2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

පේරාදෙණි ශාස්ත්‍ර පීඨයේ නවකවද යුද්දේ

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 08:00 114

විශ්වවිද්‍යාල සිසු සිසුවියන් ගණනාවකටම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුව තිබුණේ නවක වදය හේතුවෙනි. එහි බලපෑම නිසා තවත් සිසු සිසුවියන් දහස් ගණනක් සරසවිය හැර ගොස් සිටිති. සිසු අරගල හා නවක වදය විශ්වවිද්‍යාල තුළ නිමක් නැතත් අඩු වැඩි වශයෙන් කලින් කලට වාර්තා වෙයි. නවක වදය පිළිබඳව ආසන්නතම සිදුවීම් පෙළක් වාර්තා වූයේ පේරාදෙණිය සරසවිය තුළිනි.

නවකවදය ලොවෙන් තුරන් වී වසර සිය ගණනකි. එය ආරම්භ වී තිබුණේ යුරෝපීය රටවල හමුදා ඛණ්ඩ ආශ්‍රිතවය. උප සංස්කෘතියට අනුගත කිරීමේ අදහසින් එවකට නවකවදය ක්‍රියාත්මක කර තිබිණ. ඇති හැකි භේදයකින් තොරව දුවා දරුවන් රැසක් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා පැමිණීමේදී ඔවුන් සරසවිය තුළ උප සංස්කෘතියට හුරු කරවීම සඳහා මෙරට සරසවි ආරම්භ වූ දා පටන් නවකවදය ක්‍රියාත්මක කරමින් පවතී. මේ හේතුවෙන් අධ්‍යාපනය ලැබීමේ මූලික අයිතිවාසිකම පවා උල්ලංඝනය වන තැනට කටයුතු සිදුව තිබේ. එවැනි පසුබිමක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වදය යළිත් හිස ඔසවා ඇත්තේ ශිෂ්‍ය හා පාලනාධිකාරිය සමඟ ද ගැටුම් ඇතිකරන තැනට පත් කරමිනි. මෙවන් තත්ත්වයක් තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතාට මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා තර්ජනය කොට තිබුණේ "ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යැව්ව අපිට ඩීන් කජ්ජක්ද?" යැයි කියමිනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා ප්‍රමුඛ ආචාර්යවරුන් පිරිසක් විශ්වවිද්‍යාලයේ සමස්ත සිසුන්ගේ අධ්‍යාපන අයිතිය සුරැකීම වෙනුවෙන් පෙනී සිටීමත් සමඟ ඔවුන්ට එරෙහිව ඇතැම් දේශපාලන පක්ෂවලට සම්බන්ධ සිසුහු මෙසේ තර්ජනය කිරීමට පෙළඹී සිටිති. මෑත කාලීනව වාර්තා වූ එවැනි නවක වදය සිදුවීම් නිසා දැනට ශාස්ත්‍ර පීඨය වසා දමා තිබෙන බවට වාර්තා වේ.

"පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ කාලයක ඉඳන් වධක භූමිකාව ක්‍රියාත්මක වෙනවා. හොස්ටල් ආශ්‍රිතව නවක සිසුන්ට රාත්‍රියේදී දස වද දෙනවා. මේවා එළියට ඇවිත් කවුරුත් කතා කරන්නේ නෑ.. එහිදී විවිධ හිරිහැර, අඩම්තේට්ටම් කරනවා. ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලබන ළමයින්ට පීඨයට එන්න නොදී ඉන්නවා. පන්ති කාමරයේ ඉගෙන ගන්නවා ගුරුවරු ඉන්න නිසා. ඒ හැර පීඨයේ පොදු ස්ථාන, පුස්තකාලය, කැන්ටිම වගේ වෙනත් සිසුන් ඉන්න තැන් භාවිතය තහනම් කරලා. ඔවුන්ට ඇතිව තිබෙන්නේ ඛේදනීය තත්ත්වයක්." යැයි ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා කීය.

මෙම තත්ත්වය විශ්වවිද්‍යාල පරිපාලනයට ගැටලුවක් ඇතිකර තිබේ. ලෝකයේ විවිධ විද්වතුන් හා තානාපති අංශ නිලධාරීන් පැමිණි අවස්ථාවල ඔවුන්ගේ අවධානයට මේ තත්ත්වය පත්ව තිබුණි.

ඉකුත් 14 වැනිදා පේරාදෙණිය සරසවි සිසුන් දෙපිරිසක් අතර නවකවදය ආශ්‍රිත ගැටුමක් ඇතිව තිබුණි. නීති අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් 'ගෙම්බා' ආපනශාලාව වෙත ගොස් ඇතැයි කියති. එහිදී නවකවදය ලබාදෙන සිසුන් පිරිසක් ඔවුන්ට පහර දී එළවා දමා තිබුණි. ඊට පෙරද මේ තත්ත්වයම සිදුව ඇතත් එදින සිසුන් කණ්ඩායමක් වෙත ආපසු පහරදීම නිසා තත්ත්වය උත්සන්න වී තිබිණ. නවක සිසු සිසුවියන්ට විෂය බාහිර ක්‍රියාකාරකම් සිදු කිරීම හා පොදු ස්ථාන අවහිරය නිසා ඇතැම් ඉගෙනුම් අවස්ථා ද මගහැරී ඇතැයි වාර්තා වේ. මේ බව සනාථ වූ අවස්ථා එමටය. දක්ෂ සිසු සිසුවියන් ආධුනික කථිකාචාර්යවරුන් ලෙස බඳවා ගන්නා පරීක්ෂණවලදීද ඒ බව තහවුරු වී තිබිණ.

"අපි ආචාර්යවරු නඩත්තු වෙන්නේ රටේ මහජනතාව ගෙවන බදු මුදලින්. අපි පඩි ගන්නේ ජනතාව බදු ගෙවන එකෙන්. මේ වගේ අධ්‍යාපන ආයතන නඩත්තු කරන්නේ ජනතාව. එහෙම වැටුප් ලබන අපි මේ ආයතන හරහා නිසි වගකීම ඉටු නොකළොත් අපි මොකටද මේ තනතුරු දරන්නේ? ඒ නිසා නියම අධ්‍යාපනය ලබා දෙන්න අපි මහන්සි වෙනවා. සරසවියේ විවිධ තනතුරු දරමින් සිටියදී මම මේ සඳහා උත්සාහ කළා." ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පැවසීය.
පසුගිය 14 වැනිදා පහරදුන් සිදුවීමට අදාළව සිසුන් 4 දෙනකු රෝහල්ගත කිරීමට සිදුවිය. ඒ පිළිබඳ පැමිණිල්ලක් පේරාදෙණිය පොලීසියට යොමුකර තිබිණ. සමථ මණ්ඩලයට යොමුකර ඇති එය තවමත් විසදා අවසන් නැත. මේ තත්ත්වය සිසුහු හොඳාකාරවම දනිති. ක්‍රියාත්මක වන නීතියක් වේ නම් ඊට එරෙහිව ශිෂ්‍ය සංගම් ඒකරාශී වීමට ක්‍රියා කරයි. කෙසේ වෙතත් පසුගියදා පහරදීමට සම්බන්ධ වූ සිසුන් තිදෙනකු හා වීඩියෝ දර්ශන ආශ්‍රිතව තවත් සැක සිසුන් අටදෙනකු ඇතුළුව 11 දෙනකු හඳුනාගෙන ඔවුන්ගේ පන්ති සති දෙකක් තහනමට ලක් කිරීමට ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා පියවර ගත්තේය.

එම සිදුවීම වූ දිනයේ සවස ආපනශාලාව හිමිකරුගෙන් තොරතුරු විමසීම සඳහා ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා එහි ගොස් සිටියේය. එහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සභාපතිවරයා ඇතුළු පිරිස ආචාර්යවරයාට තර්ජනය කොට තිබුණි.

"තමුසෙ අපි විශ්වවිද්‍යාලයෙන් එළවනවා. විධායක ජනාධිපති එළවපු අපිට තමුසෙ කජ්ජක්ද? කියලා කට්ටිය මට පහර දෙන්න හැදුවා. ආරක්ෂක අංශ නිලධාරීන් හා විනය ආරක්ෂක නිලධාරීන් මේකට සාක්ෂි දරනවා. ඔවුන් මා සමඟ හිටියා. ඒ අය කීවා සර්.. තවත් මෙතන ඉන්න එපා. ටිකකින් සර්ට ගහනවා කියලා. පහර දෙන්න සූදානම් වූ නිසා මම එතනින් ආවා." යැයි ආචාර්ය ප්‍රභාත් ඒකනායක මහතා කීය.

පසුදින ශිෂ්‍ය සංගම්වල සිසුන් දහසක් පමණ රැස් කරගෙන 'ගෝ හෝම් ඩීන්' ලෙස පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක නිරත වී තිබුණේ ආචාර්යවරයා පන්නා දැමීම සඳහාය. එහිදී කළු කොඩි ඔසවා පඹයකු පිච්චීම සිදු කර තිබුණි. මෙහිදී විශ්වවිද්‍යාලයේ ආචාර්ය, මහාචාර්ය ඇතුළු පාලනාධිකාරියට පරුෂ වචනයෙන් නින්දිත ලෙස බැණ වැදීමට සිසුහු කටයුතු කළහ. නවක සිසුන්ට ආපනශාලාව පරිහරණය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා ඒ බව ලිඛිතව ප්‍රකාශ කරන ලෙසට ආචාර්යවරුන් විසින් ශිෂ්‍ය සංගමයට සතියක කාලයක් ලබා දී ඇතත් ඊට ඔවුන් ප්‍රතිචාරයක් දක්වා නැත. මේ නිසා ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිතිය තීරණය කර ඇත්තේ සිසුන්ගේ අත්තනෝමතික පහරදීම්වලට එරෙහිව කටයුතු කිරීමටය. එහිදී කිසිම භේදයකින් තොරව සිසු සිසුවියන්ට පොදු ස්ථාන පරිහරණයට ඉඩ ලබාදීම, 14 වැනිදා සිදුවීම හෙළා දැක ප්‍රකාශයක් නිකුත් කිරීම හා නැවත පහරදීමක් සිදු වුණොත් ශිෂ්‍ය සංගමය ලෙස පහර කෑ අය වෙනුවෙන් පෙනී සිටීම යන යෝජනා තුන ශිෂ්‍ය සංගමය වෙත බැර කර ඇත. එහෙත් ඔවුන් ඊට එකඟ වී නැත.

මෙම ඉල්ලීම පීඨාධිපතිවරයාගේ තනි තීරණයක් නොව, මහාචාර්ය, ආචාර්ය හා තාවකාලික ආචාර්යවරුන් ඇතුළු 228 දෙනකුගේ එකඟතාව මත කළ ඉල්ලීමකි. ඒ අනුව වැඩිම ආචාර්ය මහාචාර්යවරුන් ගණනකගේ සේවය ලබන විශ්වවිද්‍යාලයේ ඉල්ලීමකි.

මෙම ගෞරවනීය ඉල්ලීම පසෙකලා ආචාර්යවරුන්ට මඩ ප්‍රහාර හා අභූත චෝදනා නගමින් බිත්තර ප්‍රහාර, අසූචි ප්‍රහාර එල්ල කොට මරණීය තර්ජනය එල්ල කිරීම පසුපස ක්‍රියාත්මක බලවේගය කුමක්ද? දේශපාලන බලවේගයක අතකොලු නොවී සියලු සිසු සිසුවියන්ට නිදහස් අධ්‍යාපනයේ ඉඩ හසර ලබාගැනීමට අවස්ථාව සැලසීම ශිෂ්‍ය සංගම්වල යුතුකමකි.

I සමන්ත ප්‍රදීප් විල්තෙර