2022 ඔක්තෝබර් 16 වන ඉරිදා

ඇමෙරිකා චීන බලඅරගලයෙන් තැලෙන ශ්‍රී ලංකාව

 2022 ඔක්තෝබර් 16 වන ඉරිදා, පෙ.ව. 08:00 89

ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව, උතුරු අයර්ලන්තය, උතුරු මැසිඩෝනියාව, ජර්මනිය, මලාවි සහ මොන්ටිනීග්‍රෝ යන රටවල මධ්‍යගත කණ්ඩායම විසින් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 51 වැනි සැසිවාරයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවට එරෙහි 51/1 යෝජනාව පසුගිය සතියේ සම්මත විය. මෙම යෝජනාව මගින් කරුණු 19ක් ඉදිරිපත් කර තිබූ අතර ඉන් 9ක්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හා මෑත කාලයේ සිදු වූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙනි. මෙවර සම්මත වූයේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාව අරබයා කළ 9 වැනි යෝජනාවයි. 

මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47ක් සිටියි. ඔවුන්ගෙන් යෝජනාවට සෘජුවම පක්ෂවී ඇත්තේ රටවල් 20ක් පමණි. බොලිවියාව,  චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්තානය,  උස්බෙකිස්තානය හා වෙනිසුයෙලාව යන රටවල් 7 යෝජනාවට එරෙහි විය.  රටවල් 20ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. කෙසේ නමුදු  යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මත විය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව මෙම යෝජනාවලිය තරයේ ප්‍රතික්ෂේප කරන බවටය. සාක්ෂි රැස්කිරීම සඳහා බාහිර යාන්ත්‍රණයක අවශ්‍යතාව මෙම යෝජනාවලියෙන් ඉදිරිපත් කර ඇති අතර එවැන්නක් කිසිසේත් පිළිගත නොහැකි බව ඔහු ප්‍රකාශ කළේය. මානව හිමිකම් සැසියට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ ලොව රටවල් රැසක් වර්තමානයේ මුහුණ දෙන මූල්‍ය අර්බුදය පිළිබඳව අදහස් දැක්වීම මෙම මණ්ඩලයේ විශේෂඥතාවට හෝ යාන්ත්‍රණයට අදාළ නොවන කරුණක් බවටය. එක්සත් ජාතීන්ගේ ව්‍යුහය තුළ පවතින ආයතන රැසක් අතුරින් තමන්ගේ යෝජනාවක් නෛතික වශයෙන් බලාත්මක කිරීමේ හිමිකම ඇත්තේ එක් ආයතනයකට පමණි. ඒ එක්සත් ජාතින්ගේ ආරක්ෂක කවුන්සලයටය. අනෙක් සියලු ආයතනවලට යෝජනා කිසිවක් සෘජුවම බලාත්මක කිරීමේ නෛතික බලයක් නොමැති අතර මානව හිමිකම් කවුන්සිලයටද එවැනි නෛතික බලයක් නොමැත. එහෙත් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා ගෙන එන බලවත් රාජ්‍යයන් ලෝකය පාලනය කරන රාජ්‍යයන් බැවින් ඔවුන් ගෙන එන යෝජනා මගින් විශාල අනර්ථයක් ශ්‍රී ලංකාවට සිදුකළ හැකිය.

බලවත් රාජ්‍යයන් විවිධ යෝජනා ගෙන එමින් ශ්‍රී ලංකාවට පීඩනයක් ඇති කිරීමට ක්‍රියා කිරීමේ අරමුණ සම්බන්ධයෙන් අප විමසා සිටියේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු හා ප්‍රවීණ දේශපාලන විචාරකයකු වන මොහාන් සමරනායක මහතාගෙනි. පහත පළවන්නේ ඒ සම්බන්ධයෙන් ඒ මහතා දක්වන ලද අදහස්ය.

''මෙවර මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට පක්ෂව රටවල් 20කුත්, විපක්ෂව රටවල් 7කුත් සිටි අතර රටවල් 20 ඡන්දය දීමෙන් වැළකී සිටීමෙන් පෙන්නුම් කරන්නේ මෙය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සම්මත වූවක් නොවන බවයි. 2009 මැයි මාසයේ එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීමත් සමඟ ආරම්භ වූ මේ යෝජනාවලියම ගෙන ඉන් රටට ඇතිවූ බලපෑම අප වටහා ගත යුතුය. ඒ සඳහා මෙම යෝජනාවේ ප්‍රකාශිත අරමුණ හා සත්‍ය අරමුණ අතර වෙනස තේරුම් ගත යුතුය. එහි ප්‍රකාශිත අරමුණ මෙම යෝජනාවලියට ලබා දී ඇති ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කියන නමින්ම හඳුනාගත හැකිය. ඔවුන් විසින් වරින්වර ගෙන එන ලද ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලියේ සැබෑ අරමුණ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය නොවන බව පැහැදිලිය. පළමුවරට එවැනි යෝජනාවක් ගෙන ආවේ 2009 එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීමෙන් පසුවය. එහෙත් එම යෝජනාවට අවශ්‍ය පසුබිම නිර්මාණය වූයේ ඊට පෙරය. එල්.ටී.ටී.ඊ.ය සම්පූර්ණයෙන් පරාජය වනු දැකීම බටහිර රටවල අරමුණ නොවීය. එයට හොඳම උදාහරණය එල්.ටී.ටී.ඊ.ය සමඟ සටන් දරුණුවට පවතින විට එවක කොළඹ සිටි ඇමෙරිකානු තානාපති රොබර්ටෝ බ්ලේක් විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගමට කළ ප්‍රකාශයයි. ඔහු කීවේ  ''ඔබ මේ යුද්ධය දිගට ගෙනගියහොත් ඔබට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් විය හැකි'' බවටය. මානව හිමිකම් කවුන්සලයේ පළමුවැනි යෝජනාවෙන් ඔවුන් ගෙන ආවේ යුද අපරාධ සම්බන්ධ චෝදනාවයි. එල්.ටී.ටී.ඊ.යට එරෙහි සටන සම්පූර්ණයෙන්ම අවසන් වූයේ 2009 මැයි මස 19 වැනිදාය. ඉන් දින තුනකට පසු එනම් මැයි 22දා එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට ලංකාවට පැමිණියේය. ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කිරීම හේතුවෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව දස ලක්ෂක් පමණ වේ. එවැනි සාහසික අපරාධයක් සිදුවූ රටක් බැලීමට එවක සිටි මහලේකම්වරයා  ගියේ නැත. එහෙත් යුද්ධය අවසන්ව දින තුනක් ගතවන විට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් සොයා බලන්නට මහලේකම්වරයා ලංකාවට පැමිණියේය එම වසරේම ජූනි මාසයේ. ශ්‍රී ලංකාවේ මානවහිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරයක් (11 වැනි සැසිය) පැවැත්වීමට කටයුතු කළේය. එවක සිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වූ නවනීදම් පිල්ලෙයි වීඩියෝ පණිවිඩයක් එවමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා එල්.ටී.ටී.ඊ.යට එරෙහිව කළ යුද්ධයේදී බරපතළ යුද අපරාධ සිදු වූ බවට හා මානව හිමිකම් කඩවීම් සිදු වූ බවට පිළිගත හැකි සාක්ෂි පවතින බවටය. යුද්ධය අවසන් වී මසක් ගතවීමටත් පෙර කිසිදු පරීක්ෂණයක් සිදු නොකොට ඇය එවැන්නක් දැන ගත්තේ කෙසේද යන්න ගැටලුවකි. ඉන් පැහැදිලි වන්නේ මේ සියලු යෝජනා කල්තබා සැලසුම් කරන ලද දේශපාලන ව්‍යාපෘතියක විවිධ අවස්ථා  බවයි.

මානව හිමිකම් යනු මිනිසකුට අභිමානයෙන් යුතුව ජීවත්වීමට ඇති අයිතිවාසිකමයි. ලොව පාලනය කරන අධිපති රටවල් එම යහපත් මෙවලම තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ප්‍රයෝජනයට ගනියි. උදාහරණයක් ලෙස 1990 අගොස්තු මාසයේ ඉරාකයේ සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කළේය. ඉරාක හමුදාව කුවේටයෙන් පළවා හැරීම සඳහා ඇමෙරිකාවේ නායකත්වයෙන් යුතුව රටවල් 28ක යුද සන්ධානයක් නිර්මාණය කොට කුවේටයට පහර දුන්නේය. ඉරාක හමුදා පරාජය වී දෙලක්ෂයකට ආසන්න සෙබළුන් පිරිසක් පසුබසින විට ඇමෙරිකානු හමුදා විසින් ඔවුන් ඝාතනය කරන ලදි. ඉරාකයට සම්බාධක පනවා රටේ ජනතාව කුසගින්නේ හා ඖෂධ නොමැතිව මැරෙන්නට හැරියේය. ඒ ඇමෙරිකාව ඇතුළු බලවත් රාජ්‍යයන් මානව හිමිකම් සුරකින ආකාරයයි. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා ගෙන එන බොහෝ රටවල් අතීතයේ මෙන්ම වර්තමානයේදී බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරන පිරිසකි. එල්.ටී.ටී.ඊ.ය ශ්‍රී ලංකාවේ අහිංසක මිනිසුන් ඝාතනය කරන  විට මේ රටවල් සිටියේ නිහඬවය. බලවත් රාජ්‍යයන් තුළ සිදුවන මානව හිමිකම් කඩවීම් පිළිබඳවද ඔවුන් සොයන්නේ නැත ඒ එම රටවල් ඔවුන්ගේ උපාය මාර්ගික හවුල්කරුවන් වන බැවිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම අනුවය. ඒ අනුව රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට වෙනත් රටවලට අයිතියක් නොමැත. ඇමෙරිකා එක්සත් ජනපදය හා බටහිර රටවල් එම ප්‍රඥප්තියද කඩකරමින් සිටී. අන්තර් ජාතික සබඳතාවලදී අනුගමනය කළ යුතු මූලධර්ම 7ක් එම ප්‍රඥප්තියේ සඳහන්ය. ඉන් පළමුවැන්න ජාතීන්ගේ ස්වෛරී සමානාත්මතාවයි. සෑම රටක්ම සමාන බව පිළිගන්නේ නම් මානව හිමිකම් කඩකරන සෑම රටක් පිළිබඳවම පියවර ගත යුතුය එහෙත් එවැන්නක් සිදු නොවේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ස්ථාපනය කෙරුණේ 2006 වසරේය. ඉන් පෙර පැවතියේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමයි. මානව හිමිකම් කවුන්සිලය ස්ථාපනය කෙරුණේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් සම්මත කළ යෝජනාවකිනි. දේශපාලන අරමුණු මුල් කර ගනිමින් එක් රටක් හුදකලාකොට මානව හිමිකම් චෝදනා නඟා දඬුවම් කිරීමේ වෙනස්කම් නොකළ යුතු බවට එම යෝජනාවේ පැහැදිලිවම සඳහන්ය. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල යෝජනාවේ මූලධර්ම පවා බලවත් රාජ්‍යයන් විසින් උල්ලංඝනය කරමින් සිටී.

ඔවුන් එවැන්නක් සිදු කරන්නේ ඇයි? වර්තමානයේ ලෝකයේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික, විද්‍යාත්මක, තාක්ෂණික ආධිපත්‍ය හිමිකරගෙන සිටින්නේ අතලොස්සක් වන රටවල්ය. ඒ අතර ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර යුරෝපීය රටවල් ප්‍රමුඛවේ. මේවන විට ඔවුන්ගේ දේශපාලන, ආර්ථික හා හමුදාමය ආධිපත්‍යයට බලපෑම් කරන වෙනත් බලකේන්ද්‍ර මතුවෙමින් තිබේ. ඒ බලකේන්ද්‍ර අතර ප්‍රධානම රට වන්නේ චීනයයි. එය ආසියානු රාජ්‍යයකි. බටහිර රාජ්‍යවලට ආසියාවේ බලවතා ලෙස නැගී සිටින චීනය දුබල කිරීමට අවශ්‍යය. ඒ ලෝක ආර්ථිකයේ තමන්ට හිමි පංගුව නැතිවී යාම වළක්වා ගැනීමටය. 1950 දී ඇමෙරිකාවට ලෝක ආර්ථිකයෙන් 50%ක පංගුවක් හිමිවී තිබිණි. මේ වන විට එය 20%ක ප්‍රමාණයක් දක්වා පහත වැටී තිබේ. ඔවුනට අහිමි වූ පංගුව හිමිව ඇත්තේ චීනයටය. 2040 වන විට හෝ ඊට පෙර චීනයේ ආර්ථික බලය ඇමෙරිකාව ඉක්මවා යන බවට පුරෝකථනය කර තිබේ. එහෙයින් චීනයේ බලය බිඳ ඔවුන් මෙල්ල කිරීමට, ඔවුන්ගේ මිතුරන් අහිමි කිරීමට සහ උපාය මාර්ගික අවස්ථා අහිමි කිරීමට බටහිර බලවතුන්ට අවශ්‍ය වී තිබේ. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ භූ උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත්කමක් සහිත කලාපයකය. මෙම බලඅරගලයේදී ශ්‍රී ලංකාව නමැති බිම්කඩ තමන්ට අවනත දාස රාජ්‍යයක් බවට පත්කර ගැනීමට ඇමෙරිකාව ඇතුළු බලවතුන්ට අවශ්‍යය. මානව හිමිකම් කවුන්සිලය ප්‍රයෝජනයට ගනිමින් මෙම අසාධාරණ දේශපාලන අරමුණු සහිත යෝජනා ගෙන එන්නේ එම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහාය‍.

ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට පත්ව සිටින මොහොතක ඔවුන් මෙවැනි හානිකර යෝජනා ගෙන එන්නේ නෛතික බලයක් නොමැති වුවද වෙනත් මාර්ගවලින් ශ්‍රී ලංකාව සිර කිරීමේ අරමුණ ඇතිවය. ඉන් සිදුවන්නේ ශ්‍රී ලංකාව තමන්ගේ වහල් භූමියක් බවට පත් කර ගැනීමේ අධිපතිවාදී රටවල ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට හැකිවීමය.  මෙම යෝජනා කිසිසේත්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා ගෙන එන යෝජනාවක් නොවේ. ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අන්තර් ජාතික දත්ත ගබඩාවක් නිර්මාණය කිරීම සඳහා මානව හිමිකම් මණ්ඩලයේ  41 මගින්  ඉදිරිපත් කළ යෝජනාව 51/1 යෝජනාව මගින් තවදුරටත් ශක්තිමත් කර තිබේ. ඒ සඳහා ප්‍රතිපාදනද වෙන්කොට අවසන්ය. ඔවුන්ගේ අරමුණ ශ්‍රී ලංකාව අස්ථාවර කොට දුබල කොට ඔවුන්ගේ අවශ්‍යතා අනුව කටයුතු කරන රාජ්‍යයක් බවට පත් කිරීමය.

I සාකච්ඡා කළේ: ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04