ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ තැඹිලි හිඟයක් ඇතිවිය හැකි බව පොල් පර් යේෂණ ආයතනය අනතුරු අඟවයි. මෙයට හේතු වී ඇත්තේ බෝගවලට හානි කරනු ලබන පලිබෝධකයකු වන (සුදු මැස්සා)ගේ ක්‍රියා කලාපයයි. මේ පලිබෝධකයා මීට පෙර පොල් වගාව සඳහා එතරම් හානිදායක ලෙස ක්‍රියා කළ බවක් සඳහන් නොවුණද 2019 වසරේදී මුල්වරට පොල් වගාවට හානි කළ බවට වාර්තා විය. නමුත් එකල පැවැති වර්ෂාවත් සමඟ එය යම්තාක් දුරකට පාලනය වී තිබුණි. එමෙන්ම රටපුරා කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි විය.
(සුදු මැස්සා( ශාකවල යුෂ උරා බොන කෘමියෙකි. සාමාන්‍යයෙන් මිලිමීටර් තුනක හතරක ප්‍රමාණයේ කුඩා මැස්සෙකි. සුදු මැස්සෝ ගස්වල කොළවල යට පැත්තේ ජීවත් වෙති. කහ පැහැති ඉතා කුඩා (තිත්) වැනි ලපවල සිට සුදු මැස්සා රෝගය ශාකවලට ව්‍යාප්ත කරයි. සුදු මැස්සන් වැඩි වශයෙන් බෝවන විට එය පුල්ලි වශයෙන් ශාකය පුරා පැතිරීම සිදුවේ.
''සුදු මැස්සන් තැඹිලිවලට පමණක් නොවේ, පොල්වලටත් හානි කරන කෘමියෙක්. සුදු මැස්සන් කහ පැහැයට ඉතා ඉක්මනින් ආකර්ශනය වෙනවා. ඒ නිසා තැඹිලිවලට සුදු මැස්සන් වැඩි ආකර්ශනයක් දක්වනවා. ඒ වගේම තැඹිලිවල ගහණ ඝනත්වය ද ඉතා ඉහළයි. සුදු මැස්සන් ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස සීනි සහිත ශ්‍රාවයක් ශරීරයෙන් පිට කරනවා. එම ද්‍රාවණය පහළ ඇති කොළ මතට වැටීමෙන් ඒවායේ පුස් ඇතිවෙනවා. අපිට ගස්වල කළු පැහැයට දකින්න ලැබෙන්නේ එම පුස් තත්ත්වයයි. එමගින් ශාකවල වර්ධනය, සාරවත් බව ඉතා ඉක්මනින් අඩුවීමක් සිදු වෙනවා.'' යැයි පොල් පර් යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (පර් යේෂණ) නයනි ආරච්චිගේ මහත්මිය දේශයට පැවසුවාය.
මේ වනවිට සුදු මැස්සාගෙන් සිදුවන හානිය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ තෙත් කලාපයේ අතරමැදි කලාපවලයි. විශේෂයෙන් ගම්පහ, කොළඹ, කළුතර දිස්ත්‍රික්කවල මෙම හානිය වැඩි වශයෙන් දක්නට ලැබේ. ඊට අමතරව කෑගල්ල, මහනුවර, රත්නපුර, කුරුණෑගල, පුත්තලම සහ ගාල්ල ප්‍රදේශවලද මෙලෙස ශාක හානිවීම් දැකගත හැක.
සුදු මැස්සන්ගෙන් ශාකවලට සිදුවන හානිය ඉතා ඉක්මනින් පැතිර යයි. සුදු පැහැති තිත් ලෙස ආරම්භයේදී පෙන්නුම් කරන මෙම රෝගය සඳහා ඉතා ඉක්මනින් ප්‍රතිකාර නොකළහොත් සුදු පැහැති පුළුන් ලෙස එය වර්ධනය වේ. එමෙන්ම කහ පැහැති පුල්ලි විශාල වශයෙන් පැතිර යයි.
2019 වසරේදී පොල් වගාව ආශ්‍රිතව මෙම රෝගය පැතිරීමත් සමඟ කෘමිනාශකයක් යොදා එය ඉතා ඉක්මනින් මර්දනය කිරීමට පොල් පර් යේෂණ ආයතනයට අවශ්‍ය විය. ඒ සඳහා ඔවුහු කටයුතු කළහ. නමුත් රටපුරා පැවැති දරුණු කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ඒ සඳහා දීර්ඝ ලෙස කටයුතු කිරීමට හැකියාවක් නොලැබිණි. මේ වනවිට මෙම සුදු මැස්සා මර්දනය කිරීම සඳහා කෘත්‍රිම කෘමිනාශක කිහිපයක් වෙළෙඳපොළෙන් මිලදී ගැනීමේ හැකියාව පවතී. එම කෘමිනාශක දියරය ශාකයේ පත්‍රවල යට පැත්තට ඉසීමෙන් සුදු මැස්සා මර්දනය කිරීමේ හැකියාව ඇත. මීට අමතරව සුදු මැස්සා මර්දනය කිරීම සඳහා මිනිසාට විෂ රහිත කෘමිනාශකයක් ලෙස කොහොඹ තෙල් සහ සබන් මිශ්‍ර ජලය යෙදීමට පොල් පර් යේෂණ ආයතනය නිර්දේශ කර තිබේ. සබන් මිශ්‍ර ජලයට කොහොඹ තෙල් එක්කර ඉහළට වැඩී ඇති පොල් හා තැඹිලි ශාක පත්‍රවලට ඉසීම එතරම් පහසු නැත.
''මේ සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය ගොවීන්ට උදව් කිරීමට සූදානම්. පොල් වගා කිරීමේ මණ්ඩලය සතුව උස ශාකවලට පලිබෝධනාශක ඉසීමට හැකි දියර ඉසීමේ යන්ත්‍ර තියෙනවා. ඒවා ඔවුන්ගේ සමිති හරහා පොල් වගා කරන ගොවීන්ට ලබාගැනීමේ හැකියාව පවතිනවා. නොමිලේ ලබා දෙන මෙම දියර යන්ත්‍රයෙන් තම අවශ්‍යතාවය ඉටු කරගෙන නැවතත් දියර යන්ත්‍රය පොල් වගා කිරීමේ මණ්ඩලයට ලබා දිය යුතු වෙනවා.'' යැයි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (පර් යේෂණ) නයනි ආරච්චිගේ මහත්මිය දේශයට වැඩිදුරටත් පැවසුවාය.
පොල් සහ තැඹිලි ගෙවතුවල වගා කරන පිරිසට මෙම දියර ඉසින යන්ත්‍ර ලබාගැනීමේ හැකියාවක් නොමැත. සබන් ජලය හා කොහොඹ තෙල් මිශ්‍ර කර ශාකවලට එක්කර ගැනීම අපහසු නම් අඩුම තරමින් දිනපතා ජල නළයක් මගින් පොල් හෝ තැඹිලි ගස්වල ඉහළ පත්‍රවලට ඇල්ලීම සිදු කළ යුතුය. එයින් යම් තරමකට හෝ රෝගය මර්දනය විය හැක.
සුදු මැස්සාගෙන් පොල්, තැඹිලි වගාවලට අමතරව අනෙකුත් වගාවලට ද හානි සිදුවිය හැක. කෙසෙල්, කරපිංචා, තක්කාලි, කහ, මිරිස් ආදී ශාකවලද මෙම රෝගය දක්නට ලැබේ. එමෙන්ම කොට්ටම්බාවලද මෙය විශාල ගහණයකින් යුක්තය.
සුදු මැස්සන් කහ පැහැයට ඉතා ඉක්මනින් ආකර්ශනය වීම නිසාම කහ පැහැති පොලිතින් කවර ගෙන එය ශාකයේ කරටියට ආසන්නයේ කඳ වටේ ඔතා පොලිතිනයේ ග්‍රීස් ආලේප කළ යුතුය. කහ පැහැයට ආකර්ශනය වන සුදු මැස්සා මෙම පොලිතිනයේ ඇලීමෙන් රෝගය මර්දනය කර ගැනීමට හැකියාව පවතී.
I දිශානි ජයමාලි කරුණාරත්න