2022 ඔක්තෝබර් 16 වන ඉරිදා

කඩා වැටුණු ආර්ථිකය ටික ටික ගොඩ ඒවි: එතකම් ඉවසන්න වෙනවා - මහ බැංකු අධිපති

 2022 ඔක්තෝබර් 16 වන ඉරිදා, පෙ.ව. 08:00 148

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ තම තනතුර බාරගෙන නොබෝ දිනකින් රට බංකොලොත් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කර විදේශ ණය ගෙවීම නවත්වන බව නිවේදනය කළේය. එහෙත් ඇතැම් ආර්ථික හා දේශපාලන විද්වතුන් ප්‍රකාශ කරන්නේ ඔහු මෙසේ ප්‍රකාශ කිරීම ඔහුගේ බලතල ඉක්මවා කටයුතු කිරීමක් වන බවය. ඔහුට එවැනි තනි තීරණයක් ගැනීමට බලයක් නොමැති අතර එවැනි තීරණයක් ගන්නේ නම් එය කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තුව මගින් බවට ඔවුහු අවධාරණය කරති. කෙසේ වුවද ඇතැම් පාර්ශ්ව මහ බැංකු අධිපතිවරයාගේ මෙම ක්‍රියාදාමවලට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද වාර්තා වෙයි.

කවුරු කොහොම කිව්වත් නව මහ බැංකු අධිපතිවරයා වැඩ බාරගන්නා අවස්ථාව වනවිට අපේ රට විශාල ණය කන්දකට යට වී තිබුණු අතර ණය සේවාකරණය හෙවත් ණය සහ පොලී ගෙවීමට දුෂ්කර තත්ත්වයකට පත්ව තිබුණු බව නොරහසකි. එම තත්ත්වයෙන් බේරීම සඳහා ඔහුට හදිසි විකල්ප තීරණවලට එළැඹීමට අනිවාර්යයෙන් සිදුව තිබුණු බව එක්තරා සත්‍යයකි. නුදුරු දිනවල ගෙවන්නට තිබුණු රුපියල් බිලියන ගණනක ණය සහ පොලී ගෙවීමට කිසිදු ඩොලර් ආදායමක් ශ්‍රී ලංකාවට නොතිබුණද හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අපට ඕනෑ තරම් විදේශ මුදල් තිබෙනවා යැයි පවසමින් ඩොලර් මිලියන 500කට අධික විදේශ ණය වාරික ගෙවා දැම්මේය. එහෙත් ඒ වනවිට අපේ විදේශ මුදල් නිල සංචිතවල ඉතිරිව තිබුණේ ඉතාම සුළු මුදලකි. බැරි මරගාතේ මෙම ණය වාරික ගෙවීම නිසා රට විශාල ගැටලු සමූහයකට මුහුණ දෙමින් තිබිණ. ආර්ථික විශ්ලේෂකයන් පැවසුවේ මෙලෙස කටයුතු කිරීම රටේ පැවැති ආර්ථික අර්බුදය තීව්‍ර වීමට බලපෑ බවකි. එලෙස ගෙව්වද ඉදිරියේදී ගෙවන්නට තිබුණු ණය වාරික ගෙවීම සඳහා කිසිදු ක්‍රමයක් තිබුණේ නැත. ණය සහ පොලී දිගින් දිගටම ඉහළ යමින් පැවතිණි.

මෙම තත්ත්වය අවබෝධ කරගත් නව මහ බැංකු අධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ණය ගෙවීම නැවැත්වීම එහිදී ගන්නට තිබූ සුදුසුම තීරණය විය. ඇතැමුන් කියන පරිදි එය ඔහුගේ බලතල ඉක්මවා ක්‍රියාත්මක වූවක් හෝ නොවූවක් වුවද වහාම මෙවැනි ප්‍රකාශයක් කිරීම කාලෝචිත බව බොහෝ දෙනාගේ මතය විය. ඇතැම්විට සාම්ප්‍රදායික ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ගියා නම් මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට සෑහෙන ප්‍රමාදයක් ඇතිවී ගැටලුව උග්‍ර වන බවට සැකයක් නැත. එම තීරණය ගෙන අනතුරුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීම හැර, සාකච්ඡා කර ප්‍රතිඵල ලබාගැනීමට ගියා නම් එය දිගින් දිගටම ප්‍රමාද වනු ඇති බවට මධ්‍යස්ථ ආර්ථික විශ්ලේෂකයෝ මත පළ කරති. කෙසේ වුවද මේ අවස්ථාවේ ප්‍රමුඛත්වය දිය යුත්තේ මහ බැංකු අධිපති ගත් පියවර පිළිබඳ මත ප්‍රකාශ කිරීම නොව, ඔහු එතැනින් ආරම්භ කළ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාම බව පෙනෙන්නට තිබේ.

කෙසේ වුවද පසුගියදා මහ බැංකු අධිපතිවරයා පැවසුවේ කඩා වැටී තිබූ මෙරට ආර්ථිකය මේ වනවිට ස්ථාවර මට්ටමකට පත්ව ඇති බවය. ඒ නිසා පවත්නා තත්ත්වය පාලනයට නතු කරගත හැකි බවට මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරයි. ඔහු පවසන්නේ දැනට පවතින භාණ්ඩ හා සේවා මිල ගණන් කඩිනමින් පහත හෙළිය නොහැකි වුවද උද්ධමනය හෙවත් බඩු මිල ඉහළ යාමේ වේගය පාලනය කිරීමට හැකිවන බවය. මෙය සුබවාදී අනාවැකියකි. උද්ධමනය අඩු කිරීමට සමත් වන්නේ නම් ණය පොලී අනුපාත පවා පහළ හෙළීමට ඉදිරියේදී කටයුතු කළ හැකි වේ යැයි ඔහු කියයි.

දැනට ණය පොලී අනුපාත ඉහළ යාම නිසා විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හිරිහැරයට ලක්ව තිබෙන බව සත්‍යයකි. එනිසා ඉදිරියේදී පොලී මට්ටම අඩු කළ හැකි නම් දැනට සංකෝචනය වී ඇතැයි කියන අපේ ආර්ථිකය යම් පමණකට හෝ ප්‍රසාරණය කරගත හැකි වෙනවා ඇත.

''ණය පොලිය ඉහළ යන්නේ උද්ධමනයට සාපේක්ෂවයි. තැන්පත්කරුවන්ගෙන් ලැබෙන මුදල් තමා මේ ණය දෙන්නට පාවිච්චි කරන්නේ. තැන්පත්කරුවන්ට ගෙවන පොලියට වඩා වැඩි පොලියක් ණයකරුවන්ගෙන් අයකර ගන්නවා. එහි වෙනස එතරම් විශාල නැහැ. දැනට තැන්පත්කරුවන්ට ලැබෙන්නේ 22% ක පමණ වාර්ෂික පොලියක්. උද්ධමනය ඉහළ යන විට එයට සාපේක්ෂව තැන්පතු පොලිය ඉහළ යන්නේ නැතිනම් එයින් තැන්පත්කරුවන්ට සිදුවන්නේ අලාභයක්. දැනට ඇති උද්ධමනය 60% වනවිට පොලිය ලැබෙන්නේ 20% ක් නම් එයින් ඉතුරු කරන අයට උද්ධමනයට සාපේක්ෂව පොලියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පොලී අනුපාතය වැඩි කිරීමෙන් පමණයි උද්ධමනය පහතට හෙළන්නට පුළුවන් වෙන්නේ. පොලිය අඩුවෙලා උද්ධමනය වැඩි වෙනවා නම් කිසි කෙනකුට ව්‍යාපාර කරලා වැඩක් වන්නේ නැහැ. උද්ධමනය ඉහළ යාමෙන් ව්‍යාපාර කඩා වැටෙනවා. ඒ නිසා මුලින්ම කළ යුතු වන්නේ පොලී අනුපාත වැඩි කරලා උද්ධමනය අඩු කිරීමයි. රටේ ආර්ථික කඩා වැටීම නැවැත්වීම සඳහා පොලී අනුපාත ඉහළ නැංවිය යුතු වෙනවා.''

මහ බැංකු අධිපති පවසන්නේ උද්ධමනය ඇතිවන්නේ බඩු මිල ඉහළ යාම නිසා බවයි. උද්ධමනය අඩු කිරීමට භාණ්ඩ හා සේවා මිල වැඩිවීමේ වේගය පාලනය කළ යුතුය. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝබර් මාසයේ 69.8% ක් වන උද්ධමනය ක්‍රමයෙන් අඩු කිරීමට උත්සාහ කරන බව ඔහු කියයි. එහෙත් එය එකවරම කළ නොහැකි බව පවසන අධිපතිවරයා අවධාරණය කරන්නේ ලබන මාසයේ පටන් උද්ධමනය ක්‍රමයෙන් අඩුවිය හැකි බවයි. එහෙත් විශාල වශයෙන් නොවේ.
උද්ධමන තත්ත්වය කවදා අඩු කළ හැකිද යන්න පිළිබඳ ඔහු අදහස් දක්වන්නේ මෙසේය.

''උද්ධමනය පෙර තිබූ තත්ත්වයට පත්වීම එක දිනකින් කළ හැකි දෙයක් නොවෙයි. එය පියවරෙන් පියවරට කළ යුතුයි. අපි මේ වනවිට ක්‍රමානුකූලව ස්ථාවර මට්ටමට ළඟා වෙමින් පවතිනවා. කර්මාන්ත හා ව්‍යාපාර යළි පෙර තිබූ තත්ත්වයට පත්වෙන විට රට යළිත් සාමාන්‍යකරණය විය හැකියි. මෙම වසරේ අපේ ආර්ථික වර්ධනය 8% කින් අඩු වුණා. ආර්ථික වර්ධනය ගිය වසරේ තත්ත්වයට ගෙන ඒමට නම් යළිත් වර්ධනය 8% කින් වැඩි කළ යුතු වෙනවා. එය එකවරම කළ හැක්කක් නොවෙයි. එයට වසර දෙක තුනක් ගතවෙනවා ඇති. දැනට ආරම්භ කර ඇති ස්ථාවර කිරීමේ වැඩපිළිවෙළ දිගටම කරගෙන ගියහොත් යළි කඩා වැටීමකට ලක්වෙන්නේ නැහැ. අසීරුකම්වලට මුහුණදීම සිදුවුණත් අපට ඒවා රට වෙනුවෙන් විඳ දරාගැනීමට සිදුවෙනවා.''

ඔහු පවසන්නේ මුදල් මුද්‍රණය කිරීමට සිදුවන්නේ බලාපොරොත්තු වන රාජ්‍ය ආදායම අඩුවීම නිසා බවය. රාජ්‍ය ආදායම ඉහළ යනවා නම් මුදල් මුද්‍රණය කිරීමක් අවශ්‍ය වන්නේ නැති බවත් එලෙස සිදු නොවීම නිසා ගැටලු උද්ගත වන බව ඔහු කියයි. මුදල් මුද්‍රණය කිරීම එක්තරා පාලනයකින් සිදු කළ යුතු අතර උද්ධමනය ඉහළ යන්නේ අනවශ්‍ය ආකාරයට සිදුවුවහොත් පමණක් බව ඔහු පෙන්වා දෙයි.

කෙසේ නමුත් රටේ ආර්ථික ක්‍රියාකාරී බව ඇතිකිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් මුද්‍රණය කළ යුතු බව ඔහු කියයි. රාජ්‍ය ආදායම එකතු නොවුණු විට රාජ්‍ය සේවක වැටුප් ගෙවීම වැනි අත්‍යවශ්‍ය වැය සඳහා මුදල් මුද්‍රණය කළ යුතු වෙයි. 2020 – 2021 වසරවල රජයේ ආදායමට වඩා වියදම තුන් ගුණයකින් වැඩි වූ අතර එම වියදම පියවා ගැනීම සඳහා භාණ්ඩාගාරයෙන් දිගින් දිගටම ණය ලබාගැනීමට සිදුවිය. මහා භාණ්ඩාගාරයෙන් රජයට මුදල් නිකුත් කරන්නේ මුද්‍රණය කිරීමෙන් නිසා එහිදී උද්ධමනය ඉහළ යාම නිරායාසයෙන් සිදුවන බව මහ බැංකු අධිපති පෙන්වා දෙයි. පොලී අනුපාතය පහළ යන්නේ උද්ධමනය අඩු වුවහොත් පමණකි.

''මේ වනවිට රජය සහ මහ බැංකුව මගින් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පිළිගෙන තිබෙනවා. ආධාර ලබාගැනීම සඳහා නිලධාරී මට්ටමේ එකඟතාවකට පැමිණ සිටිනවා. මේ පිළිබඳ ස්ථිර අදහසක් දෙසැම්බර් මාසය පමණ වනවිට අපි බලාපොරොත්තු වෙනවා. අපේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට මූල්‍ය අරමුදලේ සහාය ලබාගත හැකිවේය යන්න අපේ බලාපොරොත්තුවයි. 

මේ දිනවල අපට ලැබුණු විදේශ මුදල් නිසියාකාරව කළමනාකරණය කිරීම තුළින් සාධනීය වෙනසක් දකින්නට අපට හැකි වුණා. එසේ සිදු නොවුණා නම් රටේ විශාල කැළඹීමක් ඇතිවීමට හොඳටම ඉඩ තිබුණා. ඉදිරියේදී නිසි පරිදි මුල්‍ය කළමනාකරණයක් ඇතිකර යම් සීමා කිරීම් ආරම්භ කිරීම තුළින් අද පවතින තත්ත්වය යහපත් කරගෙන මුල්‍ය අරමුදලේ සහාය ලැබෙනතුරු ඉවසා සිටිය යුතු වෙනවා.''

I යසවර්ධන රුද්රිගූ