2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

සරුංගලයකට මරාගන්න පවුල් දෙක

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 08:00 181

ලාල් සහ රාළහාමි ඥාති සොයුරන් දෙදෙනෙකි. ඔවුන්ගේ නිවෙස් පිහිටියේද ළඟ ළඟමය. ලාල්ගේ පුතා ධනංජයත් රාළහාමිගේ පුතා ලක්ෂිතත් අසල වෙල් යායක සරැංගල් යවා තිබුණි. විහිලුවට පටබැඳි නම් කියමින් ධනංජයගේ සරැංගලයේ නූල කඩා තිබුණේ ලක්ෂිත හා මිතුරන් විසිනි. 2017 වසරේ අගෝස්තු 25ට පසුදා නිවාඩුවේ මේ සිදුවීම විසඳීමට ගිය මොහොතේ ලාල් හා ධනංජය පිය පුතු දෙපළ ඝාතනය වී තිබුණේ රාළහාමි හා ඔහුගේ ඥාතියකු අතින් බවට චෝදනා එල්ල විය.

එදා පටන් මේ ආරවුල හේතුවෙන් ගෙවුණු වසර 5 තුළදී ඥාති පුද්ගලයන් හත් දෙනෙකු (7) ඝාතනයට ලක් වී ඇති බව පොලීසිය පවසයි. මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේදී ඉකුත් 06 දා පෙරවරැ 7.00ට පමණ සිදුවූ ත්‍රිත්ව ඝාතනයත් එහි ප්‍රතිඵලයකි.
එදා උදේ 7.00ට පමණ මෝටර් රථයකින් සහ යතුරැපැදියකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ පිහිටි රාළහාමි නැමැත්තාගේ නිවෙසට කඩාවැදී ඇත. පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු අයකු විසින් අපි පොලීසියෙන් යැයි පවසා දොර ඇරවාගෙන ඇතුළු වූ පිරිස එහි සිටි මව හා දියණිය මුළුතැන්ගේ රඳවා පියා සහ පුතුන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කර පලාගොස් තිබිණි. මෙම ත්‍රිත්ව ඝාතනය සඳහා පුද්ගලයන් පස්දෙනකුවත් පැමිණ ඇති බවට නිවැසියෝ පවසති. ඔවුන් අතර අයකු පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි බව දැක ඇත. වෙඩි තැබීම සිදුකර ඇත්තේ පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් පුද්ගලයා විසින් බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙම ත්‍රිත්ව ඝාතනය සඳහා පාතාල කල්ලියක සාමාජිකයන් පස් හයදෙනකු පැමිණ ඇති බවට පොලීසිය හඳුනාගෙන තිබේ. ත්‍රිත්ව ඝාතනය මුදල් කොන්ත්‍රාත්තුවක් මත පාතාල කල්ලියක් විසින් සිදුකරන්නට ඇති බවටද පොලීසිය සැක පහල කරයි. මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ කරවල ව්‍යාපාරයක් සහ මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක් සිදුකළ  අකලහන්දි ලක්‍ෂ්මන් පුෂ්පකුමාර (50) හෙවත් රාළහාමි නමැති අයෙකි. ඝාතනයට ලක්වූ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා වන්නේ 25 හැවිරිදි අකලහන්දි සුරේෂ් ජීවන්ත සහ 23 හැවිරිදි අකලහන්දි රොෂාන් මධුවන්ත යන අය බවට හඳුනාගෙන ඇත.

ත්‍රිත්ව ඝාතනයට පැමිණි පාතාල මැරයන් පළාගිය මෝටර් රථය බඩල්ගම ප්‍රදේශයේ මහමග දමාගොස් තිබියදී පොලීසිය මගින් සොයාගෙන තිබිණි. එම මෝටර් රථය කුලී පදනම මත ලබාගත් එකක් බව විමර්ශනවලින් හෙළිවී තිබේ. එතැන් සිට ත්‍රීරෝද රියකින් පලාගොස් නුවර පාරේදී අනුරාධපුර බස්රථයකට නැගී පලා යන අතරමගදී ගලේවෙල ප්‍රදේශයේදී කොටුකර ගන්නට විශේෂ කාර්ය බළකාය සමත්ව තිබුණි. තවත් සැකකරැවකු ගිරිඋල්ල ප්‍රදේශයෙදී අත්අඩංගුවට ගැනිණ. ඒ අනුව සිද්ධියේ සැකකරැවන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.

2017 අගෝස්තු 26 වැනිදා මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ දෙපිරිසක් අතර සරැංගල් සිද්ධියක් අරබයා ආරවුල ඇති වී තිබිණි. මෙම ආරවුල දුරදිග යෑමෙන් පසු එදිනම පියා සහ පුතා තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කර තිබිණි. එහිදී ඝාතනයට ලක්වූයේ කරවල ව්‍යාපාරිකයකු වූ 50 හැවිරිදි ලාල් සිල්වා සහ ඔහුගේ පුත්‍රයා වන සුරාජ් ධනංජය ප්‍රේමසිරි සිල්වා යන පිය පුතු දෙපලයි. එම ද්විත්ව ඝාතනයට ඊයේ මරා දැමුණු රාළහාමි සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා සම්බන්ධ බව පොලීසිය කියයි.

මේ අතර එම ද්විත්ව ඝාතනයට සහාය වූ බව කියන 65 හැවිරිදි විජේසූරිය ජස්ටින් රත්නසීල නමැත්තා 2018 වර්ෂයේ අගෝස්තු 08 වැනිදා මිනුවන්ගොඩ යටියනදී වෙඩි තබා ඝාතනය කර තිබිණි. ඒ ලක්‍ෂිත ලක්මාල් ද සිල්වා නැමැත්තකු විසිනි. ඊට පලිගැනීමක් ලෙස 2021 වර්ෂයේ ජූනි 20 වැනිදා කොටගෙදර ප්‍රදේශයේදී 23 හැවිරිදි ලක්‍ෂිත ලක්මාල් ද සිල්වා කපාකොටා ඝාතනය කරන ලදී. ලක්මාල් නමැත්තා යතුරුපැදියක යද්දී ඒ පසුපස පන්නාගෙන ගිය රාළහාමි සහ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා ඔහුට තියුණු ආයුධවලින් පහරදී කපා කොටා ඝාතනය කර ඇතැයි කියති. මෙම ඝාතනය සම්බන්ධයෙන් රාළහාමි සහ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර තිබිණි.

I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04