2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

කඩදාසි හිඟයෙන් හිරවෙන පාසල් පෙළ පොත්

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 07:59 206

කොවිඩ් වසංගතයෙන් පසු රටවල් ගණනාවක්ම උද්ධමන තත්ත්වයන්ට මුහුණ පෑවේය. දරුණුම තැනකට තල්ලු වූ රටවල් අතර ශ්‍රී ලංකාව සිටින්නේ ඉදිරියෙන්මය. ශ්‍රී ලංකාවේ උද්ධමන තත්ත්වය සියලු ක්ෂේත්‍රවලට දැඩි බලපෑමක් එල්ල කොට ඇත. විශේෂයෙන් ආර්ථික අවපාතය හමුවේ විදේශ විනිමය හිඟයට පිළියමක් ලෙස භාණ්ඩ ගණනාවක් ආනයනය කිරීම අත්හිටුවීමට රජය තීන්දු කිරීම නිසා කර්මාන්ත ගණනාවක් බිඳවැටී ඇත. ආනයනය අත්හිටවූ භාණ්ඩ අතර මුද්‍රණ ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය ද විය. පාසල් පෙළ පොත් මුද්‍රණය, ලිපිද්‍රව්‍ය නිෂ්පාදනය, පුවත්පත් මුද්‍රණය සහ අනෙකුත් ලියකියවිලි නිෂ්පාදනය හා මුද්‍රණය මුළුමනින්ම රඳා පැවතියේ ආනයනික අමුද්‍රව්‍ය මතය. කඩදාසි, තීන්ත, ප්ලේට්, මුද්‍රණ යන්ත්‍ර සහ අමතර කොටස් යන සියල්ල ආනයනය කිරීම අතීතයේ සමයේ සිට සිදුවන්නකි. එහෙත් රජය පැනවූ ආනයනික තහනම හේතුවෙන් මුළු මුද්‍රණ කර්මාන්තයම බරපතළ අවදානමකට ලක්ව තිබේ.

රාජ්‍ය අංශයේ උප්පැන්න සහතිකය නිකුත් කිරීම, බිල්පත් ගෙවීම, ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කිරීම, වාර්තා තබාගැනීම යන ඕනෑම වැඩක් කඩදාසි සහ මුද්‍රණය ආධාරයෙන් සිදු කෙරේ. ඒ නිසා මුද්‍රණ ක්ෂේත්‍රයට එල්ල වී ඇති අවදානම්සහගත තත්ත්වය පෞද්ගලික අංශයට වඩා රාජ්‍ය අංශයට බරපතළ ලෙස දැනී ඇත. අධික රාජ්‍ය වියදම් අවම කිරීමට පිළියමක් ලෙස අනවශ්‍ය වියදම් කපා හැරීමට රජයේ අවධානය යොමු වී තිබේ. එහිදී ලිපිද්‍රව්‍ය සඳහා රජය සීමා පනවා ඇති අතර රජයේ කාර්යාලවල එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට පවා ප්‍රමාණවත් ලිපිද්‍රව්‍ය නොමැති බව ඉකුත් සතියේ වාර්තා විය.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව යනු රජයේ ගැසට් පත්‍ර, හැන්සාඩ් වාර්තා, ඡන්ද පත්‍රිකා යනාදී වැදගත් ලියකියවිලි මුද්‍රණය කරන ප්‍රධාන ආයතනයි. බොරැල්ලේ පිහිටි ඉතාමත් කාර්යබහුල මුද්‍රණ දෙපාර්තමේන්තුව සෙසු රාජ්‍ය ආයතනවලට අවශ්‍ය ලිපි ආදිය මහා පරිමාණයෙන් මුද්‍රණය කර බෙදා හරින අංශයයි. නමුත් කඩදාසි ඇතුළු මුද්‍රණ අමුද්‍රව්‍යවල පවතින උග්‍ර හිඟය හේතුවෙන් ගැසට් පත්‍ර, හැන්සාඩ් වාර්තා, රජයේ නිවේදන ආදී දෛනික කටයුතු පවා නිසි පරිදි පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වකට තල්ලු වී ඇත. මේ වන විටත් ගැසට් පත්‍ර ඇතුළු රජයට අදාළ අනෙකුත් මුද්‍රණ කටයුතුවලදී මුද්‍රණය කරනු ලබන පිටපත් ප්‍රමාණය මේ නිසා අඩුකර මුද්‍රණය කරන ලෙසටත් මුද්‍රණ වියදම් හැකිතාක් සීමා කරන ලෙසටත් මුද්‍රණ දෙපාර්තමේන්තුවට රජය උපදෙස් ලබා දී තිබේ.

මුද්‍රණ කටයුතු අඩාලවීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට ද තදින්ම බලපා ඇත‍. සාමාන්‍යයෙන් වර්ෂ අවසානය වන විට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ඉතා කාර්යබහුල දින ගණනාවක් පසු කරන නමුත් මෙවර අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව තවම වැඩ ආරම්භ කර නැත. සෑම ජනවාරි මසකම නව පාසල් අධ්‍යයන වර්ෂය ආරම්භ වන බැවින් නොවැම්බර් මස අවසානයේ පාසල් පෙළ පොත් බෙදා දීමට නම් ඔක්තෝබර් මාසයේ මුල් සති දෙක තුළ පෙළ පොත් මුද්‍රණය කොට පාසල් වෙත බෙදාහැරීම සිදු කරයි. නමුත් මේ වර්ෂයේ ඔක්තෝබර් මාසය ගෙවී යමින් තිබුණ ද පෙළ පොත් මුද්‍රණය ආරම්භ කිරීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට හැකි වී නැත. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ මුද්‍රණ කටයුතු බහුතරයක් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සිදුකෙරුණ ද මුද්‍රණ දෙපාර්තමේන්තුව මුහුණ පා ඇති උග්‍ර අමුද්‍රව්‍ය හිඟතාවය හමුවේ පෙළ පොත් මුද්‍රණය ප්‍රශ්නාර්ථයක් වී තිබේ.

01 වසර සිට 13 වැනි වසර දක්වා දෙමළ, සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් පෙළ පොත් මුද්‍රණය කෙරේ. වාර්ෂිකව මුද්‍රණය කරන පෙළ පොත් වර්ග 464ක් වන අතර පෙළ පොත් සංඛ්‍යාව මිලියන 32.89කි. සාමාන්‍යයෙන් වාර්ෂිකව පෙළ පොත් මුද්‍රණය සඳහා රුපියල් බිලියන 4.5ක මුදලක් වැය වේ. නමුත් පවතින උද්ධමන තත්ත්වය නිසා භාණ්ඩ මිල ඉහළ යාමත් සමඟ මෙවර පාසල් පෙළ පොත් මුද්‍රණය සඳහා පමණක් රුපියල් බිලියන 16.5ක මුදලක් වැය කිරීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට සිදු වේ. මෙම මුදල ඉන්දීය ණය ආධාර යටතේ ලබාගෙන පෙළ පොත් කඩදාසි ඇතුළු අමුද්‍රව්‍ය ගෙන්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් පී.එන්. අයිලප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

දේශයට අදහස් දක්වමින් අධ්‍යාපන කොමසාරිස් පී.එන්. අයිලප්පෙරුම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පෙළ පොත් මුද්‍රණ කටයුතු ගැටලුවකින් තොරව නිම කළ හැකි බවයි. “පෙළ පොත් සංඛ්‍යාවෙන් 45ක් රජයේ මුද්‍රණ සංස්ථාවෙන් මුද්‍රණය කරන්න කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. ඒකට අවශ්‍ය කඩදාසි, තීන්ත ඇතුළු අනෙකුත් දේවල් ගෙන්වීමේ ක්‍රියා පටිපාටිය අමාත්‍යංශයේ ප්‍රසම්පාදන අංශයෙන් කෙරීගෙන යනවා. ඉතුරු 55%ක පෙළ පොත් මුද්‍රණයට පෞද්ගලික අංශයෙන් මිල ගණන් කැඳවලා තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තා හදලා ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය අරගෙන මුද්‍රණයට යන්න පුළුවන්. මේ වැඩ කටයුතු තව සති දෙක තුනකින් ආරම්භ වෙයි. කඩදාසි හිඟයේ යම් බලපෑමක් තියෙනවා. අපිට පොඩි ප්‍රමාදයක් සිදුවේවි කඩදාසි සහ මුද්‍රණ අමුද්‍රව්‍ය ගෙන්වාගන්නට ගතවෙන කාලය නිසා. ඒ වුණත් අපේ හිතනවා නව අධ්‍යයන වර්ෂය ආරම්භ වෙන්නේ ලබන අප්‍රේල් නිසා ඊට කලින් පෙළ පොත් බෙදා දෙන්න.”

ඒ අනුව පෙළ පොත් මිලියන 14.70 ක් මුද්‍රණ සංස්ථාවෙන් ද තවත් පොත් මිලියන 18.19 ක් පෞද්ගලික අංශයෙන් ද මුද්‍රණය කිරීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවය. මුද්‍රණ සංස්ථාවට අවශ්‍ය කඩදාසි සහ අමුද්‍රව්‍ය ගෙන්වීමට රජයට හැකි වුවත් පෞද්ගලික අංශයේ මුද්‍රණ ක්ෂේත්‍රයට අදාළව රට තුළ පවතින තොග ගබඩා ඉතා සීමිත බැවින් පොත් මිලියන 18.19ක් පෞද්ගලික අංශයෙන් මුද්‍රණය කිරීම බරපතළ අභියෝගයක් වනු නිසැකය. පෞද්ගලික අංශයෙන් මුද්‍රණය කළ හැකි වුවත් පවතින මිල ගණන් හමුවේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අනපේක්ෂිත මුදලක් වැය කිරීමට සිදුවනු නිසැකය.

පෙළ පොත් මුද්‍රණය සම්බන්ධයෙන් තිබෙන අභියෝගයට මුහුණපෑමට විකල්ප ක්‍රමවේදයකට යොමුවීමට රජයේ අවධානය යොමු වී ඇති බවක් ඉකුත් දා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයෙන් පැහැදිලිය. අමාත්‍යවරයා සඳහන් කළේ මෙවන් අදහසකි. ''අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආකෘති මුද්‍රණය කිරීම සඳහා යම් මුදලක් වෙන් කර තිබෙනවා. ඊළඟ අවුරුද්දේ ඒක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙනවා. එම ක්‍රමයට ගියාට පස්සේ විශාල පෙළ පොතක් ලැබෙන්නේ නෑ. පෙළ පොතේ තිබෙන විෂයන් ඒකක ගාණට කැඩිලා මාතෘකා අනුව සකස් වෙනකොට ඒ පොතේම අභ්‍යාසයත් කරලා දරුවන්ට ඒ වාරය ඉවර වෙනවා. ඊළඟ වාරයට තව පොතක් එනවා. ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නට පස්සේ පෙළ පොතේ බර අනිවාර්යයෙන් තුනෙන් දෙකකින් අඩු වෙනවා. දැන් තියෙන්නේ කිලෝ නමයක් නම් කිලෝ තුනකට අඩු වෙනවා.” 

සැබැවින්ම අධ්‍යාපන අමාත්‍යවරයා යෝජනා කරන මෙම ව්‍යාපෘතිය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නොව මුද්‍රණ ගැටලුවට පිළියමක් පමණක් වන බව පැහැදිලිය. සම්පූර්ණ වර්ෂයටම අදාළ පෙළ‌ පොත් මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් සපයා ගැනීම අපහසු වී ඇති නිසා පළමු වාරයට අදාළ විෂය කොටස් සඳහා පමණක් පොතේ කොටසක් මුද්‍රණය කිරීමට අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බවක් පෙනේ.

ලංකා ගුරු සංගමයේ ජාතික කැඳවුම්කරු මහින්ද ජයසිංහ මහතා දේශය සමඟ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ පවතින තත්ත්වය හේතුවෙන් පාසල් අධ්‍යාපනය බරපතළ ගැටලු රුසකට තල්ලු වී ඇති බවය. එසේ තිබියදී පෙළ පොත් මුද්‍රණය නිසි පරිදි රජය සිදු නොකළේ නම් දරුවන්ගේ අධ්‍යාපනය තවදුරටත් කඩා වැටීමේ අවදානමක් පවතින බව ද ඔහු ප්‍රකාශ කළේය. එමෙන්ම මේ වනවිට පාසල් ලිපිද්‍රව්‍ය හා පොත්පත් මිල දෙමාපියන්ට දැරිය නොහැකි මිලකට ඉහළ ගොස් තිබීම නිසා ද අසීරුතාවන් නිර්මාණය වී ඇතැයි පෙන්වා දුන් මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කොට කියා සිටියේ පාසල් වාරය ආරම්භයට පෙර කෙසේ හෝ පෙළ පොත් ලබා දීමට අවශ්‍ය පියවර නොගතහොත් ඇතිවන අර්බුදය වසර ගණනාවකට ඍණාත්මකව බලපෑ හැකි බවය.

I සකීෆ් සාම්

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04