2022 ඔක්තෝබර් 16 වන ඉරිදා

පරිසර ලොක්කකුගේ නකල්ස් හෝටලේ

 2022 ඔක්තෝබර් 16 වන ඉරිදා, පෙ.ව. 08:00 121

පරිසරය සුරුකීමට පිහිටුවා ඇති මධ්‍යම පරිසර අධිකාරියේ ඉහළ තනතුරක වැජඹෙන්නකු  සහ ඔහුගේ පුතු විසින් මාතලේ පිටවල – රත්නින්ද ප්‍රදේශයේ ඓතිහාසික, සංස්කෘතික සහ කෘෂිකාර්මික වශයෙන්ද අතිශය වැදගත් පාරිසරික සංවේදී භූමිභාගයක හෝටලයක් ඉදිකිරීම පිළිබඳ පසුගිය සතියේ වාර්තා විය. දුම්බර කඳුකරය ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟේ ප‍්‍රධානතම ජල පෝෂක ප‍්‍රදේශයයි. හෙක්ටයාර 21,000ක් පමණ ප‍්‍රදේශයක් පුරා දුම්බර රක්ෂිත වනාන්තරය ව්‍යාප්තව පවතී. එහි පාලන කටයුතු සිදුවන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගිනි. සංරක්ෂිත වනාන්තර කලාපයට යාබද ප්‍රේරණ කලාපයද වනාන්තරයේ සහ ජල මාර්ගවල ආරක්ෂාව උදෙසා විශාල මෙහෙයක් සිදුකරයි. 

ලෝක උරුම නකල්ස් රක්ෂිතයේ මායිමට නුදුරින් පිහිටි හෝටලය ඉදිකරන ප්‍රදේශය ඉතා සුන්දර වටපිටාවකින් යුක්තය. මොරගහකන්ද ජලාශයට ජලය සපයන ප්‍රධාන මූලාශ්‍ර දෙකෙන් එකක් වන තෙල්ගමුව ඔය ගලා යන්නේ හෝටලය තනන ඉඩමට මුහුණලාය. ගල්පර්වත බහුල නිම්නයක ඉතා අලංකාර දසුන් මවන එම ඔය ආරම්භ වන්නේ කළුපහන කන්දෙනි. පුරාණයේ පටන් ප්‍රදේශයේ කුඹුරුවලට ජලය සපයන කටුකිතුලේ ඇළද මෙහි පිහිටා තිබේ.

ඔයට මීටර් 100ක් පමණ නුදුරින් හෝටලයේ මූලික ඉදිකිරීම් සිදුකර තිබේ. එය පිහිටා ඇත්තේ පෞද්ගලික ඉඩමක වුවත් එහි ඉදිකිරීම්වලින් නකල්ස් ප්‍රේරණ කලාපයේ පරිසරයට සහ තෙල්ගමු ඔය ඉවුරු රක්ෂිතයට බලපෑම් සිදුවන බව ප්‍රදේශවාසීහු පවසති. ඔය අසල සිට සංචාරකයන්ට හෝටලයට යාමට ගල් ඇතිරූ පඩිපෙළ සහිත මාර්ගයක්ද පසුගිය දිනවල සකස් කරමින් තිබුණි. මේ ප්‍රදේශය වැලිවිට අසරණ සරණ සරණංකර සඟරජ හිමියන් ලග්ගල දිවිගෙවූ සමයේ දිය නෑ තොටක් ලෙස (උන්නාන්සේ නාපු තොට) ඇටන්වල, පිටවල හා රත්නින්ද ගම්වැසියන් විසින් විශ්වාස කරති. එම ස්ථානයේ ඔවුහු වාර්ෂිකව කිරි ඉතිරවීමේ මංගල්‍යයක්ද පවත්වති. රාජ උදහසට ලක්ව සිටි සඟරාජ හිමියන් වැඩසිටි පන්සලේ ගෙදරද ඇත්තේ මීට මඳක් මෑතින් වූ රත්නින්ද ගමෙහිය. මෙම ස්ථානයට ඉහළින් කඳු බෑවුමේ පිහිටා ඇත්තේ ඇටන්වල ගම්මානයයි. ගම්වැසියන් ඇටන්වලට යන්නේ කුඩා කොන්ක්‍රීට් පාලමෙන් සහ හෝටලය අසල පිහිටි ඔය හරහා ගමන් කිරීමෙනි.

දැනටත් දුම්බර කඳුකර සිරිය නැරඹීමට ඉඳහිට සොබාදහමට ලැදි සංචාරකයෝ මේ ගම්මාන හරහා මානිගල කන්ද තරණය කරති. ඔවුන්ට නවාතැන් ගැනීමට තැනක් නැති නිසා වැඩිපුර ගමේ ගැවසෙන්නේ නැත. නමුත් නවාතැන් පහසුකම් සැලසූ විට සොබාදහම ගැන හැඟීමක් නැති සංචාරකයන් පවා වැඩිපුර ගමේ ගැවසෙන්න පටන්ගන්නා අතර එවිට  මේ සංස්කෘතික අගයන්ට හානි පැමිණිය හැකි බව ගම්මුන්ගේ අදහසයි. හෝටලයට පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම්වලදී ඔයේ ජල පෝෂක ප්‍රදේශයටද හානි වී ඇති බව ගැමියෝ පවසති.

හෝටල් බිමට ළඟාවීම සඳහා අඩි 6ක් පළල, මීටර් 500ක දිගින් යුත් ප්‍රවේශ මාර්ගය ඉදිකර  වෙමින් පැවතුණේ කටුකිතුලේ ඇළ හරහා බුලත්වැල්හේන නම් කොටස මැදිනි. මේ වනවිට එහි මීටර් 200ක පමණ කොටසක වැඩ අවසන්ව පවතී. මේ ඉදිකිරීම් නිසා ඇළ ඉවුරුවල ස්වාභාවික ගල් පවා ඉවත් කරනු ලැබ ඇති අතර එමඟින් ඇළ ඛාදනය වීමක්ද සිදුවීමට ඉඩ තිබේ. පාංශු ඛාදනයෙන් රොන් මඩ ගලායෑම නිසා තෙල්ගමු ඔයේ ජල දූෂණයක  අවදානමක්ද පවතී.

හෝටලය ඉදිකිරීම සඳහා ප්‍රදේශයේ භූ දර්ශනයට අනුව මධ්‍යම පරිසර අධිකාරියෙන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කිසිදු නෛතික අවසරයක් මේ ඉඩමේ හිමිකරුවන් ලබාගෙන නැති බව වන සංරක්ෂණ නිලධාරීන්ට හෙළිවී ඇත. කුඹුරු හිමියන්ට විවිධ උපකාර කර, කුඹුරු කරා හොඳ පිවිසුම් මඟක් සකසා දෙන බව ඒත්තු ගන්වා ඔවුන් ලවා පල්ලේගම ප්‍රාදේශීය ලේකම්වරයා වෙතින් ගත් අවසරයක් පමණක් ඔවුන් ලබාගෙන තිබෙන බව පැවසේ. 

වන සංරක්ෂණ නිලධාරීන්ගෙන් දැනගන්නට ලැබුණු පරිදි මෙම ඉඩම පෞද්ගලික හිමිකම යටතේ පවතින නිසාත්, එය වනාන්තරයේ සංරක්ෂණ කලාපයේ මායිමට අයත් නැති නිසාත් නීතිමය පියවර ගැනීමට නොහැකිය. ඒ එය වන ආඥා පනතෙන් බැහැර නිසාය. නමුත් ඇළ මාර්ගයට බාධා කරමින් මාර්ගයේ ඉදිකිරීම සිදුවන බව දැනගත් වහාම වන සංරක්ෂණ නිලධාරීන් මැදිහත්වී එහි ඉදිකිරීම් අත්හිටුවා තිබේ. ඒ වනවිටත් ගස්වැල් කපා දමමින් ගල්පර්වත ගලවමින් මාර්ගය බොහෝදුරට ඉදිකර ඇත. ඉදිරි දිනවල මේ කටයුත්තේ නීතිමය තත්ත්වය විමසීමට ඒකාබද්ධ ක්ෂේත්‍ර පරීක්ෂණයක් කිරීමට මේ වනවිට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කර තිබේ. එම පරීක්ෂණය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ පොලීසියත් එක්වීමට නියමිතය. 

නකල්ස් සංරක්ෂණ කලාපය මායිමේ සිදුවන හෝටල්, නවාතැන්, ආරණ්‍ය සේනාසන නවාතැන් පොළවල් වැනි විවිධ ඉදිකිරීම් නිසා එහි පරිසරයට බාධාවීම් සිදුවේ. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඒවාට එරෙහිව පියවර ගැනීමට නීති ප්‍රතිපාදන නැත.

මේ ගැන දේශයට අදහස් දැක්වූ නකල්ස් කලාපය බාර වන සංරක්ෂණ නිලධාරී ආර්.එම්.කේ.ආර්. ඉලුක්කුඹුර:

''නකල්ස් කලාපයේ පුද්ගලික ඉඩම්වල හතු පිපෙන්නාක් සේ හෝටල් ඉදිවෙමින් පවතිනවා අපට පේනවා. ප්‍රේරණ කලාපයේ ඉදිකිරීම් ගැන කටයුතු කරන්න අපට නීතිමය ප්‍රතිපාදන නැහැ. මම නම් යෝජනා කරන්නේ ඒ සඳහා යම්කිසි විධීවිධාන සකස් කළ යුතු බවයි. පුද්ගලික ඉඩම්වල ගස් හෙළීම්ද බහුලව සිදුවෙනවා. නකල්ස් කලාපයේ පුද්ගලික ඉඩම් පරිහරණය ගැන මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කළ ගැසට් පත්‍රයක් තිබෙනවා. අපි මේ වනවිට වනාන්තරය තුළ සිදුවන නීතිවිරෝධී කටයුතු පාලනය කරලා තිබෙන්නේ. නමුත් වනාන්තරයෙන් පිටත සිදුවන පරිසර හානි ගැන කටයුතු කරන්න අපට බැහැ. මේවා පාලනය කිරීමට ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලට මැදිහත්විය හැකි නීතිමය තත්ත්වයක් පැවතීම අවශ්‍යයි. 

හෝටලය පිහිටි ස්ථානයට ගමන් කළ හැක්කේ රිවර්ස්ටන්, පිටවල පතන හරහා ඉලුක්කුඹුරට පැමිණ එහි සිට රත්නින්ද හරහා ඇටන්වලට යන බොරලු පාරේ ගමන් කිරීමෙනි. තෙලිගමු ඔයෙන් නිර්මාණය වූ වැද්දාපැණි ඇල්ල මේ ආසන්නයේ පිහිටි සුන්දර තැනකි. මීටර දෙකක් පළල ගල්පර්වත දෙකක් අතරින් ඔය කඩාහැලීමෙන් මේ අලංකාර ඇල්ල නිර්මාණය වී තිබේ. දියඇල්ලට ඉහළින් හෙල්මලු කුඹුරු සහ එළවළු වගාබිම් දක්නට පුළුවන. එපිටින් ඇදී යන්නේ මානිගල කන්දයි.

2000 වසරේදී වන සංරක්ෂණ ආඥා පනත යටතේ සංරක්ෂණ වනාන්තරයක් ලෙස නකල්ස් වනාන්තරය ප‍්‍රකාශයට පත් කෙරිණි. පසුව 2007 වසරේදී ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂණ ප‍්‍රදේශයක් ලෙසත් 2008 වසරේදී පස සංරක්ෂණ පනත යටතේ පස සංරක්ෂණ ප‍්‍රදේශයක් ලෙසත් ප‍්‍රකාශයට පත්කර ඇත. මෙවන් වූ නීතිමය ආවරණයන් ගණනාවක් දුම්බර අඩවියට ලබා දී ඇත්තේ එහි ඇති මිල කළ නොහැකි භූ විද්‍යාත්මක, ජෛව විද්‍යාත්මක හා සාම්ප‍්‍රදායික ජන උරුමයේ වටිනාකම නිසාය. ඒ හේතුවෙන්ම 2010 වසරේදී ලංකාවේ ඉහළ කඳුකරයට අයත් දුම්බර අඩවිය ලෝක උරුම ප‍්‍රදේශයක් ලෙස   යුනෙස්කෝ සංවිධානය මඟින් ප‍්‍රකාශයට පත්කරනු ලැබීය. නමුත් නකල්ස් වනාන්තරය අවට සිදුවන පරිසර විනාශයන් නිසා එයට අත්ව ඇත්තේ කනගාටුදායක ඉරණමකි.

 

I කුසුම්සිරි විජයවර්ධන