2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

දොස්තරලාගේ විශ්‍රාම අලකලංචිය

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 08:00 64

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාමික වයස සම්බන්ධයෙන් ඇතිවූ නවතම වෙනස්කම් සෞඛ්‍ය සේවය තුළ ද මහා අලකලංචියකට මුල්ව තිබේ. දැන් විවිධ වෛද්‍ය සංගම් මේ සම්බන්ධයෙන් විවිධ මත සහ හේතූ දක්වමින් සිටියදී එහි බලපෑම ඍජුවම එල්ල වී ඇත්තේ අසරණ ජනතාව වෙතටමය.

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස් සීමාව සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කර ඇති නවතම චක්‍රලේඛයට අනුව විශේෂඥ වෛද්‍යවරුන් 300 දෙනකුට 2022 දෙසැම්බර් 31 වැනිදා හෝ ඊට පෙර රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාමට සිදුවේ. 2021 වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම වසර සඳහා වූ යෝජනාවෙන් සියලුම රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර තිබුණි. කෙසේ වෙතත්, පසුගියදා ඉදිරිපත් කළ සංශෝධිත අයවැය මගින් රජයේ සේවකයන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 60 දක්වා පහළ දමා ඇත.

ඒ අනුව, වයස අවුරුදු 60 හෝ ඊට වැඩි සියලුම රජයේ සේවකයන් 2022 දෙසැම්බර් 31 වන විට විශ්‍රාම යා යුතුය. මෙම නියෝගය යටතේ විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම යාමෙන් ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා පළාත් සහ ප්‍රාථමික රෝහල්වල දැනට සිටින විශේෂඥ වෛද්‍යවරුන් ස්ථාන මාරු කිරීමට සිදුවේ.

ප්‍රථමයෙන් පුරප්පාඩු පිරවීමකින් තොරව විශේෂඥ වෛද්‍යවරුන් ස්ථාන මාරු කළ නොහැකි බව එම සංගමය පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් මේ ආකාරයට ස්ථාන මාරු කළ හැක්කේ දැනටමත් විදේශයන්හි පුහුණුව ලබා ඇති විශේෂඥ වෛද්‍යවරුන්ට පමණි.

කෙසේ වෙතත් රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ විශේෂඥ වෛද්‍යවරුන් සැලකිය යුතු පිරිසක් විදේශගතව සිටීමට ඉඩ ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එම තත්ත්වය තුළ දුරස්ථ රෝහල් ඇතුළු සමස්ත සෞඛ්‍ය සේවාවම කඩා වැටීමට ද ඉඩ ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරයි.

රුධිර පාරවිලයන සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් 33 දෙනකු ලංකාවේ සිටි අතර ඔවුන්ගෙන් අට දෙනකු නව චක්‍රලේඛය යටතේ විශ්‍රාම යනු ඇත. එමෙන්ම ඔවුන්ගෙන් දෙදෙනකු දැනටමත් විශ්‍රාම ගොස් ඇත. තවත් පස්දෙනකු අන් රටවල පදිංචියට ගොස් ඇත. තවත් හතර දෙනකු ස්ථිර පදිංචිය සඳහා වෙනත් රටවලට යාමේ ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත. මෙම තත්ත්වය මගින් රුධිර පාරවිලයන විශේෂඥවරුන්ගේ සංඛ්‍යාව 14 දක්වා අඩුවනු ඇත. මෙම තත්ත්වයට පෙර සිටම රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාවේ හිඟභාවය නිසා ඇට මිදුළු බද්ධ කිරීමේ ක්‍රියාවලිය සඳහා පොරොත්තු කාලය වසර 2025 දක්වා දීර්ඝ වී තිබුණි. අප ඉදිරිපත් කළ දත්ත අනුව මෙම පොරොත්තු කාලය තවත් අර්බුදකාරී වී එමගින් රෝගීන් මිය යෑමේ හැකියාව ඉතා වැඩිවනු ඇත.

රෝග නිර්ණය කිරීමේදී සිදු කරන පටක ව්‍යාධවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් 80 ක් පමණ එම සාම්පල පරීක්ෂාව සඳහා අපට අවශ්‍ය වුවද දැනට අප සතුව සිටින්නේ 60 ක් වැනි සංඛ්‍යාවකි. ඔවුන් අතරින් පස්දෙනකු දැනටමත් නිවාඩු මත විදෙස් ගතවී සිටින අතර දස දෙනෙක් පමණ විදෙස් රටවල් කරා ස්ථිර පදිංචියට යෑමට සූදානම් වෙමින් සිටිති. තවද පස්දෙනකු හට මෙම චක්‍රලේඛනය යටතේ විශ්‍රාම යෑමට සිදුවනු ඇත. එවිට සිදුවන්නේ අවශ්‍ය සංඛ්‍යාවෙන් අඩක පමණ සංඛ්‍යාවක් මගින් අපට අවශ්‍ය සේවා සැපයීමට සිදුවීමයි. මෙමගින් රෝග නිර්ණය ප්‍රමාද වීම නිසා රෝගීන්ගේ රෝග තත්ත්වයන් සංකූල විය හැක.

අනිකුත් සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ගේ කණ්ඩායම් උදාහරණයට ගෙන දක්වමින් මෙහි ඇති ව්‍යාකූලතාවය පෙන්නුම් කළ හැකි බවත්, මෙමගින් සිදුවන බලපෑම ඉතා දැඩිව දැනෙනු ඇත්තේ රටේ දුප්පත් ජනතාවට බවත් සංගමය කියයි.   
නව චක්‍රලේඛයට අනුව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 43 දෙනකුට, මහනුවර ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 30 දෙනකුට, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 17 දෙනකුට, රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 15 දෙනකුට සහ අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනකුට විශ්‍රාම යාමට සිදුවනු ඇති බව එම සංගමය පෙන්වා දී තිබේ.

මේ අතර විශේෂඥ වෛද්‍යවරුන් පුහුණුව සදහා ද මේ නිසා අර්බුදකාරී තත්ත්වයක් ඇතිවන බවද සංගමය මෙසේ පෙන්වා දෙයි.

“විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීමේ වගකීම ලබා දී ඇත්තේ වසර ගණනක පළපුරුද්දක් ඇති ශික්ෂණ රෝහල්වල සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් හටය. මෙවැනි පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් එකවර විශ්‍රාම යැවීමත් සමඟ නව විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීම ඉතා දැඩි අර්බුදයකට ලක්වනු ඇත. මෙසේ එක්වරම ඉතා පළපුරුදු ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම යැවීම මගින් පශ්චාත් වෛද්‍ය පුහුණුව සඳහා අවශ්‍ය වන පළපුරුදු වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇතිවීම නොවැළැක්විය හැකි අතර පශ්චාද් වෛද්‍ය පුහුණුව සඳහා අවශ්‍ය වන පළපුරුදු වෛද්‍යවරුන්ගේ හිඟය මෙන්ම සුදුසුකම් පරීක්ෂා කිරීමේ විභාග සඳහා අවශ්‍ය පරීක්ෂකවරුන්ගේ හිඟයක් ඇතිවනු ඇත. මෙයට හේතු වනුයේ එසේ පශ්චාත් වෛද්‍ය පුහුණුව ලබා දීම සහ පුහුණුව අවසානයේ පවත්වන විභාග සඳහා එම විභාගවල තීරකයන් වශයෙන් පත්වීම සඳහා පශ්චාද් උපාධි ආයතනයේ අවශ්‍යතාවක් වන අවුරුදු 3ක්, 5ක් හා 7ක් විශේෂඥ වෛද්‍යවරයකු වශයෙන් සේවය කර තිබීම අත්‍යාවශ්‍ය බැවිනි. මෙම නව විශ්‍රාම ක්‍රමය ක්‍රියාත්මක කිරිම මගින් වසර ගණනක විශේෂඥ පළපුරුද්දක් ඇති වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇතිවීම මගින් පශ්චාත් වෛද්‍ය පුහුණුව තවදුරටත් අඩාල වනු ඇත."

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මේ ගැටලුවට පිළියම් ලෙස වෛද්‍යවරුන් විශ්‍රාම ගන්වන වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන්නැයි ඉල්ලා සිටියේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පෙන්වා දී තිබුණේද වයස අවුරුදු 60 විශ්‍රාම යෑමේ තීරණය ක්‍රියාත්මක වුවහොත් මෙරට විශේෂඥ වෛද්‍යවරුන් 300ක් සහ අනෙකුත් වෛද්‍යවරුන් 500ක් පමණ ලබන ජනවාරි මාසයේදී එකවර සෞඛ්‍ය පද්ධතියට අහිමි වන බවය.

ඔවුන් ඉල්ලා ඇති පරිදි වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා සංශෝධනය කිරීම හේතුවෙන් කනිෂ්ඨ වෛද්‍යවරුන්ට අසහනකාරී තත්ත්වයක් ඇති නොවිය යුතු බව ද ඒ සඳහා වයස අවුරුදු 60ට වැඩි සියලු වෛද්‍යවරුන් වාර්ෂික ස්ථාන මාරු ප්‍රතිපත්තියම අනුගමනය කළ යුතු බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.

විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ වීමේ උපරිම වාසිය රටට ලබා දෙමින් සෞඛ්‍ය පද්ධතියට දැරිය හැකි උපරිම වෛද්‍යවරුන් ප්‍රමාණයක් අමාත්‍යංශ යටතේ පාලනය තුළ විදේශ රුකියා සඳහා යොමු කිරීමට කටයුතු කළ යුතු බවද ඒ මහතා කීය. එලෙස වෛද්‍යවරුන් විදේශගත කිරීමෙන් රටට අවශ්‍ය විදේශ විනිමය ලැබෙන බව ද වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයට විසදුමක් බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

නමුත් මේ සම්බන්ධයෙන් විකල්ප අදහස් දරන අනෙක් සංගම් පෙන්වා දෙන්නේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නිසා එයින් තරුණ වෛද්‍යවරුන් හට බාධාවක් ඇතිවන බවය.

විශ්‍රාම ගැන්වීමේ උපරිම වයස දීර්ඝ කිරීම හේතුවෙන් වෛද්‍ය සේවයේ සිටින අනිකුත් නිලධාරීන්ට උසස්වීම් ලබාගැනීමේදී ගැටලුකාරී තත්ත්වයක් මතුවන බවට වෛද්‍ය සේවකයන් වෙතින්ම මැසිවිලි නැගී ඇත. ඔවුන් චෝදනා කරන්නේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන් දීර්ඝ කාලයක් සේවයේ රැඳී සිටින විට ඔවුන්ගේ තනතුරු සඳහා වෙනත් අය පත් කිරීමක් සිදු නොවන බැවින් උසස්වීම් ලැබීම ප්‍රමාද වන බවටය.

මේ සම්බන්ධයෙන් වෙනම මතයක් දරන වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් සුරුකීමේ සංවිධානය පෙන්වා දෙන්නේ තරුණ දක්ෂයන්ට ඉඩ දෙමින් වයස 60 සීමාවේ තිබූ විශ්‍රාම වයස නැවත ස්ථාපිත කළ යුතු බවටය. 

වෛද්‍ය සේවයේ යම් අයකු ඒ වයස පසුකර සිටිනවා නම් ඔවුන් පර්යන්ත රොහල් සේවා සඳහා යොදාගත යුතු බවත් ඒ මගින් ඔවුන්ගේ පළපුරුදු දැනුම ගම් මට්ටමේදීම ලබාගත හැකිවනු බවත් ඔවුහු කියති. ඒ අතර නවක වෛද්‍යවරුන්ට අවශ්‍ය තාක්ෂණික පුහුණුව නගරබදව ලබා දිය හැකි බවද ඔවුහු පෙන්වා දෙති. 60න් පසු සිටින්නට කැමැති අය කොන්ත්‍රාත් පදනමක් යටතේ පර්යන්ත සේවා සඳහා යෙදවීම වඩාත් සුදුසු බව ඔවුහු පෙන්වා දෙති. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන ද පෙන්වා දුන්නේ රජය නැවත නැවත ගැසට් නිවේදන රිවර්ස් කරමින් සිදු කරන මේ අහිතකර  ක්‍රියාවලිය සිය සංගමය ප්‍රතික්ෂේප කරන බවය. ඔහු පවසන්නේ සමස්ත රාජ්‍ය සේවය සඳහා 60 සීමාව පවතී නම් විශේෂ කණ්ඩායමකට පමණක් 63 වැනි වෙනස් අවස්ථාවක් ලබා දීම අනුමත කළ නොහැකි බවය. 2018 ට පෙර ද මේ අන්දමට විශ්‍රාම යැවීම සිදුවූ අතර ඒ හේතුවෙන් මේ කියන ආකාරයේ විශේෂඥ අර්බුදයක් හට නොගත් බව කියන ඔහු එදා නොතිබුණු අලුත් තත්ත්වයක් අද ඇතිවිය හැකිදැයි ප්‍රශ්න කරයි. විශ්‍රාම වයස පන්නා ගැසට් නිවේදන මගින් වරප්‍රසාද දී විශේෂඥයන් 249ක් රඳවා ගැනීම නිසා තරුණ දක්ෂ සහ පුහුණු වෛද්‍යවරුන් 500ක් පමණ රට හැර යාමේ අර්බුදයක් මතුවන බවත් මේ වන විටත් එය සිදුව ඇති බවත් එහි හානිය නම් අනාගතයට ඉතා විශාල ලෙස බලපෑ හැකි බවත් ඔහු පෙන්වා දෙයි. 

මේ නිසා 60 දී විශ්‍රාම ගැන්වීමට රජය ගෙන ඇති තීරණය වඩාත් හොඳ තීරණයක් බවට සිය සංගමය අනුමත කරන බව පවසන ඔහු එය තරුණ වෛද්‍යවරුන්ගේ වෘත්තීය අනාගතයට වඩා සුබදායී ලෙස බලපාන බව පවසයි. ප්‍රධාන නගරවලට සංකේන්ද්‍රනය වී සිටින ඇතැම් විශේෂඥයන් නිසා තරුණ පිරිසට උදාවිය යුතු අවස්ථා වැළකී ඇති බවද ඔහු පෙන්වා දෙයි. වෛද්‍යවරුන් 60 න් ගෙදර යැවීම නිසා රට තුළ සිටින තරුණ දක්‍ෂ වෛද්‍යවරුන් විශාල පිරිසකට අවස්ථාව සැලසෙන බව ද ඔහු පෙන්වා දෙයි. 

මේ අවුරුද්ද අවසානයේ ප්‍රතිශතයක් වශයෙන් විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ සංඛ්‍යාවෙන් 9% ක් පමණ, විශ්‍රාම යෑමට නියමිත බැවින් ඒ ඒ රෝහල් හා ආයතනවල පුරප්පාඩු වන විෂය ක්ෂේත්‍රය අනුව අභ්‍යන්තර ස්ථාන මාරු ක්‍රමවේදය අනුව තුලනය කිරීමට හැකියාව පවතින බව සෞඛ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.

මීට අමතරව වසර 5ක විදේශ නිවාඩු දීමේ ක්‍රමය යටතේ, තවත් වෛද්‍යවරුන් 3% ක් විදේශගත විය හැකි අතර, එම සංඛ්‍යාව ද සාමාන්‍ය වෛද්‍ය තනතුරු ආවරණය කරන ක්‍රමවේදය යටතේ සපුරාලීමට කටයුතු කළ හැකි බව ඔහු කියයි. විශ්‍රාම යන වයස අවුරුදු 60 දක්වා වෙනස්වීම මත තරුණ වෛද්‍යවරුන් සඳහා තම ප්‍රියතම ස්ථාන ලබාගැනීමට එය හේතුවක් වන බැවින් ද දේශීයව නිසි කුසලතාවය සහතික වූ වෛද්‍යවරුන් සඳහා උසස්වීම් ලැබෙන බැවින් ද මෙය ක්ෂේත්‍රයට ධනාත්මකව බලපාන තීරණයක් බව ඇමැතිවරයා පෙන්වා දී දෙයි.

I සුගත් පී. කුලතුංගආරච්චි

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04