2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

කෝච්චි පාරේ මර උගුල්

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 08:00 148

ඉන්ධන අර්බුදය හමුවේ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම හේතුවෙන් මගීන් විශාල පිරිසක් දුම්රියේ ගමන් කිරීමට පෙළඹී සිටිති. ඒ හරහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ ගියද මගීන්ට ප්‍රමාණවත් පහසුකම් සහිත දුම්රිය සේවයක් ලබා දීමට එම දෙපාර්තමේන්තුව සමත්ව නැත. කෙසේ වෙතත් දුම්රිය භාවිතයේදී හා හරස් මාර්ගවලින් ගමන් කිරීමේදී සැලකිලිමත් ලෙස ක්‍රියා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පවසන පරිදි සතියකට අවම වශයෙන් පුද්ගලයන් 10 – 15 අතර සංඛ්‍යාවක් දුම්රිය අනතුරුවලට ලක්වෙති. මේ බව පොලිස් රථවාහන අනතුරු දත්ත වාර්තා මගින් ද සනාථ කෙරේ.

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් සමස්ත දුම්රිය හරස් මාර්ග 1000කට අධික සංඛ්‍යාවක් පවතින බව කියැවේ. ඒ අතර අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග භාවිත කරන පිරිස් විශාල වශයෙන් දුම්රිය අනතුරුවලට ලක්වන බව වාර්තා වේ. ප්‍රතිපාදන වෙන්කර ඇතත් රේල් ගේට්ටු, සීනු හා ආලෝක සංඥා නොමැති අනාරක්ෂිත ස්ථාන 430 ක් පමණ පවතින බවට දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි. ප්‍රතිපාදන වෙන්කර තිබියදීත් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම දුම්රිය බලධාරීන්ගේ අක්‍රමවත් ක්‍රියා පිළිවෙත බවට ද එම වෘත්තීය සමිති චෝදනා කරයි. මේ අතර වාර්තා වන්නේ සීනු හා ආලෝක සංඥා පවතින ස්ථාන 133ක ආරක්ෂිත රේල් ගේට්ටු කිසිවක් ස්ථාපනය කොට නොමැති බවය.

ඇතැම් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල සීනුව හෝ ආලෝක සංඥා ක්‍රියාත්මක නොවේ. එපමණක් නොව, එවැනි ඇතැම් ස්ථානවල දුම්රිය ගේට්ටුවක් ද නැති හෙයින් දිවා කාලයට වඩා රාත්‍රී කාලයේ තත්ත්වය වඩාත් බරපතළව පවතී. දුම්රිය බහුලව ගමන් ගන්නා උඩරට මාර්ගයේ හා මුහුදුබඩ මාර්ගයේ මේ තත්ත්වය දැඩි අවදානමක තිබෙන බව වාර්තා වේ. පානදුර සිට හික්කඩුව දක්වා මාර්ගයේ ස්ථාන රැසක් අනාරක්ෂිත නිසා එම ස්ථාන ප්‍රදේශවාසීන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයකි. වාද්දුව වෙරළ පාරේ දුම්රිය හරස් මාර්ගයේ පිහිටා ඇති සංඥා පද්ධතිය වසරකට ආසන්න කාලයක සිට අක්‍රියව පවතින අතර දැනට ඇත්තේ සංඥා පද්ධතිය අක්‍රිය වී ඇත යනුවෙන් සඳහන් පුවරුවක් පමණක් බව වාර්තා වේ. දුම්රිය මාර්ගය දෙපස නොපෙනෙන අයුරෙන් හරස් මාර්ගය ආසන්නයටම ඇතැම් ඉදිකිරීම් සිදු කර තිබෙන අතර ඒ හරහා ගමන් ගන්නා රථවාහනවලට දුම්රිය මාර්ගය අවහිර වී තිබීම ගැටලුවකි. 

දකුණු පයාගල පිහිටි දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ප්‍රධාන මාර්ගය පිහිටා ඇති අතර එහි සංඥා පද්ධතිය ක්‍රියාත්මක වන්නේ අනතුරුදායක ලෙසය. වර්ණ සංඥා ක්‍රියාත්මක වීමට පෙර විදුලි සීනුව නාද විය යුතුය. නමුත් මෙම ස්ථානයේ සීනුව නාදවීමට පෙර ස්වයංක්‍රිය ගේට්ටුව වැසීම සිදුවේ. එම අක්‍රමවත් ගේට්ටුව නිසා අදාළ ස්ථානයේදී බහුලව අනතුරු සිදුවන බව වාර්තා වේ. මීට අමතරව වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ කිසිදු ආරක්ෂිත පියවරක් නොමැති දුම්රිය හරස් මාර්ගයක් පවතී.
අම්බලන්ගොඩ සිට හික්කඩුව දක්වා පිහිටා තිබෙන දුම්රිය හරස් මාර්ග රැසක පිහිටුවා ඇති විදුලි සංඥා පද්ධති ගණනාවක් මාස හයක පමණ සිට අක්‍රියව පවතින බව වාර්තා වේ. මේ හේතුවෙන් ගල්දූව හා ඕවකන්ද දුම්රිය හරස් මාර්ගවල සිදු වූ අනතුරු දෙකකින් පුද්ගලයන් පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම මාර්ගයේ ඌරවත්ත ආනන්ද රාජකරුණා මාවත, ඌරවත්ත ගංගාරාම මාර්ගය, උස්මුදුලාව, ගල්දූව, පැරූලිය, මල්පැන්න පාර, හික්කඩුව වැල්ලවත්ත හරස් මාර්ගය, හික්කඩුව පොලිසිය අසල මාර්ගය යන ස්ථාන රැසක අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග පවතී.

උඩරට දුම්රිය මාර්ගය, කැලණිවැලි දුම්රිය මාර්ගය, පුත්තලම දක්වා දිවෙන දුම්රිය මාර්ගය යන මාර්ගවල බහුල වශයෙන් දුම්රිය අනතුරු වාර්තා වී තිබේ. ඒ සඳහා අනාරක්ෂිත දුම්රිය මාර්ග ප්‍රධාන හේතුවක් වන අතර මාර්ගය හරහා යන මගීන්, රථවාහන රියැදුරන් ඒ පිළිබඳව දැඩි අවධානයකින් පසුවිය යුතුය. සිදුවී ඇති දුම්රිය අනතුරු බහුතරයකට හේතුව මගීන්ගේ හා රථවාහන රියැදුරන්ගේ නොසැලකිලිමත් බව බවට දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04