබුණා. බිරිඳ නීතිඥවරියක් වුණත් නීති පොත්වලට වඩා නවකතා, පරිවර්තන එහෙම තිබුණා. ඒත් දැන් විනාශ වෙලා. හැබැයි අපි මේ පාර පොත් ප්‍රදර්ශනයටත් ගිහින් පොත් ගත්තා 300ක් 400ක් වගේ."
පොත් පෙරළන දේශපාලනඥයන් සිටින රටක රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා හෝ පොත් කියවන බවට දැනගැනීම සතුටට කරුණකි. ඔහුගේ දේශපාලනය කුමක් වුවත් ඔහුගේ දේශපාලන සංස්කෘතිය කුමක් වුවත් පොත්පත් කියවීම වටිනා දෙයකි. ඒ නිසා එවැනි පොතට ඇබ්බැහි වූ අයකු සමඟ කතාබහ කිරීම ද සතුටු වීමට කරුණකි.
I ගයාන් ගාල්ලගේ