2022 ඔක්තෝබර් 16 වන ඉරිදා

ආර්ථිකය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම

 2022 ඔක්තෝබර් 16 වන ඉරිදා, පෙ.ව. 08:00 97

ශ‍්‍රී ලංකාවේ ගමන විවිධාකාර පැතිවලට විහිදී තිබේ. නිදහස ලබාගැනීමෙන් පසු ගත වූ කාලය තුළ සමාජ සංවර්ධනය සඳහා මහත් පරිශ‍්‍රමයක් දරා ඇත. සැලසුම් විශාල ප‍්‍රමාණයක් සකස් කරන ලද අතර ඒ හා සමානවම ඒවා ආපසු හරවාගෙන ඇති බව නොරහසකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරනු සඳහා නොයෙක් ක‍්‍රියාමාර්ග හඳුන්වා දෙන ආණ්ඩු නිතර කතාකරන්නේ ව්‍යවස්ථා සංශෝධන සහ ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමේ උවමනාව ගැන බව පෙනේ. කෙසේ වෙතත් රට තුළ ප‍්‍රශ්න ගණනාවකි. ජනතාව ආර්ථික අතින් අර්බුදයකය. ඇතැම් ජන කොටස් වලට මූලික ආහාර වේල පවා නිසි පරිදි නොලැබෙන තත්ත්වයක බව ප‍්‍රකාශ වේ.

ආර්ථික අර්බුදයක පවතින රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස්කම් සාකච්ඡා කිරීම පලක් තිබේද යන්න අවධානයට ගත යුතු කරුණකි.  ශ‍්‍රී ලංකාව වැටී ඇති ස්ථානය සතුටුදායක නැත. ජාත්‍යන්තර වශයෙන් ගත් ණය ගෙවා ගත නොහැකි මට්ටමට පළමු වතාවට පත්ව ඇත. එය තරමක අවමානයකි. සංකීර්ණ තත්ත්වය විචක්ෂණශීලීව කල්පනා කළ යුතුව තිබේ. ප‍්‍රජාතන්ත්‍රවාදයද නැත්නම් ආර්ථිකයද යන්න සාකච්ඡා කළ යුතු කරුණකි.

• ලෝක බැංකුවේ අලුත් අනතුරු ඇඟවීම 

ලෝක බැංකුව නොබෝදා ප‍්‍රකාශ කරන පරිදි ශ‍්‍රී ලංකාව 2022 අවුරුද්දේ සියයට 9.2ක ඍණ ආර්ථිකයකට පත්වනු ඇත. පසුගිය වසරේ තිබුණ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහයක් පමණ අඩු තැනකට පත්වන බව දැක්වේ. ලෝකයේ සමහර රටවල පවතින දුර්විපාක සලකා බැලූ පසු මෙම පහත වැටීම එපමණ අභාග්‍යයක් නොවේ. කොවිඩ් වසංගත තත්ත්වය හා එයට අනතුරුව බලපවත්වන රුසියාව හා යුක්රේනය අතර ගැටුම සෑම පැත්තකටම පීඩනයක් එල්ල කොට තිබේ. ඉන්ධන මිල ඉහළ යන්නට එය බලපා ඇති අතර ආහාර නිෂ්පාදනය පහත වැටෙන්නටත් කෘෂිකර්මය අඩාල වන පරිදි පොහොර මිල ගණන් වැඩිවෙන්නටත් ගැටුම හේතුවක් වී ඇත. ශ‍්‍රී ලංකාව දුර්වල ආර්ථික තත්ත්වයක පසුවන නමුත් ජනතාව කුසගින්නේ නැත. මොනවා හෝ ආහාරයට ගත හැකි පසුබිමක් තිබේ. 

ශ‍්‍රී ලංකාව මෙම තත්ත්වයට පත්වෙන්නේ හොඳ සමාජ තත්ත්වයක තිබුණ මෑත කාලය පසුකරමින් බව අමතක නොකළ යුතු පැත්තකි. සහල්, පාන්, මස්, මාළු මිල ගණන් සලකන පසු මාස හත අටකට කලින් තිබුණ මිල ගණන් ගැන මතක තිබිය යුතුය. ආර්ථිකය අර්බුදයකට පත් වූ පසු උද්ධමනය පාලනය කරගත නොහැක.

ප‍්‍රශ්න නිරාකරණය කෙරෙන්නේ කවදාද? ජනතාව නිතර විමසා බලන කාරණයකි. ලෝක බැංකුවට අනුව 2024 වසරේ පවා ඍණ 4.2ක ආර්ථිකයක් අපේක්ෂා කළ යුතුය. බදු වැඩි කරන, ආයෝජන සඳහා ප‍්‍රයත්න දරන අතරවායේ ලබන වසරේද පීඩනය එපමණ නොවෙනස්වන බව පෙනෙන පසු වේගයෙන් වෙනස්වීමේ වැදගත්කම අවබෝධ කරගත හැක. ආර්ථිකය යථා තත්ත්වයට පත් කරගන්නට අවුරුදු ගණනක් ගතවන බව පැහැදිලිය. වෙහෙසකර සහ කැපවීමෙන් කටයුතු කළයුතු කාල පරිච්ඡේදයක් ඉදිරියෙහි පවතී.

• ආර්ථික සහ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ

නිදහස ලැබූ දා සිට ශ‍්‍රී ලංකාව ව්‍යවස්ථා වෙනුවෙන් සටන් කර ඇත. දේශපාලන ප‍්‍රතිසංස්කරණ සඳහා ප‍්‍රයත්න දරා තිබේ. මෙකී මහන්සිය ආර්ථිකයට යොමුකළා නම් අද ශ‍්‍රී ලංකාව දියුණු රටකි. 1948 ව්‍යවස්ථාව 1972 දී වෙනස් කළ අතර නැවත වතාවක් 1978 දී ආපසු හැරවීය. එතැන් සිට අද දක්වා ව්‍යවස්ථාවේ සංශෝධන විසි එකක් සම්මත කර තිබේ. පළාත් පාලන, පළාත් සභා ක‍්‍රම හඳුන්වා දී ඇති අතර ඒවායේද නොයෙක් වෙනස්කම් කර ඇත. නිර්දේශපාලනිකව ගමේ ප‍්‍රශ්න විසඳන ජන සභා ක‍්‍රමයක් ගැන අලුතින්ම අවධානය යොමු වී ඇත. සෑම ග‍්‍රාම නිලධාරී වසමකටම ජන සභාවක් ඇති කරන බව කියැවේ. පළාත් පාලන ආයතන ගණන හා ඒවායේ සභිකයන් ප‍්‍රමාණයද අඩු කරන බව දැනටමත් ප‍්‍රකාශ වී ඇති අනෙක් කරුණකි.
ගමට ඇති ප‍්‍රශ්න මොනවාද? ඒවා නගරවලින් බැහැර වෙනම ආකාරයක් ගෙන තිබේද? යන්න පැන නැගෙන ගැටලුවකි. ජනතාව ඉල්ලන්නේ පරිපාලන ඒකක නොවේ. ජීවත්වන ක‍්‍රමයකි. ආර්ථිකය නගා සිටුවන සැලැස්මකි. 

පසුගිය කාලයේ ප‍්‍රකාශයට පත් වූ අයවැය යෝජනා බලන්න. ග‍්‍රාමීය කර්මාන්ත හා ව්‍යවසාය නංවන බවට ඇති තරම් අදහස් කියා ඇත. විදේශ ගතවූවන්ට බදු රහිත වාහනවල සිට කර්මාන්ත අරඹන්නට මෙවලම් ගෙන එන පහසුව දෙන බව කියා තිබේ. කාන්තාවන්ට හා තරුණයන්ට ණය සහන පදනමකින් දෙන අතර තරුණ කණ්ඩායම්වලට ඉඩම් බෙදාදෙන බව ප‍්‍රකාශ කර ඇත. අලෙවි මධ්‍යස්ථාන, අපනයන දිරිගැන්වීම්, ප‍්‍රවාහන පහසුකම් යනාදිය ගැන අප‍්‍රමාණ වචන ලියැවී තිබේ. ලංකාවේ ආර්ථිකය පවතින තැන ගැන අවධානය යොමු කරන පිරිස් සුළඟේ පාවී ගිය මෙම අදහස් ගැන කල්පනා කිරීම සුදුසුය. ව්‍යවස්ථා වෙනුවට රටට හා ජනතාවට අවස්ථා ඇති කළේ නම් ශ‍්‍රී ලංකාව දිදුලන තැනක බව අවිවාදිතය. ඡන්ද ක‍්‍රමය වෙනස් කරන්නට, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නට දරන ශක්තිය ආර්ථිකය හදන්නට නොයොදවන්නේ ඇයි?

• ප‍්‍රගතියක් නොලැබුණ රටක්

ආර්ථිකය නරක අතට හැරෙන විට වැඩකරන ජනතාවගේ අතට ලැබෙන ආදායම අඩුවේ. පසුගිය දශක අට තුළ මෙරට සාමාන්‍ය ආර්ථික වර්ධනය සියයට පහට අඩුය. විශේෂඥයන් දක්වන පරිදි ශ‍්‍රී ලංකාවේ ජනගහනය වයස්ගත වෙමින් පවතී. ජනගහන පිරමීඩයේ පහළම කොටස දරුවන් හා මහල්ලන්ගෙන් සමන්විතය. වැඩ කළ හැකි ශ‍්‍රම බලකාය පිරමීඩයේ ඉහළ අග දක්වා සීමාවෙමින් පවතී. ශ‍්‍රමය අඩුවන විට වැඩ කළ හැකි ප‍්‍රමාණය පහත වැටේ. නිෂ්පාදනය සීමාවෙනු ඇත. ප‍්‍රමාණවත් නිෂ්පාදනයක් නොමැතිකම රටට ඇති ප‍්‍රශ්නයක් බව දැක්විය යුතුය. සෑම දෙයක්ම පිටරටවලින් ගෙන්වන්නට සිදුවේ. ආනයනය වැඩි වනවිට විදේශ විනිමය ප‍්‍රමාණවත් නැත. මෙම පැති සලකා බලා අපනයනය කළ හැකි පරිදි අලුත් නිෂ්පාදන හා සේවා අංශ සකස් කරන්නට වගබලා ගතයුතුව ඇත.

එහෙත් මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂවලට, වෘත්තීය සමිතිවලට හා සමාජ සංශෝධන සඳහා පෙනී සිටින ස්වේච්ඡා සංවිධානවලට ආර්ථිකය වැදගත් නැත. ඔවුහු විධායක ජනාධිපති ක‍්‍රමයේ කොටස් ගැන තර්ක කරති. උතුරු නැගෙනහිර ඇතුළු අනෙක් ප‍්‍රදේශවලට පළාත් සභා අවශ්‍යදැයි ප‍්‍රශ්න කරති. දෙසිය විසි පස්දෙනකු සහිතව පාර්ලිමේන්තු ක‍්‍රමය අනෙක්පැත්ත හරවා අරගලකරුවන්ට භාර දිය යුතු බව දක්වයි. මෙවැනි වෙනස්කම්වලින් රටට ඉතාම අවශ්‍ය විනිමය උපයාගත හැකිනම් සතුටට කරුණකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ සඳහා බලකරන කිසිවකු රට අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රවාහනය හා බලශක්තිය වැනි පැතිවලින් රට ප‍්‍රපාතයකට පත්ව ඇති බව සලකන්නේ නැත. එය අභාග්‍යයකි. ඉහළම මිලකට විදුලිය ඒකකයක් නිපදවන ශ‍්‍රී ලංකාව එය අඩුම මිලකට විකිණිම සඳහා බලකිරීම ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් බව පෙන්වා දෙයි. විදුලිය, නිවාස, රුකීරක්ෂා, අධ්‍යාපනය යනාදිය අයිතියක් නමුත් ඒ සඳහා ගෙවන්නට තරම් ශක්තිමත් ආර්ථිකයක් රටට තිබේද?

තරුණ ශ‍්‍රම බළකාය අඩු සහ දක්ෂතා සහිත පිරිස ලෝකයේ වෙනත් රටවලින් තමන්ගේ අනාගතය සාක්ෂාත් කරගන්නට වෑයම් කරන අවස්ථාවක ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන පමණක් තර්ක කිරීම යුක්ති සහගත නැත. දශක තුනක් ගැටුම් සහ ත‍්‍රස්තවාදයට වැය කර ඇති රටක් වශයෙන් පාඩමක් ඉගෙනගත යුතුය. උතුරේ සහ දකුණේ ජනයා අවස්ථා ඉල්ලා සිටියහ. ඔවුන් ඉල්ලා සිටියේ තමන්ට සාමකාමීව ජීවත්විය හැකි ක‍්‍රමයකි. 

• ආර්ථික යුද්ධයක්

ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා යුද්ධයක් තිබුණ රටකි. තරුණ පිරිස් එහිලා නිරත වූහ. යුද්ධය ජයග‍්‍රහණය කරන ලද ආකාරයට ආර්ථික යුද්ධයක්ද කළ යුතුව ඇත. එය හුදෙක් පැරුණි මතධාරී ආර්ථික විශේෂඥයන්ගේ තර්ක අනුව සිදුවිය යුතු නැති අතර ලෝකයේ සිදුවෙමින් පවතින ආර්ථික පරිසරය අනුව තීරණ ගත යුතුව තිබේ.

ලෝකයේ නිෂ්පාදන තරගකාරීත්වය ඉතාම තියුණුය. තාක්ෂණය වෙළෙඳ පොළට පැමිණ ඇත. සෑම රටක්ම වෙළෙඳපොළ අයිතිය වෙනුවෙන් සටන් කරමින් සිටින යුගයකි. ඒ සඳහා බලවත් රටවල් ක‍්‍රියාකරන අතර උපක‍්‍රමශීලීව කුඩා රටවල් ග‍්‍රහණය කරගනිමින් සිටී. මෙම සංකීර්ණ ව්‍යුහයෙන් ගැලවීම පහසු නැත. ගතානුගතික තීරණ අනුගමනය කරන අතර වහා පියවර නොගෙන සිටීම තවත් ප‍්‍රශ්න ඇති කරන හේතුවකි. මෑත කාලය තුළ සිදුවීම් වලින් පසුව ශ‍්‍රී ලංකාව අඩු ආදායම් රටක් සේ වර්ගීකරණය විය යුතු බවට මතයක් ඇත. මැදි ආදායම් රටක සිට පහළට වැටීමෙන් පසු සහන ලැබේ. රටට අවශ්‍ය සහන නොව අවස්ථා සොයා යන සමාජයක් නිර්මාණය කිරීමකි. දේශපාලන පක්ෂ සුපුරුදු සාම්ප‍්‍රදායික ආකල්පවලින් ගැලවී අලුත් රාමුවකින් කල්පනා කළ යුතුය. අධ්‍යාපනය, සෞඛ්‍ය, බලශක්තිය වැනි අංශ තුළ සෑහෙන වෙනස්කම් සිදුවී ඇත. ඒවා සඳහා බලකරන රට අනන්‍ය ආර්ථික පිළිවෙත් සකස් කරගත නොහැකි වුවහොත් අනාගතය සම්බන්ධව ගැටලු මතුවේ.

දැනට පවතින ප‍්‍රශ්නවලට විසඳුම් ඇති බව කල්පනා කරන දේශපාලනඥයන් වරද ඇත්තේ දේශපාලන ක‍්‍රමය තුළ බව ප‍්‍රකාශ කරමින් සිටී. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම එයට සුදුසුම පිළිවෙළ බව දක්වයි. මානව අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස, තොරතුරු දැනගැනීමේ අයිතිය, ස්වාධීන කොමිසම් වැනි අංශ වෙනුවෙන් සෑහෙන මහන්සියක් ගෙන තිබේ. ඒවායෙන් අත්පත් වූ ප‍්‍රතිඵලය නරක නැත. එහෙත් ආර්ථිකය බිංදුවට වට්ටවා තිබේ. අවශ්‍යම කරන මොහොතේ තීරණ ගෙන රට නගා සිටුවන ආර්ථික ප‍්‍රතිසංස්කරණ, ආයෝජන කැඳවීම, ව්‍යාපාරික විශ්වාසය වැනි අංශ කෙරෙහි ප‍්‍රමාණවත් අවධානයක් යොමුකළේ නම් අද පවතින බරපතල තත්ත්වය නිර්මාණය නොවේ. පවතින ක‍්‍රමය තවදුරටත් ගෙන යන්නට වෑයම් කරන දේශපාලනය අනාගතය කෙරෙහි තීක්ෂණ විය යුතුව ඇත.

I සාරා කන්දෙගොඩ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04